– මෙවර පොත් ප්‍රදර්ශනයේ ඇති ප්‍රදර්ශන කුටි ගණන 400කට අධිකයි
– මෙවර පොත් ප්‍රදර්ශනය විවෘත වූයේ මෙතෙක් ඒ සඳහා උරදුන් සභාපතිවරුන් අතින්වීම විශේෂත්වයක්
ශතවර්ෂ කාලක් යනු විශාල කාල පරිච්ඡේදයකි. විසිපහක් යනු ශතවර්ෂ කාලකි. එයට කියන්නේ රිදී ජුබිලියයි. පසුගිය සිකුරාදා අප බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පිවිසියේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භක උත්සවයටය.
ඇතුළුවන විටම පොත් ප්‍රදර්ශනයේ කුටිවල නාමයන් හා ඒවා පිහිටුවා ඇති ශාලාවල අක්ෂර ඇතුළත් කඩදාසියක් කවුරුන් අතත් තැබීම මුල්ම කටයුත්තයි. එහි අලෙවි කුටි පවත්වා ගෙන යන ආයතන ගණන ගණන් කර බැලුවෙමි. පොත් ප්‍රදර්ශනයකදී පොත් ප්‍රකාශකයන් ලෙස හැඳින්වීමෙන් වැළකී ආයතන යන වර්ගීකරණයට ලක් කරන්නට සිදුවූයේ පොත් ප්‍රකාශකයන්ට අමතරව බැංකු, ලිපි ද්‍රව්‍ය ආයතන, කොම්පියුටර් ආයතන ආදිය ද එහි අලෙවි කුටි පිහිටුවා ඇති නිසාය. ඉස්සර චිත්‍ර කතා පත්තර ජනප්‍රිය කාලේ ඒවා මුද්‍රණය කරන පත්තර කොම්පැනිවල පත්තරවලට නම් තැබුවේ ‘ස’ යන අකුරෙනි. පොත් ප්‍රකාශකයන් ගැන ද මේ ‘ස’ යන අකුර බද්ධ වී තිබේ. ඊට හේතුව මේ පොත් ප්‍රදර්ශනයේ ඇති පොත් ප්‍රකාශකයන් අතරින් වැඩියෙන්ම ඇත්තේ ‘ස’ අකුරෙන් පටන් ගන්නා පොත් ප්‍රකාශන ආයතනයන්ය. එය ගණනින් කිව්වොත් 47 කි. කුටි ඇති අලෙවි ආයතන ඇත්තේ ද 200ක් බැවින් එහි ප්‍රතිශතය ඔබට සිතා ගත හැකි වනු නියතය.
මෙම පොත් ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ වන්නේ 1999 වසරේදී කොළඹ කලාභවනෙනි. දෙවසරක් ගිය තැන 2001 වසරේදී මේ පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රැගෙනු එනු ලබයි. මෙවර පොත් ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ ලෝකයේ ප්‍රමුඛ රටවල් රාශියක් ද සම්බන්ධ කර ගැනීමයි. එම පොත් ප්‍රදර්ශනයට ජාත්‍යන්තර වටිනාකමක් ලබාදීමට කටයුතු කොට තිබීමය.
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ චන්දු සපුතන්ත්‍රි මහතාය. ඒත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ වත්මන් සභාපතිවරයා වන්නේ සමන්ත ඉන්දීවර මහතාය. පොත් සංගමයේ ලේකම්වරයා වන්නේ දිනේෂ් කුලතුංග මහතාය. අතුල ජයකොඩි උසුලනු ලබන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික තනතුරය.
