– මාව ඒ චරිතයට කොච්චර ඕනේ කිව්වත් මගේ හිතට එකඟ නැති චරිත කරන්නෙ නැහැ
– පෞද්ගලිකව මගේ ජීවිතේ ගත්තොත් නම් සුජානි කියන්නෙ එහෙම සංකීර්ණ චරිතයක් නෙවෙයි
සුජානි මේනකා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. පුංචි කාලේ පටන් කලා ක්ෂේත්‍රයේ රැඳෙමින් තමන්ට දැනෙන චරිත තුළ ජීවත් වෙමින් ප්‍රේක්ෂක ආදරේ ඉහළින්ම ලබන වාසනාවන්ත රංගන ශිල්පිනියක් ඇය. නිතරම පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් දකින්න නොලැබුණත් මේ කාලයේ නම් රිදී තිරයෙන් සහ පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට සුජානි එනවා. ඒ කම්බිලි සිනමා නිර්මාණයෙන් සහ මී මැස්සා ටෙලි නාට්‍යය තුළින්.
පුංචි තිරයෙන් සහ රිදී තිරයෙන් ඔබව දකින්න ලැබෙන කාලයක්, කොහොමද ලැබෙන ප්‍රතිචාර
මේ කාලේ ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි. මම මුලින්ම පුංචි තිරය ගැන කිව්වොත් මී මැස්සා ටෙලි නාට්‍යය ගොඩක් ප්‍රේක්ෂකයින් වැලඳ ගෙන තියෙනවා. හොඳ අදහස් සහ නරක අදහස් දෙකම කතා කරනවා. සමහර අයට මගේ චරිතේ තාම තේරුම් ගන්න බැහැ. ඒ නිසා මොකද වෙන්නේ වගේ විවිධ ප්‍රශ්න අහනවා. සමහර අය බණිනවා. ඒ වගේම රිදී තිරය ගත්තම කම්බිලි චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින් අතරට එන්නේ. රට වල ඉන්න මගේ ප්‍රේක්ෂකයින් අහනවා කවද්ද ඒ රට වල කම්බිලි පෙන්වන්නේ කියලා. මම හිතුවේ නැති තරමට ප්‍රතිචාර ලැබෙනවා.
මී මැස්සාහි සුලෝචනා ඔබට දැනුණේ කොහොමද?
සුලෝචනා වගේ චරිතයක් මම මීට කලින් කරලාම නැහැ. ඩිල්ෂාන් මට ඉස්සෙල්ලාම කතා කරලා පිටපත එව්වට පස්සෙ කියෙව්වම මම හරිම කැමැති වුණ චරිතයක්. අපිට සාමාන්‍යයෙන් ලැබෙන්නෙ අපේ හැඟීම් පෙන්නන්න පුළුවන් චරිතනේ. නමුත් මී මැස්සාහි සුලෝචනා කියන්නෙ ඇක්ට් එක හරි ගැඹුරින් ප්ලේ කරන්න ඕනේ චරිතයක්. හැබැයි ඇය සමාජයට මුහුණ දෙන්නෙ සාමාන්‍ය සැහැල්ලු විදිහට ජීවත් වෙන ගැහැනියක් විදිහට. නමුත් සුලෝචනා කියන්නෙ එහෙම සරල සාමාන්‍ය ගැහැනියක් නෙවෙයි. පෞද්ගලිකව මගේ ජීවිතේ ගත්තොත් නම් සුජානි කියන්නෙ එහෙම සංකීර්ණ චරිතයක් නෙවෙයි.
අභියෝගයක් වුණේ නැද්ද?
ඇත්තටම ඒ චරිතය හරි හැටි ප්ලේ කරන එක හරිම අමාරුයි. මම ඩිල්ෂාන් එක්ක සෑහෙන කාලයක් මේ සුලෝචනා කියන චරිතේ ගැන කතා කළා. මට චරිතයක් ලැබුණම මම සාමාන්‍යයෙන් හෝම්වර්ක් කරන කෙනෙක්. මම මේ චරිතයට සූදානම් වෙලා ඉන්නකොට ඩිල්ෂාන් හදිසියේ කතා කරලා ඇහුවා මේකේ තව චරිතයක් තියෙනවා ඒක කරන්න කැමති ද කියලා. මම එකසැරේම කිව්වෙ බැහැ. මම කොහොමත් ඒ චරිතේ කරන්නෙ නැහැ මම ආස සුලෝචනාට කියලා. මම හිතන්නෙ මේ කාලේ මට ලැබුණු සංකීර්ණම චරිතය සුලෝචනා.
