මෙරට පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල ප්‍රබලයන් ගණනාවක් මේ වන විට ඩුබායි ඇතුළු රටවලට පලාගොස් එහි සිට ක්‍රියාත්මක වන බව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය.
එලෙස එම රටවල සිට තමන්ගේ ජාවාරම් ඇතුළු අපරාධ මෙරට සිටින ගෝලබාලයන් ලවා සිදු කරවන පාතාලයන්ගේ අරමුණු තමන් මෙරට නැතත් තමන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ දිගින් දිගටම සිදු කරවීමයි.
පිටරටවල සිටින මේ පාතාලයන් ගැන ‘ඇස ගසාගෙන’ සිටින පොලිසිය, රහස් පොලිසිය, විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු ආරක්ෂක අංශ ඔවුන්ගේ ක්‍රියා කලාපය ගැන සෙවීම සඳහා මෙහෙයුම් දිගින් දිගටම සිදු කරන්නේ බුද්ධි තොරතුරු ද ලබා ගනිමිනි.
එලෙස පිටරටවල සිට ක්‍රියාත්මක වන පාතාලයන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව පොලිසිය සහ රහස් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් කීප දෙනෙක්ම එම රටවලදී අත්අඩංගුවට ගෙන නැවත මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබුණි.
හරක් කටා, කුඩු සලිඳු, ගනේමුල්ලේ සංජීව, මන්නා රමේෂ් ඇතුළු ප්‍රබල පාතාලයන් සහ ජාවාරමුන් කීප දෙනෙක් ම මේ වන විට පසුවන්නේ මෙරට පොලිසියේ අත්අඩංගුවේය.
එලෙස ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ ප්‍රබල පාතාල නායකයෙකුගෙන් රහස් පොලිසිය සිදු කරන ලද ප්‍රශ්න ප්‍රශ්න කිරීමේදී අල්කයිඩා ත්රස්තයන් භාවිත කළ ස්වයංක්‍රීය තුවක්කුවක් සොයා ගැනීමට හැකිවීම සුවිශේෂිය.
‘ශාන්’ නමැති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයකු වන ‘දිලු’ ශාන්ගේ ප්‍රධානම ගෝලයෙකි. ඔහුට විරුද්ධව අපරාධ චෝදනා රැසකි. මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, පුද්ගලයන් පැහැර ගැනීම සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඉන් ප්‍රධානය.
‘දිලු’ නමැති මේ අපරාධකරුවාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති අයෙකි. ‘දිලු’ ඩුබායි වෙත පැන යන්නේ පොලිසියෙන් සහ සී.අයි.ඩී. යෙන් බේරීම සඳහාය. ඒ කලකට පෙරදීය.
‘දිලු’ ඩුබායි වෙත පලාගොස් එහි සිට ක්‍රියාත්මක වන බව පොලිසිය සහ රහස් පොලිස් නිලධාරීන් සොයා ගන්නේ ඔය අතරය. ‘දිලු’ ට ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු නිකුත් කෙරිණි. ඒ අතර දී ‘දිලු’ ඩුබායිහිදී අත්අඩංගුවට පත්විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධරයන් ඩුබායි රාජ්‍යයට ගොස් ‘දිලු’ අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. ඔහු මෙරටට ගෙන එන්නේ ඉකුත් අගෝස්තු 29 වැනිදාය. ඒ කටුනායක ගුවන් තොටුපළෙනි.
සැකකරු සම්බන්ධව රැඳවුම් නියෝග ලබා ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කෙරෙන්නේ රහස් පොලිසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන සහ මනුෂ්‍ය ඝාතන විමර්ශන ඒකකයේ නිලධරයන් කණ්ඩායමක් විසිනි. ඒ රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මතය.
එම ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණියගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත ඇතුළු කණ්ඩායමක් සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ ඔහු සිදු කළ අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගිනි අවි පිළිබඳවය.
‘දිලු’ ගෙන් එලෙස ප්‍රශ්න කරන පොලිස් කණ්ඩායමට ඔහු අතිශය වැදගත් තොරතුරක් හෙළි කරන්නේ ඔය අතරය. ඒ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය සහ අත්බෝම්බයක් පිළිබඳවය.
‘දිලු’ හෙළි කළ තොරතුරුවලට අනුව අගලවත්තේ ‘රිදීරේඛාගම’ ඔහු පදිංචි නිවසට ගිය රහස් පොලිස් කණ්ඩායම නිවෙස පිටුපස ‘දිලු’ විසින් වළ දමා තිබුණු මත්ද්‍රව්‍ය, ජීව අත්බෝම්බයක් සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්නා ලදි. එලෙස සොයා ගන්නා ලද ජීව අත්බෝම්බය විදේශීය රටක නිෂ්පාදනය කරන ලද එකකි.
ඉන් අනතුරුව ද ‘දිලු’ ගැන විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායම සොයා ගන්නේ ඔහු මෙරටට පාතාල කල්ලි රැසක් සමඟම සම්බන්ධතා පවත්වා ඇති බවයි. එලෙසම ඔහු එම පාතාල කල්ලි සමඟ එක් වී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මනුෂ්‍ය ඝාතනද සිදුකර ඇති බවද හෙළි කර ගැනීමට රහස් පොලිස් නිලධාරීන්ට හැකි වන්නේ ඔය අතරය. ඊට අමතරව ඔහු ස්වයංක්‍රීය තුවක්කු, පිස්තෝල ජාවාරමක් ද සිදුකර ඇති බව අනාවරණය වන්නේ පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරු අනුවය.
එම තොරතුරුවලට අනුව ‘දිලු’ පරිහරණය කළ සුවිශේෂි ස්වයංක්‍රීය තුවක්කුවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට රහස් පොලිස් කණ්ඩායමට හැකි විය. මතුගම යටදොළ පාරේ බෝක්කුවක් යට සඟවා තිබියදී මෙම ස්වයංක්‍රීය තුවක්කුව සොයා ගැනීමට රහස් පොලිස් නිලධරයන්ට හැකි විය. එහි මැගසිනය සහ ජීව උණ්ඩද තිබිණි.
මේ ස්වයංක්‍රීය තුවක්කුව ගැන සොයා බලන රහස් පොලිස් නිලධරයන් සොයා ගත්තේ එය අල්කයිඩා ත්රස්තයන් භාවිත කළ ඒ.එම්.ඩී. 65 වර්ගයේ ස්වයංක්‍රීය තුවක්කුවක් බවයි.
‘දිලු’ එම තුවක්කුව උපයෝගී කරගෙන මේ මිනිස් ඝාතන සිදුකර ඇත්දැයි සොයා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන පැවැත්වෙයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රශ්න කරගෙන යන ‘දිලු’ නමැති සැකකරුගේ වයස අවුරුදු 33 කි.
රහස් පොලිසියේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධාත්මක අපරාධ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණියගේ උපදෙස් පරිදි එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් හසන්ත, සැරයන් (10033) මහේෂ්, (519041) ලියනගේ, කොස්තාපල්වරුන් වන (7070) සම්පත්, (85151) මඩවල, (16921) චාමික යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ
දීපාල් සමරසේකර