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වූයේ සැප්තැම්බර් 27 වැනිදාය. පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය වන්නේ ඔක්තෝබර් 6 වැනිදාය. එහෙත් මීට පෙර මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සැලසුම් කොට තිබුණේ සැප්තැම්බර් 20 වැනි සිකුරාදාය. එහෙත් ලංකාවේ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 වැනිදා දින නියම කරගන්නට සැලසුම් කළ විට පොත් ප්‍රදර්ශනයේ ආරම්භක දිනය මෙසේ සතියකින් පස්සට ගියේය. මෙවර පොත් ප්‍රදර්ශනයේ ඇති ප්‍රදර්ශන කුටි ගණන 400කට අධිකය. මෙවර පොත් ප්‍රදර්ශනය විවෘත වූ අයුරු ද විශ්මයජනකය. එය විවෘත කරන ලද්දේ මේ පොත් ප්‍රදර්ශනය මේ මට්ටමට රැගෙන එන්නට උරදුන් සභාපතිවරුන් අතින්ම වීම විශේෂත්වයකි. එමෙන්ම තවත් විශේෂත්වයක් වන්නේ පොත් සංගමයේ ඉතිහාස පුරාණය ග්‍රන්ථයක් ලෙස කලඑළි වැඩීමය. එය සංස්කරණය කොට ඇත්තේ උපාලි වනිගසූරිය අතිනි.
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වෙනදා මෙන්ම වැඩිපුරම දැකගත හැකි වූයේ පරිවර්තන ග්‍රන්ථයන්ය. එහි උතුරා යන තරමට පුරවා ඇති කුඩා විශාල කුටිවල සිංහල පොත් අතරින් වැඩිපුරම ඇත්තේ නවකතාය. මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පළමු දින දැක ගත හැකිවූ විශේෂ කරුණක් වූයේ විදේශයන්හි සිට පැමිණ ඇති ගැණුම්කරුවන්ය. ඔවුන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විවිධ නෙත් පැහැර ගන්නා තැන්වල සිට සෙල්ෆි මෙන්ම සමූහ ඡායාරූප ගැනීම සුලබ දසුනක් විය. ඇතැම් පිරිස් තමන් මිලදී ගත් පොත් ගස් යට සෙවණේ සිට කියවීම සුන්දර දසුනක් විය. මෙම පොත් ප්‍රදර්ශනයට වතුර ෆිල්ටර් කුටි, සබන් කුටි මෙන් මුහුණේ පැහැය වර්ධනය කරන ක්‍රීම් වර්ග ප්‍රවර්ධන කුටි එක්කොට තිබුණේ කුමන අරමුණකින්දැයි පැහැදිලි නැත.
මුද්‍රිත පොත්පත් ඇති අලෙවි කුටිවලට පොරකන ගැණුම්කරුවන්ට වඩා අතුරු සිදුරු නැතුව පිරී ඉතිරී ගියේ ලිපිද්‍රව්‍ය විකුණන අලෙවිකුටිය. මෙම පොත් ප්‍රදර්ශනය පුරා විදර්ශන සම්මාන, විද්‍යෝදය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන ලැබූ පොත් ගැන ලොකු බැනර් ගසා තිබේ. එම බැනරයක් ඔසවා තිබූ තැනක් අසල පොත් අලෙවි කුටියකට පිවිස සම්මානලාභි පොත්වලට ඇති අලෙවිය ගැන විමසා සිටියෙමි.
“අපෙන් නම් ඔය සම්මාන ගත්ත පොත් තාම කවුරුත් ඉල්ලුවේ නැහැ. ඊටත් වඩා අද පළවෙනි දවසනේ. දැන්ම කියන්න බෑ සම්මාන ලබපු පොත්වලට මොන වගේ සේල් එකක් තියෙයිද කියලා. අනික සම්මාන ලබපු හැම පොතක්ම විකිණෙනවා කියන්න අමාරුයි. මොකද ඒ ඒ පොත්වලට සම්මාන දෙන්න ඕන කියලා තීරණය කළේ මහජනතාව නෙමෙයිනේ?
පොදුවේ බලන කල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ සැරිසරන බොහෝ දෙනෙකු මිලදී ගත් පොත් දැමූ සිලිසිලි බෑග් අපට දැකගත හැකි විය. එය ලේඛකයන්ගේ පැත්තෙන් ගත් කල සැනසිලිදායක තත්ත්වයක් විය.
