Home » විශ්‍රාමික සෙබළා ඝාතනයේ සුලමුල හෙළි කර ගත් ‘පොලිස් නුවණ’

විශ්‍රාමික සෙබළා ඝාතනයේ සුලමුල හෙළි කර ගත් ‘පොලිස් නුවණ’

by thanushika
October 5, 2024 12:34 am 0 comment

පසුගිය කාලයේ සිදුවූ බොහෝ මිනිස් ඝාතනවලට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම නැතිනම් අනියම් සබඳතා බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව රහසක් නොවේ. පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව අතර මත්ද්‍රව්‍ය ජාවාරම හේතුකොට හටගන්නා ගැටුම් නිසා බස්නාහිර සහ දකුණු පළාත ප්‍රධානකොට පසුගිය කාලයේ මනුෂ්‍ය ඝාතන අපරාධ රැසක් සිදු විය. එසේම අනියම් සබඳතා නිසා සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් පිළිබඳව පසුගිය කාලයේ වාර්තා විය.

මේ අතර අනියම් සබඳතාවක් නිසා සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් ගැන පුවතක් ගෙවුණු සතියේ වාර්තා වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත කොණක පිහිටි කැබිතිගොල්ලෑව පොලිස් කොට්ඨාසයේ පිහිඹියගොල්ලෑව පොලිස් වසමෙනි. එම පොලිස් වසමේ පීනගම, කැඳෑව ග්‍රාමයේ පදිංචිව සිටි එස්. කරුණාසේනගේ මළසිරුර ඉකුත් 27 වැනිදා දින සොයා ගැනීමත් සමඟ එම ඝාතනයේ සුලමුල මුළුමනින්ම හෙළි කර ගැනීමට පිහිඹියාගොල්ලෑව පොලිසියේ නිලධාරින්ට සහ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන නිලධරයන් කණ්ඩායමට හැකි විය.

දින කීපයක් ආගිය අතක් නැතිව සිටි කරුණාසේනගේ මළසිරුර හමුවූයේ ඔහු පදිංචිව සිටි නිවසට ආසන්න ඉදිකරමින් පවතින නිවසක වැසිකිළි වළකට දමා තිබියදීය. කරුණාසේන ආගිය අතක් නොමැති බවට ඉකුත් 26 වැනිදා පස්වරුවේ ඔහුගේ බිරිය දමයන්ති සහ චන්ද්‍රසිරි නමැත්තෙක් පිහිඹියගොල්ලෑව පොලිසියට පැමිණ සිදුකළ පැමිණිල්ල ඔස්සේ පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එන්. සංජීව ද සිල්වාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දසේන ඇතුළු කණ්ඩායම ඒ ගැන විමර්ශන ඇරැඹීය.

එහිදී ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා දින කරුණාසේනගේ මළසිරුර වැසිකිළි වළේ තිබී සොයා ගැනීමත් සමඟ ඔහුගේ ඝාතනයට සැකපිට බිරිය දමයන්ති සමඟ කරුණාසේනගේ අතුරුදන් වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි චන්ද්‍රසිරි නමැත්තා අත්අඩංගුවට ගැනුණේ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත ධර්මසිරි ඇතුළු කණ්ඩායම සිදු කළ විමර්ශනයේදීය.

කරුණාසේන ඝාතනයේ මුල මැද අග පිහිඹියගොල්ලෑව පොලිසිය සහ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදු කළ විමර්ශනයේදී හෙළිවන්නේ මෙසේ ය.

එස්. කරුණාසේන 54 හැවිරිදිය. ඔහුගේ උපන් ගම කැකිරාවයි. විවාහයෙන් පසු කරුණාසේන පදිංචියට පැමිණියේ බිරිය දමයන්තිගේ ගම් ප්‍රදේශය වූ පිහිඹියගොල්ලෑවේ, පීනගම, කැඳෑව ගම්මානයටයි. කරුණාසේන යුද හමුදාවේ සේවය කළ අයෙකි. ඔහු මීට වසරකට පමණ පෙරදී යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය. අනතුරුව පිහිඹියගොල්ලෑවේ නිවසේ ගත කළ කරුණාසේන ගොවිතැන් කටයුතු මෙන්ම හරකබාන බලාකියා ගැනීම ද සිදු කළේ හමුදා විශ්‍රාම වැටුපට ද හිමිකම් කියමිනි.

