Home » නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්

නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්

by yasara
October 3, 2024 11:21 am 0 comment

2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ  ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිවූ අතර ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ  ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට  බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලදී.

අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී  අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත්  ජයන්ත කැටගොඩ මහතා පත්කරන ලදී

මේ අයුරින්ම ගරු.මුජිබර් රහුමාන් මහතා ගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා  ඒ. එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ  ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත්  මුජිබර් රහුමාන් මහතා පත් කර ගන්නා ලදී. කෙසේ වුවද පුරප්පාඩු වූ  හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් නොකරන ලදී.

සුවිශේෂී කාරුණු රැසක් හේතුවෙන් වඩාත් ජනතා අවධානයට ලක්වූ නවවැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙරට 8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස  රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වීමයි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත.

 

අංකය මන්ත්‍රීවරයාගේ නම මන්ත්‍රීධුරය පුරප්පාඩු වීමට හේතුව පුරප්පාඩුව සහා පත් වූ නව මන්ත්‍රීවරයාගේ නම
01 ගරු ජයන්ත කැටගොඩ මහතා      ඉල්ලා අස්වීම ගරු බැසිල් රාජපක්ෂ මහතා
02 ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා      ඉල්ලා අස්වීම ගරු ජයන්ත කැටගොඩ මහතා
03 ගරු මහින්ද සමරසිංහ මහතා      ඉල්ලා අස්වීම ගරු ලලිත් වර්ණකුමාර මහතා
04 ගරු බැසිල් රාජපක්ෂ මහතා      ඉල්ලා අස්වීම ගරු ධම්මික පෙරේරා මහතා
05 ගරු මුජිබර් රහුමාන් මහතා      ඉල්ලා අස්වීම ගරු ඒ. එච්. එම්. ‍ෆවුසි මහතා
06 ගරු චමින්ද විජේසිරි මහතා      ඉල්ලා අස්වීම ගරු නයන වාසලතිලක මහතා
07 ගරු උද්දික ප්‍රේමරත්න මහතා      ඉල්ලා අස්වීම ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
08 ගරු තලතා අතුකෝරල මහත්මිය      ඉල්ලා අස්වීම ගරු කරුණාරත්න පරණවිතාන මහතා
09 ගරු රංජන් රාමනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හෝ 91 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු වීම ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
10 ගරු ඩයනා ගමගේ මහත්මිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හෝ 91 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු වීම ගරු මුජිබර් රහුමාන් මහතා
11 ගරු නසීර් අහමඩ් මහතා පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීම ගරු අලි සහිර් මවුලානා මහතා
12 ගරු මනූෂ නානායක්කාර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීම ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
13 ගරු හරීන් ප්‍රනාන්දු මහතා පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීම නව මන්ත්‍රීවරයෙක් පත් නොකරන ලදී
14 ගරු අමරකීර්ති අතුකෝරල මහතා මියයෑම ගරු ජගත් සමරවික්‍රම මහතා
15 ගරු සනත් නිශාන්ත මහතා මියයෑම ගරු ජගත් ප්‍රියංකර මහතා
16 ගරු එච්. නන්දසේන මහතා මියයෑම ගරු එම්. ජී. වීරසේන මහතා
17 ගරු ආර්. සම්බන්ධන් මහතා මියයෑම ගරු කදිරවේලු කුගදාසන් මහතා
18 ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම ගරු වජිර අබේවර්ධන මහතා
19 ගරු අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීම ගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා

 

 

මෙම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක්වී ඇති අතර මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කොට ඇති අතර තෙවැනි සහ සිව් වැනි වාර අවසාන කිරීම් හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර තිබේ. මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ සභාවාර 5ක් පැවතී ඇති අතර පළමු සභාවාරය 2020.08.20 දින සිට 2021.12.12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022.01.18 දින සිට 2022.07.28 දක්වාත්, තෙවැනි සභාවාරය 2022.08.03 දින සිට 2023.01.27 දක්වාත්, සිව් වැනි සභාවාරය 2023.02.08 දින සිට 2024.01.26 දක්වාත් පස්වැනි සභාවාරය 2024.02.07 සිට 2024.09.24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වාත් ක්‍රියාත්මක වී තිබේ. එසේම මෙම සභාවාර 5 තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස්වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division