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අලෙවියට ඇති පොත් අතර ගෝල්ෆේස් අරගලය ගැන පොත් කීපයක්ම දැකගත හැකි විය. මෙරට වත්මන් ජනාධිපතිවරයාට අභියෝගයක් ලෙස තරග කළ අනෙකුත් අපේක්ෂකයන් දෙදෙනා ගැන පළවූ පොත්පත් ද අපට දැකගත හැකි විය. ඒවා දුටු අපට මතකයට ආවේ ‘වැරදුන කුරුමානම’ නම් කියමනයි.
වෙනදා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි දක්නට ලැබෙන ඉන්දීය ප්‍රකාශන වෙනුවට මෙවර මුලට පැමිණ ඇත්තේ චීන ප්‍රකාශන හා රුසියන් ප්‍රකාශනය. චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් රාශියක් මෙහිදී දැකගත හැකි විය. දේශපාලන, සංවර්ධන, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන සහ ළමා කතා රැසක් ඒ අතර විය. චීන භාෂාවට පරිවර්තනය කරන ලද කුඩා පොත් රාශියක් ද මෙවර අපට දැකගත හැකි විය. ඒවා සිංහලෙන් – චීන භාෂාවට පරිවර්තනය කළ ඒවා බවට අප තහවුරු කරගත්තේ ඒවායේ වූ චිත්‍රවල වූ සිංහල ඌරුව නිසාය.
මීට පෙර වසරවලදී අප දුටු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනවලදී දිගු පෝලිම් තිබුණ නූඩ්ල්ස් ලොරි, අයිස්ක්‍රීම් ලොරි, සිසිල් බීම ලොරි මෙවර ද දැකගත හැකි විය. එයින් තහවුරු වන්නේ සාහිත්‍ය ලෝලීන්ට වුවද බඩගින්න පොදු ධර්මතාවක් කියා විය යුතුය.
සිංහල ප්‍රකාශන අතරින් විෂයානුබද්ද පොත්පත්, ප්‍රශ්නෝත්තර, ශිෂ්‍යත්ව පොත් හා පෙරපාසල් දරුවන්ගේ වැඩ පොත්වලට තිබුණේ අධික ඉල්ලුමකි. ඇතැම් ලේඛක ලේඛිකාවන් තමන්ගේ නමින්ම වෙළෙඳ කුටියක් කුලියට ගෙන එහි එන තම පාඨකයන් සමඟ කතාබහ කරමින් සිටිනු අපට දක්නට ලැබීම ලේඛක අභිමානයට හේතුවූ කරුණක් විය. බොහෝ පාඨකයන්ගේ අවසන් අරමුණ වූයේ තමන්ගේ ලේඛක ලෝකයේ වීරයා වූ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ අත්සන තමන් මිලදී ගත් කෘතියේ සටහන් කර ගැනීමයි. ඉන්පසු දෙදෙනා සමීපව ‘සෙල්ෆියක්’ ගන්නේ අතීත මතකයන් අතර සුරැකිව තබා ගැනීමට විය යුතුය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යනු මෙරට ලේඛකයන්ගේ ජාතික උත්සවය යැයි කීවාට වරදක් නැත. විවිධ බාධා මැදින්, අධිකරණ තීන්දු මතින් කඩාකප්පල් කිරීමට ගිය එම ජාතික පොත් මංගල්‍යය වසර විසිපහක් අඛණ්ඩව පවත්වා ගෙන යාම ඇගැයිය යුත්තකි. ඊටත් වඩා එය ඇගැයිය යුත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනයක් විසින් සංවිධානය කළ යුතු මෙවැනි කටයුත්තක් කිසිදු රාජ්‍ය මුදල් භාවිතයකින් තොරව වසර විසිපහක් අඛණ්ඩව පවත්වාගෙන ආ නිසාමය.
වජිර ලියනගේ