– ඒ කාලේ ලියුම් බෙදන පියුම් මහත්තයා අපේ ගෙදරට විතරක් එනවා ලියුම් ගෝණියක් අරගෙන
– මම කෙනෙකුට යමක් කරලා ඒ දේ කළාය කියලා කියන්න කැමැති කෙනෙකුත් නෙමෙයි
– අහම්බෙන් මුණ ගැහිලා තමයි අපි හඳුනාගෙන කතාබහ කරලා විවාහ වුණේ
– ඒ චරිතයට කිසිම කෙනෙක් ගැළපුණේ නැහැ කියලා තමයි මාව ගන්න යෝජනා වෙලා තිබ්බේ
ආදරණීය බැඳීම්, සැබෑ යහළුකම් දැන් සමාජය තුළ විරලය. අවුරුදු 36ක් පුරාවටම යහළුකම් පවත්වාගෙන යන අඹ යහළුවෝ නාට්‍යයේ සුදු අප්පෝ හා නිමල් වූ ඔවුහු අද සැබෑ ජීවිතයේත් අඹ යහළුවෝය. සුදු අප්පොට පණ පෙවූ රසික පෙරේරා අවුරුදු තිස් හයක මතක මෙසේ ආවර්ජනය කළේය. “මමයි අශේන් මංජුල අතර අවුරුදු තුනක වයස් පරතරයක් තියෙනවා. මම අඹ යහළුවෝ නාට්‍යයට සම්බන්ධ වෙද්දී මගේ වයස 11ක්. අශේන්ට 14ක්. අපි දෙන්නා නිතරම රණ්ඩු කර ගන්නවා. ඒත් අඹ යහළුවෝ නාට්‍යයේ රූගත කිරිම් පටන් ගද්දි කවදාවත් අපි දෙන්නා ඒ ඒ දර්ශන තලවලදි රණ්ඩු වෙලා තරහෙන් කැමරාව ඉදිරියට ගිහිං නැහැ. අවශ්‍ය රංගනය අපි දෙන්නගෙන්ම දෙන්න උත්සාහ ගත්තා. අශේන්ට නාට්‍ය ගැන ඒ වෙද්දී අත්දැකීම් තිබ්බ එකත් මට සහයක් වුණා. එයා තිස්ස ගුණවර්ධන සර්ගේ ගෝලයෙක්. නමුත් මම පාසලේවත් නාට්‍යය රඟපාලා තිබ්බ කෙනෙක් නෙමෙයි.“
නාට්‍ය රූගත කර අවසන් වූ පසුවත් ඒ යාළුකම් පවත්වාගෙන යන්න තරම් එකල ඒ පොඩි හිත් සමත් විය.
“නාට්‍ය කොටස් 12ක එකක් වුණත් මාස තුනක් තිස්සේ රූගත කිරිම් තිබුණා. ඒ දවස්වල අපි රූගත කරන ප්‍රදේශවල තමයි නවාතැන් ගත්තේ. ඒ නිසා අම්මයි තාත්තයි සති දෙකකට වතාවක් බලන්න ආවා. නාට්‍ය ඉවර වුණත් අශේන් මගෙත් එක්ක තිබුණු හිතවත්කම තිබ්බා. මට අද වගේ මතකයි අශේන් අපේ ගෙදර එනවා සිකුරාදාට ඇවිත් ඉරිදා රෑ යන්නේ. අපේ ගෙදර අවට හිටපු ගොඩක් යාළුවෝ එකතු වෙලා ක්‍රිකට් ගහනවා. ඒ නිසා අශේන් අමතක නොකර ආවා අපේ ගෙදර. තවත් යාළුවෝ හත් අට දෙනෙක් අපේ ගෙදර එනවා රෑට ඉන්න. හරි ලස්සන ළමා කාලයක් ඒක. මට ඉන්නේ මල්ලිලා දෙන්නෙක්. අපේ කාමරේ ලොකුයි. ඇඳවල් එකට යා කරලා හැමෝම එකට නිදා ගන්නවා. නැත්තම් බිම පැදුරු දාලා නිදා ගන්නවා. අපි නිදා ගන්නේ නැහැ, කතා කරනවා, කෑකෝ ගහනවා, කොට්ට උඩින් පාවෙලා යන්නේ, ආච්චිගේ කාමරේ ළඟ අපේ කාමරේ තිබුණු නිසා ආච්චි අම්මට නිදා ගන්නත් නැහැ. දවසක් අපි ක්‍රිකට් සෙල්ලම් කරලා එනකොට පැපිලියාන හන්දියට එනකල් අපි කොට්ටවලින් ගහගෙන පාර දිගේ ආවේ, අද වගේ නෙමෙයි ඒ කාලේ ඒ පාර හරි පටුයි. මගේ අම්මා තාත්තා ගෙදර හිටියේ නැහැ ඒ දවසේ. ගෙදර යන අතරතුර අම්ම තාත්තා අපිව දැකලා වාහනේ නතර කළා. පවුලේ වැඩිමලා මම නිසා එදා මම හොඳටම ගුටි කෑවා.
