ඉකුත් 22 දා අලුයම් කාලයේ දී දුරකතනයෙහි සටහන් වූ හදිසි පුවතකින් සිත එක්වර තිගැස්සිණ. අදහාගත නොහැකි වූ එපුවත පිළිබඳ ජනාධිපති මැතිවරණ ප්‍රථිඵල අසමින් සිටි මිතුරු සමාගමට දැන්වීමෙන් අනතුරුව ඔවුන් සියලුදෙනාගේම අතිජාත මිතුරකු වූ ඔහු පිළිබඳ මතකාවර්ජනයට අප හැම පිවිසියේ මැතිවරණ ප්‍රථිඵල ඇසීමට විරාමයක් දෙමිනි. ඩබ්ලිව්. ජයසිරි නම් වූ අප මිතුරාගේ හදිසි වියෝව අප මිතුරු සමාගමයේ සියල්ලන්ගේම සිත් කම්පනයට පත් කළ දුක්බර පුවතක් වූ බව මට හොඳින්ම දැනිණ. හැත්තෑව දශකයේ මුල් කාලයටත් පෙර සිට දැන සිටි, පසුව ඉතාම සමීප ඇසුරකට පත් වූ මිතුරා නොව සුමිතුරා වූ ජයේ, ජයා, නමින් අමතනු ලැබූ ඔහු අවසන්වරට මට හමු වූ රාත්‍රිය සිහියට නැගිණ.
එදා ජූලි 30 දා හැන්දෑ වරුවේ සුදර්ශී සංස්කෘතික ආයතන ප්‍රේක්ෂාගාරය අතුරු සිදුරු නොමැතිව ඔහුගේ ආදරණීයයන්ගෙන් පිරි’තිරී ගොස් තිබුණේ යළි කිසි දිනක ඔවුනට ඔහු හමු නොවේ යයි යන සිතිවිල්ලෙන් නම් නොවන බව මට දැන් සිහිපත් වේ. බිරිඳ රූපිකා හා දෙදෙනාම දියණියන් වූ මන්දරිකා හා අන්නපූර්ණා සමඟ එම සැඳෑවේ මා දුටු ඔහුගේ මුහුණේ ඇඳී තිබූ සතුට යළි කිසි දිනෙක දකින්නට නොලැබේය යන සිතුවිල්ල මා සිත පාරවන්නේ අප දෙදෙනාගේ මිත්‍ර සන්ථවයට දශක පහකටත් වඩා දිගු අතීතයක් ඇති බැවිනි.
ගුවන් විදුලියේ ක්‍රියාකාරී සහකාරවරයකු ලෙස රැකියාව කළ මුල් කාලයේ සිට ඔහුගේ මිත්‍ර සමාගම වූ සුගතපාල ද සිල්වා, තිලක් ජයරත්න, දයා තෙන්නකෝන්, සරත් කැල්ලපොත, යූ. ආරියවිමල්, බන්දුල විතානගේ, ලූෂන් බුලත්සිංහල ආදීන් අපගේ ද මිත්‍ර සමාගමයෙහි නිත්‍ය සාමාජිකයන් වූ බැවින් ගුවන් විදුලියට ආ ගිය බොහෝ අවස්ථාවන්හි අප අතර මිත්‍රත්වය ගොඩ නැගුණු බව සිහිපත් වේ. 1972දී සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ දුන්න දුනු ගමුවේ වේදිකා නාට්‍යයේ අංග රචනයට සුගත්ගෙන් ලද ඇරැයුමට පසුව අපේ කට්ටියට එක් වූ මාහට ජයසිරි ප්‍රධාන මිතුරු කැල හා ඉතා සමීප මිත්‍ර සන්ථවයක් ගොඩනඟාගන්නට හැකිවූයේ දුන්නට පසුව සුගත් නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයකම රංගන දායකත්වය පළ කළ අවස්ථාවන්හි අපට එක්ව කටයුතු කරන්නට ලද අවස්ථා නිසාය. මුතුකුමාරි , රතැසි උවදුර ( තිලක් ජයරත්නගේ නාට්‍යය ) සමඟ දිවයින පුරා ගමන් කළ නාට්‍ය සංචාර එකී අවස්ථාවේ ඩබ්ලිව්. ජයසිරි යනු බහු නිපුණතා ප්‍රකට කළ කලාකරුවකු ලෙස හැඳින්වීම නිවරැදි යයි හඟිමි. එදවස වේදිකාව, ගුවන් විදුලිය හා සිනමාව යන මාධ්‍ය තුළ තම නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූ ජයසිරි රූපවාහිනියේ ආගමනයත් සමඟ එම මාධ්‍යයෙහි ද ඔහු තුළ වූ කුසලතා ප්‍රේක්ෂකයන්ගේ අවධානයට යොමු කරවීමට සමත් වූයේ සිනමාවේ, වේදිකාවේ මෙන්ම රූපවාහිනී නාට්‍ය රංගනයෙහි ද විශිෂ්ටයකු බව ඔප්පු කරමින් මෙරට ප්‍රමුඛ සම්මාන උලෙළ රැසක දීම සම්මානයට පාත්‍ර වීමෙනි. ජයසිරි කලක් එතෙර රැකියාවක නිරතව සිට මෙරටට ආ කල්හි තම මිත්‍ර සුගතපාල ද සිල්වා වේදිකා නාට්‍ය පිටපතක් අතැතිව නිෂ්පාදකයකු සොයමින් සිටි කල්හි නාට්‍ය කලාවට ජයසිරි තුළ වූ ආදරය නිසාම මරාසාද් නාට්‍යයේ අර්ථපතිත්වයට දායක වෙමින් 1986 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය / හොඳම නාට්‍යය, හොඳම පරිවර්තන අධ්‍යක්ෂණය, හොඳම පරිවර් තන රචනය, හොඳම නළුවා ( ජැක්සන් ඇන්තනි ) රංගනයට පිදුණු විශේෂ සම්මානය ( මරාසාද් / ඩබ්ලිව්. ජයසිරි ) රංගනයට විශේෂ සම්මානය, කෞශල්‍යා ප්‍රනාන්දු ( මරාසාද් ) හොඳම සංගීතය , ප්‍රේමසිරි කේමදාස ( මරාසාද් ) හොඳම රංග වින්‍යාසය ( සුගතපාල ද සිල්වා / මරාසාද් ) ආදී වූ සම්මාන රාශියක් තම මිතුරාට ලබා දුන්නේ ඔහු හා දුන්න දුනුගමුවේ නාට්‍යයේ හදිසි අත්හිටුවීම පිළිබඳ වූ විරසකය ද අමතක කරමිනි. වේදිකාව ජයගත් ජයසිරි තම රූපණ කෞශල්‍යය වෙනුවෙන් සිනමාවෙහි ද ජය දද නැංවූ බව සම්මාන උලෙළ ඉතිහාස තතු පවසයි. ජනාධිපති සිනමා සම්මාන උලෙළ 1982 හොඳම තිර නාටක රචක – සොල්දාදු උන්නැහේ, දුවට මවක මිස, හොඳම සහාය නළුවා, 2012 ජනාධිපති සම්මාන උලෙළ ගාමණී චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම සහාය නළුවා සම්මානය දිනාගන්නේ වේදිකාව මෙන්ම සිනමාවෙහි ද රංගනය ඉතා නිවැරදිව හඳුනාගනිමින් කළ රංග ප්‍රතිභාව අරබයාය. ටෙලි නාට්‍ය සම්මාන නාමාවලියෙහි ජයසිරිගේ නම ඉදිරියෙහි සම්මානයක් සටහන් වන්නේ 1996 සුමති සම්මාන උලෙළෙහි දී තරග කළ නිරානන්දය ටෙලි නාට්‍යය වෙනුවෙනි. ඩබ්ලිව්. ජයසිරිගේ තවත් වැදගත් කලා ප්‍රකාශන ප්‍රභේදයක් වන්නේ ගේය කාව්‍ය රචනයයි.ගුවන් විදුලි සරල ගීයක් ලෙස ප්‍රකට විශාරද සනත් නන්දසිරි ගායනා කළ නිදිකුම්බා මල්කැකුලී ජයසිරිගේ ගේය කාව්‍ය රචනයෙහි ආරම්භය සේ සැලකේ. ඔහු එකී ශානරයෙහි කිරුළු පලඳින්නේ 1979 ජනාධිපති සිනමා සම්මාන උලෙළෙහිදී පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටය සඳහා ජයසිරි විරචිත උදුම්බරා ගීත රචනාව සමගිනි. සිංහල සිනමා ගීතයෙහි විශිෂ්ටතම සිනමානුරූපී ගේය කාව්‍ය සංකල්පනාවක් ලෙස උදුම්බරා ඉතිහාසයට එක්ව හමාර ය. සම්භාව්‍ය ගණයෙහිලා සැලකිය හැකි ගේය කාව්‍ය සංකල්පනාවන්ට අමතරව ජයසිරිගේ පෑන්තුඩින් ලියැවුණු අතිශය ජනප්‍රිය ගීත රචනාවක් පිළිබඳ තතු බොහෝ රසිකයන් නොදන්නවා විය යුතුය. දිවයිනේ ප්‍රමුඛ ගායක කණ්ඩායමක් වන ජිප්සීස් සුනිල් පෙරේරා ගායනා කළ ලොරෙන්සෝ ද අල්මේදා කොලොම් තොටට යහපත් නාවිකයා රචනා කොට ඇත්තේ ද ඩබ්ලිව්. ජයසිරි විසින්මය.
