– අපි පුංචි කාලේ අප්පච්චි ගෙදර ඉන්න වෙලාවට සර්පිනාව අරගෙන සින්දු හදනවා
– මගේ අප්පච්චි ඒ වෙලාවට සින්දුවක් කියලා සල්ලි හම්බ කරපු ගායකයෙක් නෙවෙයි
සංගීත ක්ෂේත්‍රයට බොහෝ ලයාන්විත ගීත බිහි කළ ප්‍රියා සුරියසේන ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. අදටත් ඔහුගේ ගීත බොහෝ දෙනෙක් රස විඳිනවා. මේ වෙද්දී ඔහු යම් අසනීප තත්වයක පසුවන නිසා ගී නොගැයුවත් ඔහුගේ ගමන් මඟ යන්නට හැකි දක්ෂ පුතෙක් ඉන්නවා. ඔහු නමින් ලක්‍ෂිත සූරියසේන. විදෙස්ගතව සිටි ලක්ෂිත මේ වෙද්දී ලංකාවට ඇවිත්.
ලක්ෂිත කාලයකට පස්සේ ලංකාවට ඇවිත්
ඔව්. මම ලංකාවට ඇවිත් මාසයක්වත් වුණේ නැහැ. දැන් මම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙක් විදියට වැඩ පටන් ගත්තා.
වසර කීයක් ඔබ විදෙස් ගතව හිටියද?
මම ජීවත් වුණේ අෙමරිකාවේ. වසර 20ක්. ඒ කාලය තුළ වසරකට සැරයක් මම ලංකාවට ඇවිත් ගියා. ආචාර්ය උපාධියෙන් පස්සේ මම නැනෝ තාක්ෂණික ආයතනවල රැකියාවන්වල නිරත වුණා.
මේ කාලේ ගත්තම ගොඩක් උපාධිධාරීන් රට හැර යනවා. ඒත් ඔබ නැවත ලංකාවට එනවා.?
මම ලංකාවට එන්න තීරණය කරද්දීත් බොහෝ දෙනා කිව්වේ එන්න එපා කියලා. ඒත් මම හිතුවේ මේ තමයි මම ලංකාවට එන්න සුදුසුම වෙලාව කියලා. එකක් මගේ අප්පච්චි ඉන්නේ අසනීපයෙන් නිසා ඔහු ළඟ රැඳෙමින් අප්පච්චිවත් බලා ගන්න ඕනේ. අනිත් එක මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. මම අද යම් තැනක ඉන්නවා නම් සහ මට යම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම මගේ රටේ මතු පරපුරට දිය යුතුයි. ඒ නිසා තමයි මමයි මගේ බිරිඳයි ලංකාවට එන්න තීරණය කළේ. එහෙම නැත්නම් අපි දෙන්නටම PHD එක තියෙන නිසා එ් රටේ රැකියාවක් කරන්න ඕනේ හැටිය පුළුවන්කම තිබුණා. මේ වෙද්දීත් මම නැනෝ තාක්ෂණික අංශයෙන් අපේ රටේ නැති තාක්ෂණික උපකරණ ලංකාවට ගෙන්වාගෙන ඒ දැනුම අපේ මතු පරම්පරාවට දෙන්න උත්සහ කරනවා.
අප්පච්චි එක්ක සින්දුවක් කිව්වේ නැද්ද?
කිව්වා. ඒ අප්පච්චි අසනීප වෙන්න කලින් කරපු අවසන් නිර්මාණය. තාම ඒ ගීතය එළිදැක්වුණේ නැහැ. මම හිතන් ඉන්නේ මේ ඔක්තෝම්බර් මාසේ ඒ ගීතය එළිදක්වන්න. ඔක්තෝම්බර් කියන්නේ මගෙත් අප්පච්චිගේ උපන්දිනය යෙදෙන මාසේ. අප්පච්චිගේ 80වෙනි උපන්දිනය යෙදෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් මේ ගීතය එළිදක්වන්න සුදානම්. ඒ ගීතයෙන් කියැවෙන්නේ තාත්තා කෙනෙක් සහ පුතෙක් අතර ඇතිවෙන සංවාදයක්. සින්දුව ලිව්වේ මම. මෙලඩි එක කළේ මමයි අප්පච්චියි. ප්‍රියා සූරියසේනගේ පුතා වීම මට ආඩම්බරයක්.