ඇත්තටම කිව්වොත් ඒ යාළුකම් තමයි සැබෑ යහළුකම්. අපිට කිසිම දෙයක් නැති කාලේ ඇති වෙන බැඳීම් හරි ආදරණීයයි. අවංකයි. අදටත් අපි කතාබහ කරනවා. එදා නාට්‍ය අවසන් වෙලා ගෙදර එද්දී පවුලෙන් ඈත් වෙලා ආවා වගේ හැඟීමක් දැණුනා, මොකද හැමෝම එක පවුලක් වගේ ජීවත් වූ නිසා .. ෂූටිං දවස්වල සතියට එක දවසක් අපි හැමෝටම නිවාඩු, ඉතිං හැමෝම ක්‍රිකට් සෙල්ලම් කරා..ගඟේ ගිහිං නෑවා.. ගඟ ළඟ පොඩි කඩයක් තිබුණා. එතැනින් ප්ලේන්ටි බිලා හැලප කාලා හරියට විනෝද වුණා.”
ඒ මතක තවමත් හිතේ කරපින්නාගෙන සිටින රසික රංගන ශිල්පියෙක් හැටියට පරිපූර්ණ වීමට ඔහුගේ පවුල කලා පවුලක මුදුන් මුලක් නොවීය. කලාවට ඕපපාතිකයෙක් වූ රසිකට අදටත් කවුරුත් ආදරේ කරන්නේ අඹ යහළුවෝ සුදු අප්පෝ ලෙසය. ඒ චරිතය ඔහුව එතරම් ගාම්හීර කළේය.
“බෙල්ලන්විල පන්සලේදී මාව දැකලා මගේ අම්මා තාත්තාට අනුලා කරුණාරත්න මහත්මිය රංගනයට යෝජනා කළත් ඒ දෙන්නා ඊට අකමැති වුණා නෙමෙයි ඒ ගැන ගණන් ගත්තේ නැහැ. හේතුව මට ඒ වෙද්දී රංගනය ගැන අවබෝධයක් නොතිබුණ නිසා. මම පාසල් වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණෙ නැති කෙනෙක්. ආච්චියි සීයයි නම් තදින්ම විරුද්ධ වුණා. එහෙම යෝජනාවක් ආවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ අඹ යහළුවෝ අධ්‍යක්ෂතුමා ඇතුළු පිරිසක් ඇවිත් අම්මයි තාත්තයි එක්ක කතා කළා. එතකොට තමයි මම දැන ගත්තේ. එදා මට පුදුමාකාර සතුටක් දැනුණා. ඒ වෙද්දී මම ළමා පොත් රාශියක් කියවලා තිබුණා. විශේෂයෙන්ම මම කියවු පොත් අතර අඹ යහළුවෝ පොතත් තිබුණා. ඒ වෙනකොට මම හත් අට වතාවක් කියවලා ඒ චරිතය තුළ ජීවත් වුණු කෙනෙක්. සුදු අප්පෝ තමයි මම කැමති චරිතය. ඒ චරිතයට කිසිම කෙනෙක් ගැළපුණේ නැහැ කියලා තමයි මාව ගන්න යෝජනා වෙලා තිබුණේ. සුදු අප්පෝ මම වගේ කියලා, ඉතිං ඒ ආරංචිය මාව ප්‍රීතිමත් කළා. පසුව දෙමාපියන් කැමති වුණා, ඒත් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති කිව්වා මගේ වගකීම් පාසලෙන් භාර ගන්නෙ නැහැ දෙමාපියන්ට භාර ගන්න කියලා, ඒ වෙද්දී මම හැමදාම පංතියේ තුන්වෙනියගෙන් පහළට ගියේ නැහැ. ෂූටිංවලට මාස තුනක් පාසල් වැඩ අතපසු වුණා. මගේ අම්මා තමයි යාළුවන්ගෙන් නෝට් ඉල්ලගෙන ඇවිත් මගේ පොත්වල ලිව්වේ. ඒ විදිහට තමයි අධ්‍යාපනය පැත්තෙනුත් සාර්ථක කර ගත්තේ.”