මේ කාලේ වේදිකාව එක්ක තියෙන ගනුදෙනුව කොහොමද?
වේදිකා නාට්‍ය එක්ක දීර්ඝ කාලයක් විදේශ සංචාරයක් කරපු නිසා මේ කාලේ වේදිකාවෙන් පොඩි විවේක කාලයක් ගත්තා. නාට්‍යයට සම්බන්ධ වුණ හැම ශිල්පියෙක්ටම ඒ විවේකය අවශ්‍ය වුණා. විදෙස්ගතව සිටි කාලේ මඟහැරුණු සහ කල් දැමූ වැඩටික කර ගන්න. නමුත් ඉක්මනින්ම නාට්‍යය පටන් ගන්න ඉන්නෙ.
කාලයකට සැරයක් එක නිර්මාණයකින් තමයි ඔබව දකින්න ලැබෙන්නෙ, ඇයි මේ තරම් චරිත තෝරා බේරාගෙන රඟපාන්නෙ?
මම දන්නෙ නැහැ දැන් අවුරුදු කිහිපයක් තිස්සෙ මට ලැබෙන චරිත මම ආස චරිත නෙවෙයි. ඒ කියන්නෙ ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. සමහර චරිත මගේ රංගන ජීවිතේ මුල් කාලේ ඉඳන්ම භාර නොගත් චරිත. මාව ඒ චරිතයට කොච්චර ඕනේ කිව්වත් මගේ හිතට එකඟ නැති චරිත කරන්නෙ නැහැ. හැබැයි මට හිතුණොත් මේ චරිතේ තුළ මට යම් දෙයක් කරන්න තියෙනවා කියලා ඒ චරිතේ ඒ නිර්මාණය තුළ කුඩා වුවත් මම කරනවා. මම කරන චරිතය තුළ මට විශේෂත්වයක් දැනෙන්න ඕනේ. ඉතින් කාලයක් තිස්සේ මට දැනෙන චරිත ලැබුණේ හරි අඩුවෙන්. එතකොට මම කරන්නෙ මට අවුරුද්දටම ලැබෙන්නෙ එකයි ද මම ඒ එක නිර්මාණය කරලා ඉන්නවා.
ඔබේ කාලය ඔබ යොදවන්නෙ මොනවටද?
මම මගේ වෘත්තිය ගැන හැදෑරීම් කරනවා. සාමාන්‍යයෙන් මම චිත්‍රපට බලනවා පොත් කියවනවා. ඒ වෙනුවෙන් කාලය ගත කරන්නවා. එහෙම නැතුව ලැබෙන හැම නිර්මාණයක්ම කරන්න ගියොත් මම පසුතැවෙන්න ඉඩ තියෙනවා. ඇයි මම ඒ වෙනුවෙන් මගේ කාලය යෙදෙව්වෙ කියලා. ගිය අවුරුද්ද ගත්තම මුළු කාලයෙන් වැඩි හරියක් යෙදෙව්වෙ වේදිකා නාට්‍යයට. මම කැමතියි මම කරනදේට උපරිම කැපවෙලා මට සතුටු හිතෙන විදිහට කරලා ප්‍රේක්ෂකයන්ට භාර දෙන්න.
ඒ නිසාම වෙන්න ඕනේ සතෙන් සතේ ඉඳන් අදටත් ක්ෂේත්‍රය තුළ රැඳෙමින් ප්‍රේක්ෂක ආදරේ ලබන්නෙ?
මම මගේ වෘත්තියට පුදුමාකාර විදිහට ආදරේ කරන කෙනෙක්. ඒක මම හරි ගෞරවයෙන් රකින දෙයක්. මගේ ජීවිතේ වගේම තමයි. මම මගේ ජීවිතෙත් හරි ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගන්න කෙනෙක්. උදාහරණයක් විදිහට මම පුදුම විදිහට ආසයි සින්දු කියන්න. හැබැයි මට සින්දු කියන්න බැහැ. නමුත් මම ඒ වෘත්තියට දක්වන ගෞරවයක් විදිහට කොතැනකදීවත් සින්දු කියන්න යන්නෙ නැහැ. ආසාවට ගෙදරදි කියනවා. ඒ හැර ප්‍රසිද්ධියේ හෝ චැනල් එකකවත් සින්දු කියන්නෙ නැහැ. මම දන්නවා මම සින්දු කියන්න ගියොත් ගායන වෘත්තීයට අගෞරවයක් වෙනවා කියලා. ඒ නිසා මම ආස නැහැ මොනයම් හෝ වෘත්තියක් නොදැන කරන්න. මම හැම වෘත්තියකටම වටිනාකම ලබා දෙනවා. ඒ වටිනාකම දෙන නිසා වෙන්න ඕනේ මටත් ඒ දේ අනිත් පැත්තට ලැබෙන්නෙ.
