Home » මාධ්‍යවේදීන් ඝාතනය ගැන පරීක්ෂණ කඩිනම් කළ යුතුයි

මාධ්‍යවේදීන් ඝාතනය ගැන පරීක්ෂණ කඩිනම් කළ යුතුයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය

by Mahesh Lakehouse
September 28, 2024 12:35 am 0 comment

මාධ්‍යවේදීන් ඇතුළු මෙරට මහත් ආන්දෝලනයට ලක් වූ පුද්ගල ඝාතන හා පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා යටතේ කඩිනම් පරීක්ෂණ ආරම්භ කෙරෙනු ඇතැයි බලාපොරත්තු වන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිළුමිණට කීය.

‘වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර ඒ සම්බන්ධයෙන් පොරොන්දු ලබා දුන්නා.

විශේෂයෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම තාජුඩීන්ගේ අබිරහස් මරණයත් ත්‍රිකුණාමලයේ සමූහ ඝාතනයත් කඩිනමින් විසඳිය යුතු බව පෙන්වා දිය යුතුයි. මීට අමතරව මාධ්‍යවේදීන්ට පහරදීම් තර්ජන කිරීම් ඇතුළු අකටයුතුකම් රැසක් තිබෙනවා. ඒ සියලු අකටයුතුකම් වෙනුවෙන් සැබෑ ලෙසින්ම නීතිය ක්‍රියාත්මක කිරීම නව රජය යටතේ සිදු විය යුතුමයි.

එමෙන්ම මේ පරීක්ෂණ සිදු කිරීමට ඇති අවසන් අවස්ථාව ලෙසයි මම මෙය දකින්නේ.

විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිවරයා මෙන්ම සමගි ජන බලවේගයත් ඒ සම්බන්ධයෙන් පොරොන්දු ලබා දුන්නා, මේ අපරාධ සම්බන්ධයෙන් නිසි විමර්ශන කරනු ලබන බවට. දැන් පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම එකතු වෙලා විමර්ශන කටයුතු කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු වෙනවා.

ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වාධීනව එම කටයුතු සිදු කිරීමට හැකියාව ඇති කළ යුතුයි. එමෙන්ම අධිකරණය හරහා කඩිනමින් එම කටයුතු විභාග කිරීමටත් අවශ්‍ය පියවර ගත යුතු වෙනවා.

එසේ නොමැති නම් තවත් වසර 10ක් 15ක් මේ වෙනුවෙන් යාමට පුළුවන්.

යහපාලන ආණ්ඩුව සමයේ මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කළත් එය අතරමඟ නැවතුණා. මේ වෙනුවෙන් විශාල බලපෑම් එල්ල වෙනව අපරාධවලට සම්බන්ධ වූ අංශවලින්. ඒ වෙනුවෙන් මුහුණ දිය හැකි ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා. අපි හිතනවා මේ ජනාධිපතිවරයා යටතේ එය සිදු වෙයි කියල. එසේ සිදු වුණේ නැත්නම් අපි බල කරනවා එය කඩිනමින් සිදු කරන්න කියලා.‘‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division