ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ අවස්ථා 28කදී අග්‍රාමාත්‍යවරුන් හා අග්‍රාමාත්‍යවරියන් දිවුරුම් දී ඇත්තේය. පසුගියදා පත්වූ ජාතික ජන බලවේගය නව රජයේ අගමැතිනිය ලෙසින් දිවුරුම් දුන්නේ ආචාර්ය හරිනි අමරසූරිය ය. ශ්‍රී ලංකාවේ අගමැතිවරුන්ගේ ඉතිහාසයේ 16 වැනි අගමැතිනිය ලෙස නව පිටුවක් පෙරළමින් ඉතිහාසය අලුත් කළ ඇය හිටපු අගමැතිවරියන් වන සිරිමාවෝ බණ්ඩාරනායක හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට පසුව මෙරට බිහිවූ තුන්වැනි අගමැතිනිය ද වන්නීය.
එදා බිහිවූ අගමැතිනියන්ට දේශපාලන පවුල් පදනමක් තිබුණද ආචාර්ය හරිනි අමරසූරිය එසේ නොවීය. ඇයට කිසිදු දේශපාලන පවුල් පසුබිමක් නොවීය. මේ නිසාවෙන්ම ඇය අගමැති ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වූයේ කිසිදු පවුල් දේශපාලන පදනමකින් තොරව මෙරට බිහිවූ පළමු අගමැතිනිය බවට ද පත් වෙමිනි. එපමණක් නොව ආචාර්ය උපාධියක් හිමි කාන්තාවක ශ්‍රී ලංකාවේ අගමැතිනිය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය වන්නේය.
1970 මාර්තු මස 6 වැනිදා කොළඹදී උපත ලද හරිනි පාසල් අධ්‍යාපනය ලබන්නේ කොළඹ බිෂෝප් විද්‍යාලයෙනි. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ ළාබාලයා වන හරිනිට වැඩිමහල් සහෝදරියක් හා සහෝදරයකු වෙයි. පවුලේ නොමඳ ආදරය සෙනෙහස මැද හැදුණු වැඩුණු හරිනි අමරසූරියගේ පියා තේ වැවිලිකරුවකු වන අතර, 2015 වසරේදී ඔහු ජීවිතයෙන් සමු ගත්තේය. හරිනිගේ මව ඇය සමඟ ජීවත් වන්නීය. හරිනිගේ වැඩිමහල් සහෝදරිය හා සහෝදරයා විවාහ වී ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර සිය සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට හරිනි ද මවක් වන්නීය.
කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ හරිනි අනතුරුව දිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති ප්‍රථම උපාධිය හිමිකර ගත්තාය. අනතුරුව සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යමින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි මැකවරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමි කරගත්තාය. 2011දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලට ඇතුළු වී සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයනය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබමින් එයින් ආචාර්ය උපාධිය හිමි කරගන්නට ද සමත් වූවාය.
අනතුරුව ආචාර්ය හරිනි අමසූරිය සමාජ ක්‍රියාකාරිනියක බවට පත් වෙමින් ප්‍රජා සෞඛ්‍ය හරහා ප්‍රජා සෞඛ්‍ය, ඒඩ්ස් හා ළමුන් පිළිබඳ සිය කැපවීම ප්‍රකට කරමින් ඒ පිළිබඳ කතා කරන්නටත් සමාජය අවදි කරවන්නටත් කටයුතු කළාය. තරුණ විරැකියාව, ලිංගභේද පිළිබඳ අසමානතාව, ළමා ආරක්ෂණය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්රමයේ අකාර්යක්ෂමතාව ආදී සමාජයේ දැවෙන ප්‍රශ්න පිළිබඳ නොබියව සිය හඬ අවදි කළ ආචාර්ය හරිනි අමරසූරිය, කෙයාර් ඉන්ටර්නැෂනල් සංවිධානයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සංවිධානයක් වන Nest හිඳ අධ්‍යක්ෂිකාවක් මෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂණ සංවිධානයක් වන CENWOR අයතනය හරහා ද සමාජය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටු කළේ මනෝ සමාජයීය පුහුණුකාරිනියක ලෙස හා පර්යේෂිකාවක ලෙස ද සේවය කරන අතරේය. අනතුරුව යළිත් විශ්වවිද්‍යාල ජීවිතයට එක්වූ ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස ද කටයුතු කළාය.