රංගනය,ගේය කාව්‍ය රචනය සේම ජනමාධ්‍ය තීරු හා විශේෂාංග රචනා කරන ලේඛකයකු ලෙස ද ජයසිරිගේ සම්ප්‍රදානය කැපී පෙනේ. ඔහු විරචිත මතක සමඟ ලට්ට ලොට්ට එවැනි රචනා අතුළත් සංග්‍රහයකි. ඔහුගේ කලා ජීවිතය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණයක තොරතුරු රැසක් එහි රචනා තුළ පාඨකයනට හමු වේ. නිර්මාණකරුවකුට අමතරව අතිශය සුහදශීලී මිතුරු භූමිකාවක කොටස්කරුවකු ලෙස ද ජයසිරි අපට සමීපය. ඔහුගේ ගම මාතර ය. අකුරු කොට ඇත්තේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ය. ඔහුගේ උපන් වර්ෂය 1947 ය. අප ද අකුරු කළේ මාතර සාන්ත සර් වේෂස් විද්‍යාලයේ ය. මා උපන්නේ ද 1947 වසරේදී ය. ඔහු මැයි මාසයේ හා මා දෙසැම්බරයේ බැවින් මා ඔහුට වඩා මාස කීපයකින් බාලය. අප දෙදෙනාටම ක්‍රිකට් පිස්සුවක් වේ. ඇතැම් දවසක ඔහු මට පවසන්නේ “මචං බුද්ධි කොමෙන්ට්ස් දාන්නෙ නැතුව මැච් එක බලපන්“ කියාය. ඇතැම් අවස්ථාවක සම්මාන උලෙළ ගැන කියමින් මා දෙසට ද ඇඟිල්ල දිගු කරයි. එහෙත් කිසි දිනක අප දෙදෙනා අතර විරසකයක් වී නොමැත. පසුගිය අරගල සමයේ අපි දෙදෙනාම ගාලු මුවදොර විරෝධතාකරුවන් සමඟ සිටියෙමු. අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවේ යැයි අපේක්ෂා කළ ජයසිරි ඒ මොහොත දැකගන්නට ඔහු නොසිටීවි යැයි යූ – ටියුබ් නාළිකාවකට පවසා තිබුණේ මරණය පිළිබඳ කල් තියාම ඔහුට ඉවක් තිබූ නිසා ද කියා සිතේ. ඒ සියල්ල දැන් සිදු වී හමාර ය. අනුර කුමාර සහෝදරයා දැන් අප රටෙහි ජනාධිපතිවරයාය. ඩබ්ලිව්. ජයසිරිට ඒ තතු දැනගන්නට හෝ දැකගන්නට වාසනාවක් නොවීය. ජීවිතයෙහි ස්වභාවය එයයි. දශක පහකටත් වඩා දිගු කාලයක මිතුරු ඇසුර නිමා කරමින්, මතක සමුදායක් ඉතිරි කරමින් ජයසිරි යන්නට ගොසිනි. ඔබට සුබ රාත්‍රියක්, සුව නින්දක් මිත්‍රයා !
බුද්ධදාස ගලප්පත්ති