Home » අරන්තලාවේ එස් ටී එෆ් ලොක්කාට දුරකතනයෙන් ලැබුණු ඔත්තුව

අරන්තලාවේ එස් ටී එෆ් ලොක්කාට දුරකතනයෙන් ලැබුණු ඔත්තුව

by thanushika
October 5, 2024 12:30 am 0 comment

මත්ලෝලීන් අතර මේ වන විට හෙරොයින්වලට පසුව වැඩිපුරම ජනප්‍රිය මත්ද්‍රව්‍ය අයිස්ය. රසායනික මත්ද්‍රව්‍යයක් වන අයිස් නිසා ජීවිතවලට සිදුවන විනාශය අතිමහත්ය. මේ අතර මේ දිනවල මත්ද්‍රව්‍යවල හිඟතාව සහ මිල ඉහළ යාම නිසා මත්පෙතිවලට ද බොහෝ සේ ඉල්ලුමක් මත්ලෝලීන්ගෙන් ඇතිවී තිබේ. ඒ අනුව මත්ලෝලීන් ව්‍යාජ ලෙස වෛද්‍යවරුන්ගේ නිර්දේශ සහිත ඖෂධ පත් ලබාගෙන මත් කරල් ඖෂධ හල්වලින් ලබාගැනීමට ද පෙලඹී සිටී. එවැනි වෛද්‍යවරුන්ගේ නම් සහිත රබර් මුද්‍රා ව්‍යාජ ලෙස යොදාගෙන මත්ලෝලීන් මත්පෙති සහ මත්කරල් ඖෂධහල්වලින් ලබාගත් අවස්ථා එමට වාර්තා විය.

මෙකී ජාවාරම ද අයිස් සහ මත්කරල් ජාවාරමේ යෙදුණු පුද්ගලයකු ගැනය. පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ගේ සූක්ෂ්ම විමර්ශනයකින් මේ මත්කරල් සහ අයිස් ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීම සිදු විය. එම කතාන්දරය පෙළගැසෙන්නේ මෙලෙසිනි.

දිගු කලෙක සිට යතුරුපැදියෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අයිස් සහ මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු විය. එම පුද්ගලයා පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකා උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින්ට තොරතුරක් ලැබෙන්නේ ඉකුත් දිනෙකය. ඒ අනුව එම ජාවාරම්කාර පුද්ගලයා පිළිබඳව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග සහ උපදෙස් පරිදි අම්පාර කලාපය භාර පොලිස් අධිකාරී ඒ.එස්.පී. ගුණසිරිගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි සම්පත් කුමාරගේ අධීක්ෂණයෙන් අරන්තලාව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.වී. චන්දන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කෙරිණි. එම වැටලීමෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට අයිස් සහ මත්කරල් ජාවාරම් කළ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනිණි.

අරන්තලාව කඳවුරේ එස්ටීඑෆ් අණදෙන නිලධාරී ජී.වී. චන්දන සිරිත් පරිදි තම රාජකාරි කටයුතු සඳහා යාමට සුදානම් වූයේ පෙරවරු 7ට පමණය. නිල ඇඳුමෙන් සැරසුණ චන්දනට දුරකතන ඇමතුමක් ලැබුණේ ඒ සමඟිනි.

“සර්, පණිවිඩයක් දෙන්නයි මම කතා කළේ… සර්ට මේ වෙලාවේ කතා කරන්න පුළුවන් ද?” පණිවුඩය දුන් පුද්ගලයා එලෙස විමසීය.

“හොඳයි… කතා කරන්න…” යැයි පොලිස් පරීක්ෂක චන්දන කීවේය.

“අයිස් මල්ලි” අයිසුයි මත්පෙතියි අරන් මේ දැන් එනවා. අයිස් මල්ලි එන්නේ බයිසිකලෙන්.” යැයි තොරතුරුකරු කීවේය. තොරතුරුකරු ඇමතූ පොලිස් පරීක්ෂක චන්දන ඔහුගෙන් විමසුවේ අයිස් මල්ලිව හඳුනා ගන්නේ කොහොමදැයි කියාය.

“කොළපාට බයික් එකෙන් තමයි එන්නේ.” යැයි කී ඔත්තුකරු අයිස් මල්ලිගේ හැඩහුරුකම් ද කීවේය.

“හොඳයි… මම බලන්නම්” කියා පොලිස් පරීක්ෂකවරයා ඇමතුම විසන්ධි කළේය. වැටලීම සූදානම් කෙරිණි.

වැටලීම සිදුකරන්නට පෙර වි⁣ශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් ද උපදෙස් ද ලබාගැනීමට පොලිස් පරීක්ෂකවරයා අමතක අමතක නොකළේය.

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ සඳුන්පුර, උත්තලපුර පන්සල අසලට පැමිණි පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් මාර්ග බාධක යොදා සෝදිසි මෙහෙයුමක නිරත විය.

ජීප් රථය ද මාර්ගය අසල නවතා තිබුණි. පැය පහක පමණ කාලයක් ගතවෙද්දී යතුරුපැදියකින් පැමිණි තරුණයකු ඉදිරියට ගමන් කරමින් සිටියදී පොලිස් ජීප් රථය දැක යතුරුපැදිය සැණින් හරවාගෙන ආපසු හැරී යාමට උත්සාහ කළේය. එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේ ඇස ගැටුණි. යතුරුපැදිය නොනවත්වා පලා යාමටද උත්සාහ කළ මේ පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ ක්ෂණිකවය.

පොලිස් නිලධාරින් විසින් එලෙස අත්අඩංගුවට ගත් තරුණයාගේ යතුරුපැදිය පරීක්ෂා කරද්දී එහි සඟවා තිබුනු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 50ක් සහ PREGAB (ප්‍රිගැබ්) මත්කරල් 330ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිස් නිලධාරින් විසින් සැකකරු සමඟ යතුරුපැදියද අත්අඩංගුවට ගන්නා ලදි. අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ප්‍රවාහනය කරමින් සිටි මෙම තරුණයා උත්තලපුර, දමනේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් පමණ වයසැති පුද්ගලයෙකි. සැකකරු ළඟ තිබි ජංගම දුරකතනයක් සහ සිම්පත් 04ක් ද පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වී ඇත්තේ තමන් හඳුනන පුද්ගලයන්ට පමණක් මත් කරලක් රුපියල් 250 බැගින් අලෙවි කරන බවද අයිස් මත්ද්‍රව්‍ය ද හඳුනාගෙන ඇති අයට අලෙවි කරන බවයි. මෙම මත්පෙති සහ අයිස් මත්ද්‍රව්‍ය සැකකරු හඳුනන අයකු විසින් ඔහුට අලෙවි කිරීම සඳහා ගෙනැවිත් දෙන බවද ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට භාර දී ඇත. දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.යූ.බී. ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් සැකකරු රඳවාගෙන වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ නිලධාරියකු සඳහන් කළේය.

ඇළහැර - සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division