Home » ඒ ටී එම් යන්ත්‍රවලට මුදල් ගෙන යන රියැදුරා කාටත් හොරා ගහපු ගේම

ඒ ටී එම් යන්ත්‍රවලට මුදල් ගෙන යන රියැදුරා කාටත් හොරා ගහපු ගේම

by thanushika
October 5, 2024 12:30 am 0 comment

තමන් සේවය කරන ආයතනයට, කාර්යාලයට වැඩපොළට වංචා කරන පුද්ගලයෝ ද මේ ජන සමාජයේ නැත්තේම නැත. තමන්ගේ රැකියා ස්ථානයට අයත් බඩු භාණ්ඩ සහ මුදල් පවා සොරකම් කරන ඇතැමුහු සිටිති. එය නම් ඉතාම ඛේදජනක තත්ත්වයකි. ඒ වාගේම තමන්ගේ රැකියාවට රැකියා ස්ථානයට ආදරය කරන, ඇලුම් කරන අය ද වැඩිපුරම සිටිති. ඒ තමන්ගේ රැකියා ස්ථානයෙන් අල්පෙනෙත්තක් තරම්වත් දෙයක් වංචනිකව තමන්ගේ ගෙදරට රැගෙන නොයන අයයි.

මේ දෙවර්ගයේම අය රැකියා ස්ථානවල සිටිති. මේ කතාවේ මුලින් සඳහන් කළ අන්දමට තමන්ගේ රැකියා ස්ථානයට මුදල් වංචාවක් කළ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ කොළඹ දිසාවේ නාරාහේන්පිට පොලිස් ස්ථානයෙනි.

මේ කතාවේ මුල, මැද, අග සටහන් වන්නේ මෙසේය.

බස්නාහිර පළාතේ පිහිටි ඒ. ටී. එම් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සහ ඒවායින් මුදල් එකතු කිරීම සිදුකරන පෞද්ගලික ආයතනයක තිබූ රුපියල් ලක්ෂ 13ක මුදල් අවස්ථා දෙකකදී අස්ථානගතවී තිබිණි. එහි අවසන් අවස්ථාවේදී රුපියල් දසලක්ෂ හතළිස් දහසක් වටිනා මුදල් අස්ථානගත වී තිබුණු අතර එම ආයතනයේ බලධාරීන් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන්නේ ඒ මොහොතේදීය.

අදාළ ආයතනයේ නිලධාරීන් දෙදෙනෙක්, ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් සහ රියැදුරු වෑන් රථයකින් ඒ. ටී. එම්. යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමට ගොස් නැවත නාරාහේන්පිට පිහිටි එම ආයතනයට පැමිණ තිබුණු අතර අදාළ නිලධාරීන් විසින් ආයතනයට රැගෙන ආ මුදල් සුරක්ෂිතාගාරයට ලබාදී තිබිණි.

එම මුදල් භාරගන්නා ලද නිලධාරිනිය මුද්‍රා තබා තිබුණ බෑගයක තිබුණ මුදල් ගැන බලද්දී රුපියල් 5000 නෝට්ටු 208ක් අඩු බව දැනගෙන ඒ බව ආයතනයේ කළමනාකරුට දන්වා ඇත්තේ ඒ මොහොතේය. ආයතනයේ කළමනාකරු මේ බව පාලනාධිකාරියට දන්වා ඒ ගැන සොයා බලද්දී දැන ගැනීමට හැකිවී ඇත්තේ ඊට දින කිහිපයකට පෙර ද මේ අන්දමින් මුදල් සොරකමක් සිදුවී ඇති බවය.

අදාළ ආයතනය මේ ගැන විමර්ශනයක් සිදු කරන්නේ ඉන් අනතුරුවය. එහිදී හෙළි වන්නේ ආයතනයේ අදාළ කාර්ය මණ්ඩලය මේ මුදල් සොරකම් දෙකටම සම්බන්ධ වී නැති බවය. කළමනාකරු ඉන් අනතුරුව සිදු කරන්නේ මුදල් රැගෙන ආයතනයට පැමිණි වෑන් රථය පරික්ෂා කිරීමට කටයුතු කිරීමයි. එහිදී අනාවරණය වී ඇත්තේ එම වෑන් රථය ඔරුගොඩවත්ත වාහන අංගණයක් වෙත පිටත්ව ගොස් ඇති බවය.

අදාළ වාහනය පරික්ෂා කිරීමෙන් නැතිවූ මුදල් සම්බන්ධ කිසියම් හෝඩුවාවක් ලබාගත හැකි බවට සැක කළ කළමනාකරු වහාම එහි යන්නේ වෑන් රථය සොයාගෙන එහි රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් ද කිසියම් තොරතුරක් දැනගැනීම සඳහාය.