කරුණාසේන සහ ඔහුගේ බිරිය ඥානවතීගේ දමයන්තිට පුතුන්ම තිදෙනෙකි. වැඩිමල් පුතු විවාහ වී කැකිරාව ප්‍රදේශයේ පදිංචිව සිටී. දෙවැනි පුත්‍රයා යුද හමුදා සෙබළෙකි. තෙවැනි පුතු මව්පියන් සමඟ ජීවත්වන්නේ පිහිඹියගොල්ලෑවේ නිවසේය.

දිනය ඉකුත් 23 වැනිදාය. එදින කරුණාසේනගේ බිරිය දමයන්ති කැකිරාවේ පදිංචිව සිටි සිය වැඩිමල් පුතුගේ නිවසට ගියාය. පිහිඹියගොල්ලෑවේ නිවසේ සිටියේ කරුණාසේන සහ බාල පුතු පමණි. බාල පුත්‍රයා ද වැඩිපුරම කල් ගෙවූයේ නිවසට ආසන්න චන්ද්‍රසිරිගේ නිවසේය. කැකිරාවේ ගිය බිරිය දිනපතාම පාහේ කරුණාසේනට දුරකතන ඇමතුම් දෙමින් ඔහුගේ දුකසැප සොයා බැලුවාය. එලෙස දුරකතන ඇමතුම් දෙද්දී 25 වැනිදා රාත්‍රියේ දමයන්ති, කරුණාසේනට දුරකතන ඇමතුමක් ගත්තද ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වී තිබිණි.

ඒ අනුව දමයන්ති පසුදා එනම් ඉකුත් සැප්තැම්බර් 26 වැනිදා දහවලේ කැකිරාවේ වැඩිමල් පුතුගේ නිවසේ සිට නැවත පිහිඹියගොල්ලෑවේ නිවසට පැමිණියේ කරුණාසේන ගැන සොයා බැලීමටය. ඇය නිවසට පැමිණි විගස දුටුවේ නිවසේ ප්‍රධාන දොර පිටතින් වසා ඇති ආකාරයයි. පසුව ඇය නිවස පිටුපස දොරෙන් නිවස ඇතුළට ගියාය. ඇය නිවසේ සෑම තැනකම පාහේ සැමියා සිටී දැයි සෝදිසි කළාය. එහිදී දමයන්ති දුටුවේ කරුණාසේන නිදන කාමරයේ ඇඳෙහි මෙට්ටයේ කවරය මෙන්ම මදුරු දැල ද නොමැති ආකාරයයි. ඒ අනුව ඇයට සිතෙන්නේ තම සැමියාට කුමක් හෝ අනතුරක් සිදුවී ඇද්දැයි යන්නය.

ඒ සමඟ දමයන්ති තම සැමියාගේ අතුරුදන් වීම ගැන පැමිණිලි කිරීමට ගියේ පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානයටය. ඒ 26 වැනිදා සවස් යාමයේය. ඇය පොලිසියට ගියේ තවත් පුද්ගලයකු සමඟය. ඔහු ආසන්න නිවසක පදිංචිව සිටි චන්ද්‍රසිරිය. පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානයට ගිය දෙදෙනා කරුණාසේනගේ අතුරුදන්වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය.

“සර්… පහුගිය 23 වැනිදා මම මගේ ලොකු පුතාලගේ ගෙදර ගියා… මහත්තයයි පොඩි පුතයි ගෙදර හිටියේ… මම ඊයේ රෑ මහත්තයගේ පෝන් එකට කෝල් ගත්තා… එයාගේ පෝන් එක වැඩ කළේ නෑ… අද මම දවල් පුතාලගේ ගෙදර ඉඳලා අපේ ගෙදර ආවා… මහත්තයා ගෙදර නෑ… මහත්තයට වෙච්ච දෙයක් නෑ… පෝන් එකත් නෑ… එයා නිදාගන්න ඇඳේ මෙට්ට කවරෙයි… මදුරු දැලයි දෙකම නෑ… සර් මගේ මහත්තයට මොකක් හරි කරදරයක් වෙලාද දන්නේ නෑ… මහත්තයට මොකද වුණේ කියලා සොයලා දෙන්නා කියන්නයි මේ පොලිසියට ආවේ…“ යැයි දුක්මුසු ස්වරයෙන් ඇය පිහිඹියගොල්ලෑව පොලිස් නිලධරයෝ ඉදිරියේ පැවැසුවාය.