1987 වසරේදී අඹ යහළුවෝ රූගත කෙරුණේ මීරිගම ප්‍රදේශයේය. අතිශය දුෂ්කර ප්‍රදේශයක රූගත කිරීම් සඳහා සම්බන්ධ වූ රසිකට එහි අපහසුතා තදින්ම දැනුණේ ඔහු කොළඹ හැදී වැඩී කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා සැපවත් ජීවිතයක් ගත කළ නිසාය. නමුත් පළමු දින දෙක තුන අසීරු වුවත් ඔහු ඊට හුරුවිය. එමෙන්ම පොත් කියවීම පුරුද්දක් කරගෙන තිබූ රසික අඹ යහළුවෝ ළමා නවකතාවද හත් අට වතාවක් කියවා එහි චරිත තුළ ජීවත් වූ අයෙකි. එහෙයින් ඔහුට සුදු අප්පෝ ජීවමාන කිරිමට පහසු විය.
“සුදු අප්පෝ චරිතයේ මුල්ම දෙබස වුණේ “අන්න අරහේ එනවා..” කියන දෙබස. පළවෙනි දවසේ එපා වුණා. ගල් වළක සීන් එකක්..අව්වේ..ඊට පස්සේ ඒකට හුරු වුණා… පොත කියවලා තිබ්බ නිසා දෙබස් හොඳට මතකයි. මගේ රංගන ජීවිතේ මුලකුරු මට කියලා දුන්නේ ආචාර්ය සාලමන් ෆොන්සේකා මහත්මයා. එතුමාට මාව පුරුදු කරන්න සති දෙකයි තිබුණේ, එතුමා කිව්වා රංගනය සුමාන දෙකෙන් ඉගෙන ගන්න බැහැ. හොඳම දේ තමයි ඔයා සුදු අප්පෝ කියලා හිතාගෙන චරිතය තුළ ජීවත් වෙන එක කියලා. කොහොම වුණත් එතුමා මට කියලා දුන්නු පුහුණුව මගේ චරිතය ගොඩ නගන්න මට ඉවහල් වුණා කියන්න පුළුවන්. ඒ වගේම මේ සුදු අප්පෝ චරිතය හදන්න ලොකු කැපවීමක් කළා අනුලා රණවීර මහත්මිය. අශෝක පීරිස් මහත්මයා, රූබී ද මෙල් මහත්මිය වගේම ප්‍රවීණ රංගවේදීන්. ඒ වගේම තමයි අශේන්. ඔහුත් රංගනයේ දැනුමක් තිබුණු කෙනෙක්. ඒ වගේම මේ නාට්‍යයේ සියලූම කාර්‍යමණ්ඩලය මම ආදරයෙන් මතක් කරනවා. මේ හැමෝම “සුදු අප්පෝ“ වෙන්න මට හයියක් වුණා.”
