Home » රූමතියක් සමඟ කළ කේරළ ගංජා ජාවාරම

රූමතියක් සමඟ කළ කේරළ ගංජා ජාවාරම

by sachintha
September 28, 2024 12:34 am 0 comment

රටේ විවිධ ප්‍රදේශවලින් කේරළ ගංජා අත්අඩංගුවට ගැනීම් වාර්තා වීම් අතරේ නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් ඇහැටුවැව පොලිසිය මඟින් සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝ තුනයි ග්‍රෑම් 680ක් සමඟින් සැකකරුවන් තිදෙ‍නෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙම වැටලීම සිදු කරනු ලැබුවේ ඇහැටුවැව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසිනි. රට පුරා පොලිස් ස්ථාන නිරතුරුවම විමසිල්ලෙන් පසුවන මොහොතක අපරාධවලට තිත තැබීමට හැකිවන වටපිටාවක නිකවැරටිය පොලිස් කොට්ඨාසයෙන් එක්දිනක් තුළ වාර්තා වූ අත්අඩංගුවට ගත් වැඩිම කේරළ ගංජා තොගය මෙය වීමද වීශේෂත්වයකි. මේ අතර ඔත්තුකරුවකුගෙන් ඇහැටුවැව පොලිස් බුද්ධි අංශයට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ මේ මෙහෙයුමට ඉඩ හසර ලබා දෙමිනි.

ඉන් කියැවෙන්නේ ත්‍රීරෝද රථයකින් කේරළ ගංජා තොගයක් රැගෙන යාමට කිසිවකු සූදානම් වෙන බවයි. පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියා වහාම මේ තොරතුරු ඇහැටුවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිහාල්සිරි රත්නායකට පවසන්නේ ඒ මොහොතේදීමය.

එම තොරතුරු ලද සැණින් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පොලිස් ස්ථානයේ සිට ඇඹෝගමුව ප්‍රදේශයට ළඟා වන්නේ ක්ෂණිකවය. අදාළ කේරළ ගංජා තොගය අංගොමුගම ප්‍රදේශයට ගෙනයාමට නියමිතව තිබිණි. පොලිස් නිලධාරීන් ඒ ගැන නිරීක්ෂණය කරමින් රැඳී සිටියදී එදින පෙරවරුවේ අදාළ මාර්ගයේ පැමිණි ත්‍රීරෝද රථයක් නතර කෙරෙන්නේ පොලිස් සංඥාවෙනි. එම ත්‍රීරෝද රථය ඇහැටුවැව පොලිස් වසමේම ලියාපදිංචි කෙරෙනු එකකි. ත්‍රීරෝද රථ රියැදුරා ඉන් බිමට බැස සියලු ලියකියවිලි තිබෙන බව පොලිසියට පෙන්වා සිනාසී එතැනින් යාමට තැත් කළේය. එහෙත් පොලිස් නිලධරයෝ ඔහු නවත්වා ත්‍රීරෝද රථය දැඩි ලෙස පරික්ෂාවට ලක් කිරීමේදී රියැදුරු තක්කු මුක්කු විය. රථයේ ඉදිරි අසුනේ ඉතා සූක්ෂ්මව සඟවා තිබු ගංජා පාර්සලය පොලිසියට හසු විය. එය ප්‍රමාණයෙන් කිලෝ එකයි ග්‍රෑම් 680 කි.

සැකකරු අත්අඩංගුවට ගැනිණි. ඔහු ඇහැටුවැව පොලිස් ස්ථානය වෙතට ගෙන එන්නේ ඉන් අනතුරුවය. පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු සමඟ හොඳින් කතාබහ කළේය.

”තමුන්ට මේවා ලැබුණු හැටි කියන්නකෝ“ යැයි පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරුට කීවේය. සැකකරු සියලු තොරතුරු හෙළි කරන්නේ ඒ අනුවය.

”සර්, මේවා මං ගන්නේ කුලියාපිටියෙන්…“ යැයි සැකකරු කීවේය. සැකකරු අදාළ ජාවාරම්කරුට දුරකතන ඇමතුමක් ගත්තේය.

”මට තවත් කේරළ ගංජා කිලෝ දෙකක් ඕනෑ” ඔහු එසේ කීවේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මතය.

”හරි දෙන්නම්. හැබැයි වාරියපොළට එන්න ඕනෑ”. කුලියාපිටියේ ජාවාරම්කරු කීවේය. ඒ අනුව සැකකරු සමඟ පොලිස් කණ්ඩායමක් එහි යාමට සූදානම් වෙද්දී ජාවාරම්කරු නැවත ඇමතුමක් ගත්තේය.

