ඇය මට හමුවුණේ මම රැකියාවට ගිය අලුත. අපි දෙන්නා බොහෝම හිතවත් වුණේ අපිටත් නොදැනීමයි. අපි නාට්‍ය චිත්‍රපට බලන්න ගියේ එකට. එයා මගේ හොඳම යෙහෙළිය වුණා කිව්වොත් නිවැරදියි.
“ආ මේ උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද?“ සමහර දවස්වලට මඟදි හමුවන යහළුවෝ නිශාව පෙන්නලා මගෙන් එහෙම අහනවා. ඒ වෙලාවට අපි දෙන්නට දෙන්නා මුහුණ බලා ගන්නවා.
“ඇත්තටම අපි අපේ කවුද? “ මං දවසක් ඇගෙන් එහෙම ඇහුවා.
ඒත් උත්තරයක් නැතිව ඇය මගෙ අතින් අල්ල ගත්තා.
“පුතේ…. හෙට ගෙදර නේද ? “ දවසක් සිකුරාදා හැන්දෑවක කාමරයට ආව අම්මා මගෙන් ඇහුවා.
“හෙට නැන්දලා එනවා පුතේ මෙහෙ. නංගිත් රට ඉඳලා ඇවිල්ලා ඉන්නේ…තාත්තයි අක්කයි දෙන්නත් හෙට ගෙදරනේ…“ අම්මා එහෙම කියාගෙන කාමරෙන් එළියට ගියා.
නැන්දාගේ දුව ගැන මට යෝජනාවක් ගෙනැන්ලා තිබුණේ මම පාසල් යන කාලෙමයි. ඒ යෝජනාවට මගෙ අම්මා තාත්තා කවදාවත් අකමැත්තක් දැක්වුවේ නෑ.
නැන්දගෙ දුව චමරි අපේ ගෙදර ඇවිල්ලා ගිහිල්ලා දවස් කිහිපයකට පස්සේ නැන්දලා ආයෙමත් අපේ ගෙදර ආවා. ඒ ආවේ මංගල්ලෙට දවස් තීන්දු කරගෙන. ඉන් පස්සේ අපි නිතර නිතර හමුවුණා. චමරිටයි මටයි ඉඳහිට නිශාව හමුවෙනවා. මාස කිහිපයකට පස්සේ අපි විවාහ වුණා. විවාහයට දිනත් තීන්දු කර ගත්තට පස්සේ තමයි මම හරියටම දැන ගත්තේ නිශා මට ආදරෙයි කියලා. මම විවාහ වෙනවා කියලා ආරාධනා පත්‍රය දුන්න දවසේ එයාගේ ඇස් කඳුළුවලින් පිරුණා. ඇයට ඉකිබිඳුණේ ඇයවත් නොදැනයි.
“මම දැනගෙන හිටියේ නෑ මං ඔයාට මෙච්චර ආදරෙයි කියලා. දැන් ඉතිං කරන්න දෙයක් නෑ. මේක වෙන්න ඇති මට උරුම. මම ඔයාට සුබ පතනවා.“ ඇය එහෙම කිව්වේ මගෙ දෑතම අල්ලගෙන.
ආදරය ගැන කවදාවත්ම කතා නොකරපු අපි කවදත් හොඳ යාළුවෝ වුණා. එත් මගේ හිත අස්සෙත් එයා හැංගිලා හිටියා හැම දවසකම. අම්මලාගේ පොරොන්දු ඉටු කරන්න ඕන නිසා මට මගේ හීන හීතේම තියාගෙන ඉන්න වුණා.
මම විවාහ වෙලා ටික කලකින් නිශා විවාහ වුණා. ඇගේ මංගල්‍යට චමරියි මමයි දෙන්නම ගියා. අපේ පවුල් දෙක අතර බැඳීමක් ඇති වුණේ ඉන් පස්සේ. නිශයි චමරියි වගේම චමරිගෙ මහත්තයයි මමයි හොඳ යාළුවෝ වුණා. අපිටත් නොදැනීම නිශයි මමයි අතර බැඳීම තවත් වැඩි වුණා. ජීවිතේ ප්‍රශ්න බෙදාගෙන .. ආදරේ බෙදාගෙන අපි ජීවත් වුණාට කරන්නේ වරදක් නේද කියලා දැණුන අවස්ථාවලුත් තිබුණා.
“ඇයි මම නිශාව බැන්දේ නැත්තේ “ දවසට දෙතුන් වතාව මගෙ හිත මගෙන්ම අහපු ප්‍රශ්නය ඒක.
“ඇයි අපි අපි ගැන තීරණයක් ගත්තේ නැත්තේ“ සමහර දිනවල උෑසනට හමුවුණ ගමන් ඇය මගෙන් අහනවා.