මුදල් රැගෙන ආ වාහනය ඒ වනවිටත් ඔරුගොඩවත්ත අංගණයේ නවතා තිබුණු අතර එම වෑන් රථය පරික්ෂා කිරීමට කළමනාකරු කටයුතු කරන්නේ ඉන් පසුවය. එහෙත් අස්ථානගත වූ මුදල් සොයා ගැනීමට හැකි වන්නේ නැත. වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඒ වන විට එහි සිට ඇති අතර ඔහු කැඳවූ කළමනාකරු ඔහුට ද සිද්ධිය පවසා ඔහුගේ අත්බෑගය පරික්ෂා කරන්නේ ඒ මොහොතේමය.

කළමනාකරුගේ සැකය සියයට සියයක්ම හරියන්නේ ඒ මොහොතේමය. රියැදුරුගේ අත්බෑගයේ රුපියල් පන්දහසේ නෝට්ටු රැසක් තිබිණි. පසුව ඔහු අල්ලාගත් කළමනාකරු, රියැදුරා නාරාහේන්පිට පොලිසියට කැඳවාගෙනවිත් ඉදිරිපත් කරන්නේ මුදල් සොරකම් කිරීමේ චෝදනාවටය.

සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය. ඒ වනවිට නාරාහේන්පිට පොලිසියට ආයතනයේ කළමනාකරු පැමිණිල්ලක් සිදුකර තිබිණි. පොලිස් ප්‍රශ්න කිරීමේදී සැකකරු සොරකම කළ අයුරු ගැන සියල්ල හෙළි කෙළේය.

ඒ අනුව සැකකාර රියැදුරු මේ මුදල් සොරකම සිද්ධ කර ඇත්තේ ආරක්ෂක නිලධාරින් සහ මුදල් භාර නිලධාරීන් වෑන් රථයෙන් බැස ඒ. ටී. එම්. යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදීය. සැකකාර රියැදුරා වෑන් රථයේ මුදල් සේප්පුව විවෘත කර මුදල් අඩංගු බෑගයක් ගෙන බ්ලේඩ් තලයකින් එය කපා එහි තිබුණු රු. 5000 මුදල් නෝට්ටු බණ්ඩල සොරාගෙන විශේෂිත යම් ගම් වර්ගයකින් එම බෑගය නැවත ඇලවූ බව පොලිසිය හෙළිකර ගන්නේ තවත් විනාඩි කිහිපයක් ඇතුළතදීය.

සැකකාර රියැදුරු හෙළිකළ තොරතුරුවලට අනුව ඔහු එසේ සොරකම් කරන ලද මුදල්වලින් රුපියල් තුන්ලක්ෂ හතළිස් පන්දහසක් වෑන් රථයේ ඇන්ජිම අසල කාපට් එක යට සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය. ඉතිරි මුදල්වලින් රුපියල් හයලක්ෂ අනූතුන් දාහක් සැකකරු සන්තකයේ තිබියදී සොයා ගැනිණි. රුපියල් දෙදහසක් සැකකරු වියදම් කර තිබිණි.

ඊට පෙර සිදුවූ මුදල් සොරකම ද සිදුකර ඇත්තේ ද මේ සැකකාර රියැදුරා විසින්ම බවට පොලිසිය තොරතුරු හෙළිකර ගන්නේ අනතුරුවය. එම මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 3කි.

එම මුදලින් රුපියල් 20,000ක් ගෙවා අලුත්ම ජංගම දුරකතනයක් සැකකරු විසින් මිලදී ගෙන තිබිණි. ඉතිරි මුදල් සැකකාර රියැදුරා විසින් විය පැහැදම් කර තිබුණේ ඔහුගේ පුතුගේ සහ නිවෙසේ අවශ්‍යතාවලටය. සැකකාර රියැදුරා දෙවන වර සොරකම් කර තිබුණ මුදල්වලින් රුපියල් දසලක්ෂ තිස්අටදහසක් (1038,000), අඩි 2ක් පමණ උසැති කළු පැහැති රෙදි බෑගයක්, කුඩා ගම් බෝතලයක්, අලුතින්ම මිලදී ගන්නා ලද ජංගම දුරකතනයකට අදාළ බිල්පතක් පොලිස් භාරයට ගැනිණි.

සැකකරු 44 හැවිරිදි අයෙකි. ඔහුගේ පදිංචිය කොටවෙහෙරමංකඩ ප්‍රදේශයේය.

නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.ඒ.පී. රණසිංහගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඉන්දික හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division