”ඔයා එන්න එපා. මම අනුරාධපුරේ යනවා. ඒ යන ගමන් ඒවා දෙන්නම්. ඔයා මහව දළදාගම හංදියේ ඉන්න.” ජාවාරම්කරු කීවේය. ඉන් අනතුරුව වාරියපොළට යාමට සූදානම් වූ පොලිස් කණ්ඩායම දළදාගමට යාමට පිටත් වුණි.

”අපි එන ගමන් ඉන්නේ. නමුත් දළදාගමට එන්න බෑ. එතැන පොලිස් චෙක් පොයින්ට් එකක් නේද?“ මෙලෙස ජාවාරම්කරු ‘ඉල්ලුම්කරුවා’ තැනින් තැනට රැගෙන යාමට තැත් කිරීමෙන් අපහසුතාවට පත් වෙස්වළාගත් පොලිස් නිලධාරින් පාදෙණිය සිට මහව දෙසට මෝටර් රථයෙන් පැමිණෙන්නේ ජාවාරම්කරු බව වටහාගෙන දළදාගම සහ බළල්ල හංදිය අතරේදී ජාවාරම්කරුගේ රථය ක්ෂණයකින් මාර්ගයේ නවතා ‍එය පරික්ෂා කළේය. එහි තිබී කේරළ ගංජා කිලෝ දෙකක් සොයා ගැනීමට ද පොලිසියට හැකි වුණි.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරු කුලියාපිටිය, ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලේඛනගත ජාවාරම්කරුවෙකු ලෙසට ප්‍රසිද්ධියට පත් අයෙකි. රට පුරා යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූ දා පටන් මේ ජාවාරම්කරු සිය ගමෙන් අතුරුදන් විය.‍ කුලියාපිටියෙන් පිටමංවූ මේ ජාවාරමා එම පොලිස් ස්ථානයට ද අවශ්‍ය වූ අයෙකි. ඇහැටුවැව නිලධාරීන්ට මොහු කොටුකර ගන්නා තෙක් ජාවාරම්කරු අල්ලා ගැනීමට කිසිවකුට නොහැකි විය. එම මෝටර් රථයේ කාන්තාවක් සිටියාය. මොහු රට වටා මෙම ජාවාරමේ නියැළෙන්නේ මෙම කාන්තාව සමඟ බවට පොලිසියට තොරතුරු හෙළි කර ගන්නේ ඒ අනුවය.

කේරළ ගංජා ග්‍රෑම් එකක් රුපියල් දසදහසකට අලෙවි කරන බවටද තොරතුරු අනාවරණය විය. එසේනම් එක් දිනක් තුළදී මෙසේ අත්අඩංගුවට පත් ගංජාවල වටිනාකම ලක්ෂ 40කට ආසන්න යැයි පොලිසිය පෙන්වා දෙයි. එලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් දෙදෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කරන්නට ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා හතුරුසිංහ පොලිසියට නියෝග කළාය. සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ උඩුබද්දාව ප්‍රදේශයේ කාන්තාවකි. රඳවාගෙන ප්‍රශ්න කරන එක් අයකු කුලියාපිටියේ පදිංචිකරුවකු වන අතර ත්‍රීරෝද රථ රියැදුරා ඇහැටුවැව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවු‍නගේ දුරකතන වි‍ශ්ලේෂණ වාර්තා සහ ඔවුන් සතුව ඇති බැංකු ගිණුම් සම්බන්ධව සියලු තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධව පුළුල් පරික්ෂණ සිදුවන බවද පොලිසිය කියයි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ අධීක්ෂණයෙන් නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාරගේ උපදෙස් මත ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි ජීවක රාජපක්ෂගේ අධීක්ෂණයෙන් ඇහැටුවැව පොලිස් ස්ථානාධිපති ආර්.එම්. නිහාල්සිරි රත්නායක, සැරයන්වරුන් වන කරුණාරත්න (6953), රත්නමලල (22949), ආරියතිලක (29776), උදයසිරි (41210), කුමාර (66701), වන්නිනායක (62776), විජේතිලක (81030), කොස්තාපල් රියැදුරු කරුණාරත්න (16565) යන නිලධාරිහු වැටලීමට එක් වූහ.

පොල්පිතිගම නන්දන කැලේගම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division