ඒත් එහෙම ඇහුවට ඒකට උත්තරයක් කවදාවත් මගෙ ළඟ තිබුණේ නැහැ. “විඳිමින් විඳවමින් ජීවත් වෙන්න තමයි මට සිද්ද වෙලා තියෙන්නේ“ ….දවසක් නිශා කොළ කැල්ලක ලියලා මගෙ මේසය උඩින් තියලා ගියා. ඒ කොළය තවමත් මගෙ මේස ලාච්චුවෙ තියෙනවා.“
විසඳුමක් හොයා ගන්නට බැරි ආදරයට ආදරය කරන, හදවතින් බැඳුණ දෙදෙනෙකුගේ කතාවකි ඒ.
ඒ කතාව මතක් වුණේ අද තියෙන ප්‍රේම ගීත අතර ඉහළින්ම තියෙන මේ ගීතය ඇහුණට පස්සේ. ජනප්‍රිය ගායිකා අංජලී හේරත් ගයන මේ ගීතය සංගීතවත් කරන්නේ දක්ෂ සංගීත නිර්මාණ ශිල්පියකු වන තිලිණ රුහුණගේ විසිනි. ඒ ගී පදවල හිමිකාරිනිය වන්නේ ගී පද රචිකා ත්‍රිලක්ෂි චතුරිකා ජිනදාසය. වෘත්තියෙන් හෙදියක වන ත්‍රිලක්ෂි මේ වන විට ගීත හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ලියා ඇත. ඒ ගීත බොහෝමයක් මේ වන විට ජනප්‍රිය ගීත අතර වේ. පසුගියදා විකාශය අවසන් වූ “ටේක් කෙයා“ ටෙලි නාට්‍යයේ අවසන් රූප රාමුවට ද මේ ගී පද යොදා ගෙන තිබිණි.
ගීතය ගැන කතා කිරීමේදී ත්‍රිලක්ෂි පවසන්නේ මෙවන් අදහසකි.
“මේ වන විට මම ගීත ගණනාවක් ලියා තිබෙනවා. “අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ…“ කියන ගීතය මා අතින් ලියැවුණ තිස් වැනි ගීතය. මීට පෙරත් මම අංජලීට ගියතයක් ලියා තියෙනවා.
මේ ගීතයට අත්දැකීම වුණේ සත්‍ය සිද්ධියක්. පවුල් දෙකක් අතර ගැහැනිය සහ අනෙක් පවුලේ පිරිමියා අතර ඇති වුණ සම්බන්ධයක්. අදටත් ඒ අය අතර ඒ යාළුකම බැඳිම ආදරය තියෙනවා. මේ අත්දැකීම තමයි මගෙ අතින් අවාරේ ඇවිදින් කියලා ලියැවෙන්නේ. නමුත් මේ ගීතය මගෙ අතින් ලියැවෙන්නේ අංජලීට උපන්දින තැග්ගක් හැටියට. ඇගේ විදෙස් ගත මිතුරික් විසින් තමයි මට කතා කරලා කියන්නේ අංජලිගේ උපන්දිනයට තැග්ගක් හැටියට දෙන්න ගීතයක් ලියලා දෙන්න කියලා. මම ඉතාම කැමැත්තෙන් මේ ගීතය ලියලා දෙනවා. ඒ විදිහට තමයි ගීතය බිහි වෙන්නේ. අද වෙනකොට මේ ගීතයට බොහෝ රසික ප්‍රතිචාර තියෙනවා. අංජලි හරි ලස්සනට ගීතය ගයනවා වගේම තිලිණ සොයුරා හරි අපුරු තනු නිර්මාණයක් කර තිබෙනවා.“
ත්‍රිලක්ෂිණි පවසන්නේ සතුටිනි
අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැඟෙන්නේ
හිත මගේ අවුළුවා නුඹම යළි නිවන්නේ
නුඹේ ළඟ තරම් නෑ මට මං දැනෙන්නේ
හුස්මන් ගැහෙන්නේ නුඹ නමින් වේ නම්
නොදොඩා පිරී නුවන් මුව ගොළු වුණාදෙන්
රිදෙන පෑරෙන හැඟුම් සඟවාන රහසින්
ඉඳින්නම් ජීවිතේ මං හෙවණැල්ල විලසින්
ඇහි පියන් යා වෙවී නුඹ ඉන්නවා නම්
මඟ හැරෙන්නට ඉඩක් දෙන්නේම නෑ මං
සසර හුරු පුරුදු සේ යළි හමු වුණොතින්
හිමි අහිමි ප්‍රේමයේ මේ හිත නැවතුනාදෙන්
ගායනය – අංජලී හේරත්
පද රචනය – ත්‍රිලක්ෂි චතුරිකා ජිනදාස
සංගීතය – තිලිණ රුහුණගේ