කලා පවුලක දරුවෙක් වීම පුංචි කාලේ ඉඳන් දැනුණේ කොහොමද?
පුංචි කාලේ ඉඳන්ම අප්පච්චිගෙන් කලාවට ලොකු නැඹුරුතාවක් ලැබුණා. අප්පච්චි ගෙදර ඉන්න වෙලාවට සර්පිනාව අරගෙන සින්දු හදනවා. ඒ දවස්වල ටීටර්වල මෙහෙම වුණේ කියලා කවි කියනවා. පරණ හින්දි සින්දුවල තියෙන රාගාත්මක දේවල් කතා වෙනවා. අම්මත් සංගීත ගුරුවරියක් නිසා ගොඩක් සංගීතයට නැඹුරු වුණු කලා පරිසරයක් ගෙදර තිබ්බේ. මමත් සංගීතය හැදෑරුවා. ගෙදරින් ලැබුණු ආභාසය එක්ක සංගීත සහ කවි තරගවලට සහභාගිවෙලා මම ආනන්ද විද්‍යාලයෙන් තෑගි දිනා ගත්තා. ඊට පස්සේ මම විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික අංශයට යොමු වුණා. වැඩිදුර අධ්‍යාපනයට මොරටුව සරසවියට ඇතුළත් වුණා. එතැනින් ශිෂ්‍යත්වයක් ලැබිලා තමයි විදෙස්ගත වුණේ. ඒ වුණාට මම සංගීතය අමතක කළේ නැහැ. අපේ ගෙදර ලෝකය තුළ තිබ්බේ සංගීතය. මගේ අප්පච්චි ඒ වෙලාවට සින්දුවක් කියලා සල්ලි හම්බ කරපු ගායකයෙක් නෙවෙයි. අප්පච්චි සංගීතය තුළම ජීවත් වුණු කෙනෙක් විදියටයි මම දැක්කේ. පරණ සින්දු අලුත් සින්දු අහනවා. හින්දි සහ දෙමළ සින්දු අහනව. ඒ තුළ තියෙන රාගාත්මක දේවල් ගැන අධ්‍යයනය කරනවා. මගෙ අප්පච්චි කියන්නේ ඔහු අහපු මෙලඩි හිතට එන්නෙත් ඒ දේවල්වල අනුසාරයෙන් කියලා.
අප්පච්චිගේ ගීත අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන ගීතය මොකක් ද?
මම අප්පච්චිගේ ගීත බොහොමයකට ප්‍රිය කරනවා. ඒ අතර මම වැඩියෙන්ම කැමති ගීතයක් තමයි සිහින විජිතයේ කියන ගීතය. මමත් සෑහෙන කාලයක් ජීවන සහකාරියක් හොයමින් හිටියා. මට ඕනේ වුණේ ලංකාවේ කෙනෙක්. නමුත් මම කාලයක්ම විදෙස්ගතව හිටිය නිසා මට ලංකාවේ අය මුණගැහුණේ අඩුවෙන්. ඒ නිසා සිහින විජිතයේ සරන්නී සදා ගීතයට ඇලුම් කළා. ඒ නිසාම 2014 දී අප්පච්චිගේ අවසරය ඇතුව ඒ ගීතය වෙනම නාද රටාවකින් මම ගායනා කළා.
මේ වෙද්දී ප්‍රසංග වේදිකාවෙන් ඇරයුම් ලැබෙනවද?