ගහ කොළට සතා සිව්පාවුන්ට රසික වඩාත් බැඳෙන්නෙ කුඩාම අවධියේය. එහෙත් ඒ බැඳීම් තවත් වැඩි වන්නේ ඔහු කොළඹින් පිට ගොස් රූගත කිරීම් සඳහා තනිවම ජීවත් වීමත්, සුදු අප්පෝ චරිතය තුළ ජීවත් වීමත් හෙයිනි. ඔහුට අවශ්‍ය වූයේ වෛද්‍යවරයකු වීම නොවුණත් ඔහු විද්‍යා විෂයන් උසස් පෙළ සඳහා තෝරා ගන්නේ හේතුවක් උඩය.
“සුදු අප්පෝ චරිතයෙන් පසුව ඇතැම් උත්සව සඳහා මට ආරාධනා ලැබුණා , SOS ළමා ගම්මානයට ගියා. එතැනදි මට මතක් වුණේ සුදු අප්පෝ චරිතය. මට ඕන වුණේ වෛද්‍යවරයකු වෙන්න නෙමෙයි. මයික්‍රෝබයලොජීස්ට් කෙනෙක් වෙන්න. හේතුව පරිසරය එක්ක වැඩ කරන්න තිබ්බ ආසාවට. ඒ නිසා බයෝ සයන්ස් කළා උසස් පෙළට. ඒත් අවසානයේ තේ රස පරීක්ෂකවරයෙක් බවට පත් වුණා. අවුරුදු 19 දී තමයි ඒ පැත්තට යොමු වුණේ.
දෛවය අපිට ඕන දේ ලබා දෙන්නෙ නැහැ කියලා මම එතැනින් විශ්වාස කරන්න පටන් ගත්තා. වසර ගණනාවක් තිස්සේ මම සවුදි අරාබියේ තේ රස පරීක්ෂකවරයෙක් හා රෙසිපි ක්‍රියේටර් කෙනෙක් හැටියට කටයුතු කරනවා. මෙය ටී ටේස්ටර් කෙනෙකුගෙන් එහාට ගිය ලොකූ භාරධූර වගකීමක්. සම්පූර්ණ තේ සන්නාමයේ රස වගේම ගුණාත්මක භාවය රැඳී තියෙන්නේ නිර්මාණය වෙන රෙසිපි එක මත. තේ පිළිබඳ දැනුම විතරක් තිබ්බට මදි, Numerical skills තියෙන්න ඕන. ඒ කියන්නේ සංඛ්‍යාත්මක කුසලතා. Economically viable වෙන්නත් ඕන..”
තේ දල්ලේ රසය ගුණය ලෝකෙට එලෙසින් රැගෙන යන රසික තවත් ජීවිත රැසකට මාර්ගය සකස් කර දෙන්නෙකි. බොහෝ ජනප්‍රිය තරු, තරු ලකුණු පවත්වාගෙන යාම සඳහා සමාජ සත්කාර පවත්වාගෙන යනු ලබයි. රසික චැරටි යන වචනයට තදින් විරුද්ධ පුද්ගලයෙකි. සුදු අප්පෝ නිසා මිනිසුන්ට හැකි අයුරින් ඔහුද උදව් කරයි.