ආචාර්ය හරිනි අමරසූරියගේ ගමන් මඟ විමසීමේදී පැහැදිලි වන්නේ එය ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී ගොස් ඇති බවය. විටක ඇය විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම්වරිය වූවාය. තවත් විටක ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම්වරිය ලෙස ද කටයුතු කළාය.
හරිනි අමරසූරිය පාර්ලිමේන්තු දේශපාලනයට එක්වන්නේ 2020 වසරේදීය. ඒ වන විට ඇය ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරි සාමාජිකාවක් විය. 2020 මහමැතිවරණයේදී ජාතික ජනබලවේගය හිමිකර ගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමි වූයේ ආචාර්ය හරිනිටය. එදා බොහෝ දෙනා ඇයගේ මේ පත්කිරීම අගය කළ අතර එතැන් සිට මෙරට බොහෝ දෙනා අතර මේ කාන්තා චරිතය ප්‍රකට වන්නට විය. එදා සිට මේ දක්වාම ඇය පක්ෂය තුළ මෙන්ම පක්ෂ වේදිකාවේද ජනතාව අතර නොමැකෙන චරිතයක් විය. පක්ෂ නායක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට විශාල ශක්තියක් වෙමින් පක්ෂයේ 3%ක ඡන්ද පදනම 42%ක් දක්වා ගෙන ඒමට ඇය යෝධ ශක්තියක් වූ බව නොරහසකි. විශේෂයෙන් කාන්තාවන් ජාතික ජන බලවේගයේ සෙවණ යටට එක පොදියට එකතු කරගන්නට ඇය සමත් වූවාය. එපමණක් නොව පාර්ලිමේන්තුවේදී පක්ෂය සහ පාක්ෂිකයන් වෙනුවෙන් හඬ නැඟුවා පමණක් නොව පක්ෂය නව මාවතකට ප්‍රවේශ කිරීමේ කර්තව්‍යයට නොසැලෙන ශක්තියක් වෙමින් පාර්ලිමේන්තුව තුළ සිය හඬ අවදි කරවන්නට සමත් වූවාය.
හරිනි අමරසූරිය නම් වූ ඇය එදා සිට මේ දක්වා පාර්ලිමේන්තුව තුළ කැපී පෙනෙන මන්ත්‍රීවරියක් විය. ඉතා හොඳ පාර්ලිමේන්තු සහභාගිත්වයක් පෙන්නුම් කරමින් එම කාලය තුළ පාර්ලිමේන්තුව පැවැත්වූ දින 389න් දින 269ක්ම ඇය පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වී ඇත. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියක් යන භූමිකාවට සහ සිය පක්ෂයේ කටයුතුවලට පමණක් සීමා නොවී පාර්ලිමේන්තුව තුළ විවිධ අධීක්ෂණ හා කාරක සභා රාශියක ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස ද කටයුතු කළාය. විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාව තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විශේෂ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව මෙන්ම අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සඳහා ආචාර්ය හරිනි අමරසූරිය සිය මැදිහත් වීම වසර 4 ක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රශංසනීය ආකාරයෙන් ලබා දී ඇත.
පසුගියදා පැවැති ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගය වෙනුවෙන් සුවිශාල කැපවීමක් පෙන්නුම් කළාය. එහිදී ඇය ජාතික ජන බලවේග රැස්වීම් දහස් ගණනකදී ජනතාව ආමන්ත්‍රණය කළ අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පක්ෂයේ ප්රචාරක කටයුතු ගෙන යන්නට ද කැප වූවාය.
මේ වන විට රට නව දේශපාලන ගමනක ආරම්භය සනිටුහන් කර ඇති අතර, ඒ පිළිබඳ සුබවාදී නව අපේක්ෂා රැසකින් ජන හදවත් පිරී ඇත්තේය. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය ද රටේ පෙරළිකාර නව ගමන් මඟක ආරම්භය සනිටුහන් කර ඇති අතර, දකුණු ආසියානු දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ද ඔවුන් විසින් නිතැතින්ම සලකුණු කරනු ඇත.
සුභාෂිණි ජයරත්න