Home » ගායකයකු වීම මගේ හීන සැබෑවීමක්

ගායකයකු වීම මගේ හීන සැබෑවීමක්

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

ගායන ශිල්පියෙකු මෙන්ම වාද්‍ය ශිල්පියෙකු ලෙස ද කටයුතු කරන වසන්ත පීරිස්ගේ අලුත්ම ගීත නිර්මාණ කිහිපයක් පසුගියදා නිකුත් වුණා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු පාසල් තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය. පාසල් අධ්‍යාපනයෙන් පසු සංගීත කණ්ඩායම් කිහිපයක් සමඟම කටයුතු කළ වසන්තගේ සිහිනය වන්නේ ගායන ශිල්පියකු ලෙස ඉදිරියට ඒමය.

“1994, 1995, 1996 වසරවල පාසලේ දක්ෂතම ගායකයා වුණේ මම. පාසලේ තිබූ “කුමර රංගන” කලා උලෙළේ දක්ෂතම ගායකයා ලෙසත් වසර ගණනක් ජයග්‍රහණ ලැබුවා. ගායනයට අමතරව වාදක කණ්ඩායම්වල වැඩ කළා. උසස් පෙළ කාලයේ සංගීත කණ්ඩායම්වලට එකතු වුණා. මුල්ම සංගීත කණ්ඩායම මොරටුවේ එගොඩ උයන නිශාරා සංගීත කණ්ඩායම. මම එහි ආරම්භකයෙක්. රිදම් ගිටාර් වාදකයා මෙන්ම ප්‍රධාන නිත්‍ය ගායන ශිල්පියා ලෙස කටයුතු කළෙත් මමයි. විදෙස්ගත වීමත් සමඟ මෙල්බර්න් සංගීත කණ්ඩායම්වල අදටත් රිදම් ගිටාරය, ලීඩ් ගිටාරය වාදනය කරනවා. ඊට අමතරව මම පැදුරු සාජ්ජවල මැන්ඩලීන් වාදනය කරනවා. මගේ තාත්තා විශ්‍රාමික ගුරුවරයෙක්. ඔහු ගුවන්විදුලියේ බී ශ්‍රේණියේ ගුරුවරයෙක්. ඔහුගේ හැකියාව මට ලැබුණා කියා මම විශ්වාස කරනවා.

මගේ මුල්ම සංගීත ගුරුවරයා මගේ තාත්තා. වේල්ස් කුමර විද්‍යාලයේ සංගීත ගුරුතුමිය වූ ශ්‍රීමතී මහත්මියත් සංගීත විශාරද කළ මගේ මාමත් මගේ ගමනට බොහෝ සේ උදව් කළා. මට උදව් කළ අය අතර දක්ෂ ගිටාර් වාදක ශිල්පියෙක් වන නිශාන්ත පීරිස් වගේම මගේ සමවයස් මිත්‍රයා මතක් කරන්නම ඕන. මට බොහෝ අයගේ සහාය ලැබුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ “නළමුදු සුවඳ” වැඩසටහනේ වසර 03ක්ම පිටපිට අවසන් තරගකරුවන් පස්දෙනා අතරට ආවා. එහිදී මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ ඇසුර ලැබීමත් මගේ ජීවිතයට ඉතා වටිනවා.“

මෑතකදී ඔහු විසින් ගායනා කළ නවතම ගීත තුනක් පසු ගියදා එළි දැක්වීම සිදුවුණා. විශාරද දර්ශන වික්‍රමතුංග විසින් සංගීත නිර්මාණය කරන ලද මේ ගීත රචනා කරන ලද්දේ ඉන්ද්‍රානි අලුත්දුරගේ විසිනි. ඈ විසින් ලියූ “සඳ හිනාවෙලා ගියා තරු කතා නැතිව ගියා, ගමේ සුවඳමයි අදත් දැනෙන්නේ“ සංගීතවත් කරන්නේ විශාරද නවරත්න ගමගේ හා දර්ශන වික්‍රමතුංග විසිනි. ප්‍රවීණ ගායිකා වසන්තා තිලකාංගනී සමඟ වසන්ත ගයන මුල්ම යුග ගීතය ලියන්නේ මංජුල ධර්මප්‍රිය විසිනි.

“මට හැමදාමත් ඕන වුණේ සංගීතයෙන් ඉදිරියට එන්න. මම මොන දේ කළත් ඒකට වෙහෙසුණේ. කැපවීමෙන් කටයුතු කළේ. අද මට හිතෙනවා මම මගේ ගමන ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ ගමනේදී මට සහාය වුණ හැමෝටම හිස නමා මගේ ගෞරවය පිරිනමනවා‍.

මනෝජ් රුක්මාල් කුමාරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division