Home » ඕනෑම ත්‍රිරෝද රථයක් ස්ටාට් කළ හැකි හොර යතුරෙන් ත්‍රීවීල් උස්සන මත්ලෝලියා කොටු කළ හැටි

ඕනෑම ත්‍රිරෝද රථයක් ස්ටාට් කළ හැකි හොර යතුරෙන් ත්‍රීවීල් උස්සන මත්ලෝලියා කොටු කළ හැටි

by thanushika
October 5, 2024 12:30 am 0 comment

ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් කිරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය දිනවල රටපුරා ප්‍රදේශ රැසකින් වාර්තා වූ අතර ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරුන් ඒවා කැබලිවලට ගලවා අමතර කොටස් ලෙස විකිණීමේ ජාවාරම ඉතා සරුවට සිදු කරගෙන ගියේ සහ යන්නේ ඉන් හොඳ ආදායමක් ලබාගත හැකි නිසාය. මෙවැනි සංවිධානාත්මක සොර කල්ලි කණ්ඩායම් ගණනාවක් පසුගිය කාලයේදී අල්ලා ගැනීමට පොලිසියට හැකිවිය.

ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් කරන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරමින් සිටින අතරේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද ඇතුළු කණ්ඩායම ද ත්‍රිරෝද රථ සොරෙකු අල්ලා ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් සිටියේ කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටියගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුවය.

බම්බලපිටිය පොලිස් වසමේදී මහමඟ නවත්වා තිබුණු ත්‍රිරෝද රථයක් පසුගියදා සොරකම් කර තිබුණ අතර බම්බලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඒ ගැන විමර්ශනය සිදු කරමින් සිටියේය. මේ විමර්ශනවලට අමතරව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ද මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටියගේ උපදෙස් අනුවය. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද මේ ගැන විමර්ශන සිදු කෙළේය.

එසේ විමර්ශන සිදු කරමින් සිටි උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්දට යම් පුද්ගලයෙක් පිළිබඳ තොරතුරක් ලැබිණි. ඒ ඔහු මේ ත්‍රිරෝද රථ හොරකමට කෙළින්ම සම්බන්ධ වී ඇති බවටය.

සැකකාර පුද්ගලයා පිළිබඳව සියුම් විමර්ශනයක් ආරම්භ කළ උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද එම තැනැත්තා පිළිබඳව සොයා බලා ඔහු අත්අඩංගුවට ගන්නේ බොරැල්ල සරණපාල පෙදෙසේදීය. එම පුද්ගලයා 26 හැවිරිදි අයෙකි. පිටකොටුවේ නාටාමි කෙනෙකු ලෙස වැඩකරන අයෙකි.

සැකකාර නාටාමිගෙන් ප්‍රශ්න කළ උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද ඇතුළු කණ්ඩායම සැකකරු විසින් සිදුකළ ත්‍රිරෝද රථ සොරකමේ සුලමුල හෙළිකර ගන්නේ අනතුරුවය. එම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ ‘බීච් පාටියකට’ ගොස් පා ගමනින්ම ආපසු එද්දී බම්බලපිටියේ මහමඟ නවතා තිබූ එම ත්‍රිරෝද රථය සොරකම් කරගෙන ගෙන ගොස් තිබූ බවද හෙළි විය.

ඕනෑම ත්‍රිරෝද රථයක් මොහොතකින් පණ ගැන්විය හැකි ලෙස ඔහු විසින් සාදාගෙන තිබුණු සුවිශේෂී යතුරක් උපයෝගි කරගෙන ඔහු මෙම සොරකම් සිදුකර ඇති බව ද හෙළි විය.

එසේ සොරකම් කරන ලද ත්‍රිරෝද රථය බොරැල්ල 45 වත්ත ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි වන්නේ සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීය. සැකකාර නාටාමි වෙනත් අපරාධවලට සම්බන්ධ වී දැයි සෙවීම සඳහා ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන්නේ ඉන් අනතුරුවය. මේ සැකකාර නාටාමි සොරකම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බව හෙළිවන්නේ ඔය අතරය.

සැකකරු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සහ බොරැල්ල ජාතික මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී තවත් ත්‍රිරෝද රථ දෙකක් සොරකම් කර තිබූ බව අනාවරණය විය. එසේ සොරකම් කරන ලද ත්‍රිරෝද රථ දෙකෙන් එකක් බොරැල්ල ප්‍රදේශයේ මහමඟ දමා ගොස් තිබියදී බොරැල්ල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබිණි.

අනෙක් ත්‍රිරෝද රථය ගැන සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු එය සඟවා තිබූ ස්ථානය ද පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නේ තමාට ගැලවීමක් නොමැති බව දැනගෙනය. එය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගැනීමට උප පොලිස් පරීක්ෂක ෂෙශාන් ආනන්ද ඇතුළු කණ්ඩායමට හැකි විය.

සැකකාර නාටාමි මෙලෙස සොරකම් කරන ලද ත්‍රිරෝදවලින් රාත්‍රියට කුලී ගමන් යමින් දහවලේ පිටකොටුවේ නාටාමි වැඩ කර ඇති බවද හෙළි විය. සැකකරුට විරුද්ධව අපරාධ චෝදනා හෝ ඒ සම්බන්ධ නඩු කටයුතු ඇත්දැයි සෙවීම සඳහා ඔහු සම්බන්ධව අපරාධ වාර්තා පරීක්ෂා කළ පොලිස් කණ්ඩායම සොයා ගන්නේ මොහුට විරුද්ධව සොරකම් සම්බන්ධ නඩු 10ක් පමණ ඇති බවයි.

කොළඹ, කොටුව, මරදාන සහ මාලිගාවත්ත ප්‍රදේශවල ත්‍රිරෝද රථ දෙකක් සොරකම් කිරීම, මෝටර් බයිසිකලයක් සහ ලැප්ටොප් පරිගණකයක් සොරා ගැනීම ඇතුළු අපරාධ නඩු ඔහුට විරුද්ධව ඇති බවද හෙළිවිය.

අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින සැකකරු ඒ සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙලෙස සොරකම් සිදුකර ඇති බවද අනාවරණය වන්නේ ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය. ත්‍රිරෝද රථ සොරකම් කර ඒවා කැබලිවලට ගලවා අලෙවි කිරීම ඔහු විසින් සිදුකර ඇත.

සැකකරුට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බම්බලපිටිය පොලිසියට භාර දී තිබේ.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරි ඒ.පී.වයි.එස්. කීර්තිසිංහ යන නිලධාරින්ගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාරගේ මෙහෙයවීමෙන් එහි විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද, කොස්තාපල්වරුන් වන (26024) කුමාර, (30661) විපුලසේන, (35676) අවිශ්ක, (36597) මධුෂංක, (91643) මනෝෂ්, (92340) ප්‍රේමරත්න, (90631) තුෂාන්තන්, (103171) ගම්ලත්, කොස්තාපල්වරුන් රියැදුරු (99023) වර්ණකුලසූරිය යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන ලදි.

ඡායාරූප – කොට්ටාව ශාන්ත ප්‍රදීප්

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division