“මම චැරටි කියන දේ අනුමත කරන්නේ නැහැ වගේම මම කෙනෙකුට යමක් කරලා ඒ දේ කළාය කියලා කියන්න කැමැති කෙනෙකුත් නෙමෙයි. නමුත් ඊට මම මෙහෙම උත්තර දෙන්නම්. ඒ කියන්නේ අඹ යාළුවෝ හරහා ජීවිතේ තව පැතිකඩක් විවර වෙනවා. මිනිස්සු මාව සුදු අප්පෝ හැටියට හඳුනාගෙන ඔවුන්ගෙ ප්‍රශ්න මාත් එක්ක බෙදා ගන්නවා. ඒ කාලේ ලියුම් බෙදන පියුම් මහත්තයා අපේ ගෙදරට විතරක් එනවා ලියුම් ගෝණියක් අරගෙන. ඒ ලියුම් අස්සේ ජනතාවගේ ප්‍රශ්න තිබ්බේ. ඒක විස්තර කරලා කියන්න තේරෙන්නේ නැහැ. ඒක සංවේදී හැඟීමක්. මම වයස අවුරුදු 11දි තමයි ඒකට මුහුණ දුන්නෙ. නොදැනුවත්වම මගේ හිතේ තැන්පත් වුණා කවදා හරි මගේ රටට, ජනතාවට, ගහ කොළ සංරක්ෂණය කරන්න යම් දෙයක් කරන්න ඕන කියලා, පසුව Sustainability concept එක මම හදාරලා ඒ සංකල්පයට පණ දෙන්න වෑයම් කළා. රාවණා ගාර්ඩ්න් ඔස්සේ තමයි මම එය ඉටු කර ගන්නෙ. ඉන් පරිසරයට වගේම ජනතාවට ලොකු සේවයක් වෙනවා. ඉතිං අපහසුතා ඇති අයට ඉගෙන ගන්න, රස්සාවල් දෙන්න ඒ ඒ අයගේ මාවත තෝරාගෙන දක්ෂතා තෝරාගෙන ඒ මඟ යන්න උදව් කරනවා. එතකොට එයාලා කාගෙන්වත් යැපෙන්නෙ නැහැ. ඔවුන්ම අනාගතය ගොඩනඟා ගන්නවා. මගේ රාවණා ගාර්ඩ්න් හෝටලයේ දැන් වැඩ කරන ප්‍රධාන සූපවේදින් දෙදෙනා ඊට හොඳම උදාහරණයි. මේ හෝටලයේ සියලූම කෑම බිම රසකාරක නැතිව හදන්නේ, එහි රස දෙන්නේ ඔවුන්.”
රසික නිහතමානීව එලෙස පැවසීය. ඔහුගේ ආදරණීය බිරිඳ දුලංගී ය. ඇයද රසික සේ ගහ කොළට සතා සිව්පාවුන්ට ප්‍රේම කරන තැනැත්තියකි.
“මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය තමයි දුලංගී. මොන දේ කරන්නත් බිරිඳගේ ආශිර්වාද කැමැත්ත සහාය තියෙන්න ඕන. අහම්බෙන් මුණ ගැහිලා තමයි අපි හඳුනාගෙන කතාබහ කරලා විවාහ වුණේ. මම හිතනවා ඒ තමයි මගේ හරිම තෝරා ගැනීම කියලා. සවුදියේ අපි ජීවත් වෙන නිවාස සංකීර්ණය අසල ඉන්න සත්තු විස්ස තිහකට කෑම හදලා කන්න දෙනවා. ඒ සත්තු දුලාංගී එනකල් බලාගෙන ඉන්නවා. අනෙකාට පුළුවන් විදිහට සලකන මට ඇය ලෝභ නොකර උදව් කරනවා,
අපි කතා කරනකොට දුලංගී දැනගෙන හිටියා මම අඹ යාළුවෝ නාට්‍යයේ සුදු අප්පෝ කියලා. නමුත් අපේ සම්බන්ධය වර්ධනය වුණේ ඒ නිසා නෙමෙයි. අපේ අදහස් මත තිබුණු ගැළපීම මත. එයත් ඒ චරිතයට ආදරේ කරපු කෙනෙක්. ඇය මගේ වැඩවලට ගොඩක් උදව් කරනවා, අපි හරි ආදරණීය විදිහට ජීවිතේ බෙදාගෙන ජීවත් වෙනවා.”
වසර තිස් හයක් තිස්සේ සුදු අප්පොට ප්‍රේම කරන ප්‍රේමණීයයන් වෙනුවෙන් මතක අවදි කළ ඔහු කතාබහ අවසන් කිරිමට පෙර එලෙසින් කීය. ටී. බී. ඉලංගරත්නයන්ගේ අඹ යාළුවෝ කෘතිය තුළ ලියැවුණු සුදු අප්පෝ වර්ෂ 1988දි පුංචි තිරයට ගෙන ආවේ ජාතික රූපවාහිනියයි.
හර්ෂණී වීරරත්න