ඒ අනුව එම පැමිණිල්ල පිළිබඳව පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එන්. සංජීව ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දසේන ඇතුළු කණ්ඩායමක් ද එම නිවසට ගොස් විමර්ශන ආරම්භ කරන්නේ ආගිය අතක් නැතැයි කියන කරුණාසේන ගැන කිසියම් හෝඩුවාවක් හෝ හෙළි කර ගැනීම සඳහාය. මේ අතරේ ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා දින කැකිරාවේ සිටින ඔහුගේ වැඩිමල් පුත්‍රයා ද පිහිඹියගොල්ලෑව නිවසට පැමිණ තම හිතමිතුරන් සමඟ පියා ගැන සොයා බැලුවේය.

කරුණාසේනගේ නිවසට යාබද නිවසට අල්ලපු ඉඩමේ ඉදිකරමින් පවතින නව නිවසක් පිහිටා තිබිණි. එම නිවැසියන් නිවසේ වැඩ කටයුතු අතරමඟ නතරකොට වෙනත් ප්‍රදේශයකට ගොස් සිටියේ මීට මාස දෙක තුනකට පමණ පෙරදීය. එම නිවසේ ඉදිකරමින් පවතින වැසිකිළි වළෙන් දුගඳක් හමන බවක් ඒ වන විට කරුණාසේන ගැන සොයමින් සිටි ඔහුගේ වැඩිමල් පුතු ඇතුළු කණ්ඩායමට දැනිණි.

එම දුගඳ කුමක් දැයි සොයා බැලීමට ගිය පිරිස වැසිකිළි වළෙහි කොන්ක්‍රීට් ආවරණය මඳක් විවර කර බැලීය. පුදුමයකි! රෙදිවලින් ඔතන ලද පොට්ටනියක් මෙන් කරුණාසේනගේ මළසිරුර එම වැසිකිළි වළේ තිබෙන ආකාරය පිරිසට දිස්විය.

කරුණාසේනගේ වැඩිමල් පුතු ඒ බව පිහිඹියගොල්ලෑව පොලිසිය දැනුවත් කළේ එතෙක් අතුරුදන්ව සිටි කරුණාසේනගේ මළසිරුර නිවසට ආසන්න නිවසක වැසිකිළි වළක තිබෙන බව කියමිනි.

ඒ අනුව වහා එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ඒ බව පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමත් සමඟ ඔහු විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් කරුණාසේනට සිදු වූයේ කුමක් ද යන්න සොයා විමර්ශන ආරම්භ කෙළේය.

එහිදී විමර්ශන සඳහා කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරින් සහ ඇඟිලි සලකුණු නිලධාරින්ද කැඳවිණි.

පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරුණාසේනගේ මළසිරුර පිළිබඳව මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා මධුභාණි ධර්මදාස එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදුකළාය. අනතුරුව මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කරුණාසේනගේ මළසිරුර ගොඩ ගැනීමට පොලිසිය කටයුතු කරන ලදි. මළසිරුර සහ ස්ථානීය පරීක්ෂාවෙන් පසු මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසය. එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිව තිබුණේ කරුණාසේනගේ සිරුරෙහි කැපුම් තුවාල 21කට වැඩි ප්‍රමාණයක් ඇති බවය. ඒ අනුව ඔහුගේ මරණය ඝාතනයක් බවට නිගමනය කැරිණි.

කරුණාසේනට එම අපරාධය සිදු කළේ කවුරුන්ද යන්න සොයා පිහිඹියගොල්ලෑව පොලිස් නිලධරයෝ විමර්ශන ආරම්භ කළහ. එසේම කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායකගේ උපදෙස් මත සැකකරුවන් සොයා කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. හේමන්ත ධර්මසිරි ඇතුළු කණ්ඩායම ද විමර්ශන ආරම්භ කරන්නේ මේ ගැන තොරතුරු දන්නා අයකු සොයා යමිනි.