ඔව්. අප්පච්චි අසනීප වුණාට පස්සේ මට මියුසික් ප්‍රෝග්‍රෑම් රැසකට ඇරයුම් ලැබුණා. මට ඒ දේවල්වලට යන්න විදියක් තිබ්බේ නැහැ. එකක් මම ලංකාවේ නැතිකම. අක්කා එයාට පුළුවන් ඒවාට සහභාගී වුණා. පිටරට ප්‍රසංගවලින් මගේ පළමු ප්‍රසංගය කළා. ඒක තිබුණේ වොෂින්ටන් ඩිසිවල. ඒ මේ අවුරුද්දේ මාර්තු මාසේ. ඉතාම සාර්ථක ප්‍රසංගයක්. ඊට පස්සේ අෙමරිකාවේ ලොස් ඇන්ජලිස්වලින් කැනඩාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ඇරයුම් ලැබුණා. නමුත් ඒ දේවල් භාර ගන්න බැරි වුණා. මම ඒ වෙද්දි අප්පච්චි බලන්න ලංකාවට එන්න ලෑස්ති වෙලා හිටිය නිසා. දැන් අපිට පුංචි පුතෙක් ඉන්නවා. එයත් එක්ක රටවල් අතරට යන එන එක එතරම් ලෙහෙසි පහසුත් නැහැ.
මේ වෙද්දී තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?
ඉතාම හොඳ මට්ටමින් ඉන්නවා කියන්නත් බැහැ. සැරින් සැරේ අසනීප තත්ත්වයන් ඇතිවෙනවා. අපි උත්සහ කරමින් ඉන්නවා තව හොඳ අතට හරවා ගන්න. ඒ කොහොම වෙතත් අප්පච්චි සාමාන්‍යය මට්ටමින් ඉන්නවා.
ලක්ෂිත මේ වෙද්දී ඔයාගෙම කියලා නිර්මාණ කරලද තියෙන්නේ?
ඔව්. මගේම කියන නිර්මාණ තියෙනවා. මිට වසර හතරකට කලින් ආදරවන්ති කියලා මගේම නිර්මාණයක් කළා. එහි සංගීතය කළේ තිලිණ රුහුණගේ අයියා. ලිව්වේ මම. මෙලඩි එක කළේ මමයි අප්පච්චියි දෙන්නම එකතුවෙලා. රූප රචනාවට හිටියේ මිෂෙල් දිල්හාරා. ඊට පස්සේ මගේ තිබුණ කාර්යබහුලකම එක්ක නිර්මාණ කරන්න බැරි වුණා. දැන් මම බලාපොරොත්තු වෙනවා අප්පච්චිගේ නිර්මාණයක් අලුත් විදියට කරන්න. ඒක තව මාස හතර පහකින් දැන ගන්න ලැබෙයි. ඒ වගේම අක්කා එක්ක මම සින්දුවක් කරන්න ඉන්නේ.
ලක්ෂිතගේ ආදරණීය බිරිඳගෙන් ලැබෙන සහයෝහය කොහොමද?
ඇය නමින් මියුරු පියතිලක. එයත් මොරටුව විශ්වවිද්‍යාලයේ Materials Science and Engineering අංශයේ කථිකාචාර්යවරියක් විදියට කටයුතු කරනවා. ඇය කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. නමුත් ඇය කලාවට කැමති කෙනෙක්. ඒ එක්කම අපි දෙන්නගේ ලොකු ගැළපීමක් තියෙනවා. අපි දෙන්නම කථිකාචාර්යවරු වැඩ කරන නිසා. පුතාට තවම අවුරුදු දෙකයි. එයාගේ නම සනිදු සූරියසේන. බිරිඳගෙන් මට ලොකු ශක්තියක් සහයෝගයක් ලැබෙනවා. අප්පච්චි අසනීපයෙන් ඉන්න නිසා අප්පච්චි ගැනත් හරි ආදරෙන් සොයා බලනවා. ඇය කවදාවත් ඉස්සරහට එන්න කැමති නැහැ. නිහඬව මගේ පිටුපස ඉඳන් මට උපරිම සහයෝගය දෙන නිහතමානී චරිතයක්.