සුජානි කියන්නෙ හොඳට පොතපත කියවන කෙනෙක්, පොතක් ලියන්න අදහසක් නැද්ද?
හොඳටම තියෙනවා. මම හිතන්නෙ මම දැන් අවුරුදු 10ක වගේ කාලයක පටන් ලියනවා. එහෙම ලියපු ඒවත් තියෙනවා. හැබැයි මට තාම හරියටම පොතක් ලියාගන්න තේරෙන්නෙ නැහැ. මම කොච්චර පොත් කියෙව්වත් පොතක් ලියන්න තියෙන අත්දැකීම අඩුයි. කොහොම හරි පොතක් ලියනවා කියලා හිතේ තියෙනවා. හැබැයි අනාගතයේ දවසක මම ලියපු එකක් පිටපතක් විදිහට හරි එළියට එන්න පුළුවන්.
ඔබට සින්දු කියන්න බැහැ කිව්වාට, ආදරණීය සැමියා බිමල්ට නම් හොඳ හඬක් තියෙනවා. ඔහුට සින්දුවක් ලියන්න හිතුවේ නැද්ද?
මට අඩුම තරමේ නිසඳැසක්වත් ලියන්න බැහැ. මට එකම එක නිසඳැසයි ලියවුණේ මම ආදරෙන්ම ඇති කරපු ලේන් පැටියා මැරුණු වෙලාවෙ. ඒ වෙලාවේ හිතේ තිබ්බ හැඟීම් මම ලිව්වා. මම ඒත් දන්නෙ නැහැ ඒකත් නිසඳැසක් ද කියලා. බිමල් තමයි කියවලා කිව්වෙ ඒක නිසඳැසක් කියලා. හැබැයි මම සින්දු ලියන්න උත්සාහ කරලත් නැහැ.
ආදරණීය සැමියා බිමල්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අනිවාර්යයෙන්ම. බිමල් එක්ක විවාහ වෙන්නත් කලින් ඉඳලාම. ඒක මම හිතන්නෙ අපි දෙන්නගෙ අවබෝධයෙන් වෙච්චි දෙයක්. බිමල් රඟපාන්න කලින් තාක්ෂණික ශිල්පියෙක් විදිහට වැඩ කරලා තියෙන නිසා ඔහුටත් අපේ වෘත්තිය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මමත් පොඩි කාලේ ඉඳන්ම මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මට තියෙන අවබෝධය එක්ක ඔහුගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ. මම අද මමම වෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ බිමල්ගෙන් ලැබෙන සහයෝගය නිසා. ඔහුගෙන් තියෙන එකම කන්දොස්කිරියාව තමයි මම නිර්මාණ නොකර දීර්ඝ නිවාඩු ගන්න එකට. මම ෆෝන් ආන්සර් නොකර ඉන්නකොට තමයි ඔහු කියන්නෙ එයා කියන්නෙ එහෙම කරන්න එපා එන චරිතේ හොඳ ද නරක ද කරන්න පුළුවන් ද බැරි ද කියලා හරි බලන්න කියලා. මම ආන්සර් නොකළම ඒ ඇමතුම යන්නෙ බිමල්ටනේ. සුජානිව කන්ටැක් කර ගන්න බැලුවේ අපේ නිර්මාණයට, කෝ ෆෝන් ආන්සර් කරන්නෙ නැහැ නේ කියලා. ඒ වගේ දේවලට මම බැණුම් අහනවා. ඒ හැර වෙන කිසිම දෙයකට එයා බණින්නෙ නැහැ. මට හිතාගන්නත් බැහැ බිමල් නැතුව වෙන කෙනෙක් බැන්දානම් මට මොකක් වෙයිද කියලා. එච්චරටම මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
අනූෂා රණසිංහ