එහිදී විමර්ශන නිලධාරින්ට ඔවුනගේ පෞද්ගලික තොරතුරුකරුවන් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් ද කරුණාසේනගේ ඝාතනය පිළිබඳව නොයෙක් ‘කතාන්දර‘ ද අසන්නට ලැබිණි. ඒ කරුණාසේනගේ අතුරුදන් වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට දමයන්ති සමඟ පොලිසියට පැමිණි චන්ද්‍රසිරි පිළිබඳවය.

කරුණාසේන යුද හමුදාවේ සේවය කරන සමයේදී දමයන්ති සහ චන්ද්‍රසිරි අතර ළඟ ඇසුරක් තිබූ බවට වූ බොහෝ කතාන්දර ද ඒ වන විටත් පීනගම, කැඳෑව ගම්වැසියන්ට රහසක් නොවීය. ඒ ඔස්සේ ඇතිවූ සැක සංකා මත කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශන ඔස්සේ චන්ද්‍රසිරි නමැත්තා කරුණාසේනගේ මළසිරුර හමුවූ ඉකුත් 27 වැනිදා දිනම අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ ඔහුගේ හැසිරීම් ගැන ද අධ්‍යයනය කිරීමෙන් පසුවය. ඒ වන විට පිහිඹියගොල්ලෑව පොලිසියේ විමර්ශන නිලධාරීන්ට ද චන්ද්‍රසිරි මෙකී ඝාතනයට සැක සහිත බවට බොහෝ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් චන්ද්‍රසිරි ජයවර්ධන 45 හැවිරිදිය. ඔහු ද ගොවිතැන් කටයුතුවල නිරත වන්නෙකි. විවාහකයකු වන චන්ද්‍රසිරිගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කළේ “ඇයි තමුන් කරුණාසේනව මැරුවේ…?“ යැයි දැඩි ස්වරයෙන් විමසමිනි.

මඳ වේලාවක් නිරුත්තරව සිටි චන්ද්‍රසිරි පොලිස් නිලධාරීන් ඉදිරියේ පාපෝච්චාරණය කරමින් කරුණාසේන ඝාතනයේ සුලමුල හෙළි කරන්නට වූයේ මෙලෙසිනි.

ඔහු කරුණාසේන ඝාතනය කර තිබුණේ ඉකුත් 25 වැනිදා රාත්‍රී 10ත් 12ත් අතර කාලයේදීය. එදින දෙදෙනාම කහටගස්දිගිලිය නගරයට ගොස් මත්පැන් බෝතලයක් ගෙන ඉන් භාගයක් එන අතරමඟදීම

පානය කර තිබිණි. අනතුරුව ඉතිරි භාගය පානය කිරීමට පැමිණියේ කරුණාසේනගේ නිවසටය.

එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක් හටගෙන තිබුණේ කලක් පුරා චන්ද්‍රසිරි සහ දමයන්ති අතර පවත්නා ළඟ ඇසුර නිසාය.

කෙසේ හෝ කරුණාසේන සහ චන්ද්‍රසිරිගේ එම බහින්බස් වීමත් සමඟ කරුණාසේන, චන්ද්‍රසිරිට පහරක් ගසා ඇති බව චන්ද්‍රසිරි පොලිස් නිලධාරින් ඉදිරියේ හෙළි කර තිබිණි.

“සර් කරුණාසේන කුස්සියට ගිහින් මන්නේ ගෙනාවා මට ගහන්න… ඒත් එක්කම මම පයින් ගහපු පාරට කරුණාසේන වැටුණා… මන්නෙත් විසි වුණා…“ යැයි ඔහු පොලිසියට කීය.

අනතුරුව එම මන්නය ගත් චන්ද්‍රසිරි කරුණාසේනට පහරදී තිබුණේ හිත්පිත් නැත්තකු විලසිනි. පහරකෑ කරුණාසේන කාමරයට දිව ගොස් චන්ද්‍රසිරිට පහරදීමට ඇඳ පොල්ලක් ගැනීමට උත්සාහ කළ

ද ඒ මොහොතේ ද චන්ද්‍රසිරි, කරුණාසේනට මන්නා පහර එල්ල කෙළේය. කරුණාසේන අවාසනාවන්ත ලෙස මෙලොව හැර යන්නේ ඒ මන්නා පහරවලින් ලත් බරපතළ තුවාල නිසාය.

“ඊට පස්සේ සර් මම මෙට්ටේ කවරෙයි මදුරු දැලයි ගලවලා අරගෙන හැමතැනම තිබුණ ලේ පිහලා දැම්මා… ගේ ඇතුළේ තිබුණ කරුණාසේනගෙයි දමයන්තිගෙයි රෙදි අරගෙන මිනියේ ඔතලා එළියෙන් තිබ්බා… පෝර උරයක් අරගෙන ලේ ගෑවිච්ච මෙට්ටේ කවරෙයි මදුරු දැලයි සේරම දේවල් දාගත්තා…“ යැයි චන්ද්‍රසිරි පොලිස් නිලධාරීන් ඉදිරියේ පාපෝච්චාරණය කෙළේය.

පසුව කරුණාසේනගේ මළසිරුර සහ ලේ සහිත රෙදි දැමු පෝර උරය ගෙන චන්ද්‍රසිරි නික්ම ගියේ කරුණාසේනගේ නිවසට යාබද නිවසට අල්ලපු නිවසේ තිබූ කරුණාසේනගේ මළසිරුර හමුවූ වැසිකිළි වළ අසලටය. එම වැසිකිළි වළේ කොන්ක්‍රීට් ආවරණය ඉවත් කිරීමට අපහසු හෙයින් ඔහු කරුණාසේනගේ නිවසේ තිබූ උදැල්ල ගෙන වැසිකිළි වළ අසලින් මඳක් හාරා ගඩොල් බිත්තිය සිදුරු කොට එම ස්ථානයෙන් රෙදිවලින් ඔතන ලද මළසිරුර සහ පෝර උරය වැසිකිළි වළට දැමීය.

“සර් මං රෑම සිමෙන්ති බදාම ටිකක් හදලා අතින්ම සිදුරු කළ වළේ බිත්තිය ගඩොල් තියලා වැහුවා… ඊට පස්සේ එතන පස්වලිනුත් වහලා දැම්මා…“ යැයි චන්ද්‍රසිරි පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැසීය.

චන්ද්‍රසිරි අනතුරුව පසුදා සිය නිවසට ගොස් සාමාන්‍ය පරිදි කල් ගෙවීය. ඒ අතර කරුණාසේන සොයා නිවසට පැමිණි දමයන්ති සමඟ ඔහු පොලිසියට ද ගොස් තිබිණි. එලෙස පොලිසියට ගොස් තිබුණේ පොලිස් විමර්ශන නොමඟ යැවීමේ අටියෙන් වුවත් විමර්ශන නිලධාරීන් සිදු කළ විමර්ශන ඔස්සේ චන්ද්‍රසිරිට ගැලවීමක් නොමැති වූයේ කරුණාසේනගේ මළසිරුර හමුවූ දිනම ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ නිසාය.

අත්අඩංගුවට ගත් සැකකාර චන්ද්‍රසිරි මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර චන්ද්‍රසිරිගේ දේහය භූමිදාන කටයුතු සිදු කෙරුණු ඉකුත් සැප්තැම්බර් 29දා ප්‍රදේශවාසීහු දේහය අවසන් කටයුතු සඳහා රැගෙන යන මොහොතේ පුවරු ප්‍රදර්ශනය කරමින් චන්ද්‍රසිරිගේ ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාවක ද නිරත වූහ.

කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි II එස්. පී. එදිරිසිංහගේ අධීක්ෂණයෙන් පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එන්. සංජීව ද සිල්වා, කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත සහ පිහිඹියගොල්ලෑව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නන්දසේන ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කළහ.

ඡායාරූප – එස්.ජී. උබේපාල

කැබිතිගොල්ලෑව සමූහ

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division