Home » දොළොස් හැවිරිදි දැරිය විදුහල්පතිට හෙළි කළ රහස

දොළොස් හැවිරිදි දැරිය විදුහල්පතිට හෙළි කළ රහස

by thanushika
October 5, 2024 12:30 am 0 comment
සී. ගමගේ - සොරණාතොට සමූහ

පුරාණයේ පතපොතේ සඳහන් වන පරදි ‘අජාසත් පුතුන්’ මෙන්ම මවුපියන් ද වත්මන් සමාජයේ අපට දෙනෙත්වලින්ම දැක ගැනීමට ලැබේ. එය ඛේදනීය තත්ත්වයකි. පසුගියදා එවැනි සිදුවීමක් බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ ලියන්ගහවෙල පොලිස් වසමෙන් ද වාර්තා විය. මේ එම කතාව පෙළගැසෙන ආකාරයයි.

බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, මැදපතන, අඹදණ්ඩේගම ප්‍රදේශයේ පදිංචි පියෙක් සිය 12 හැවිරිදි දියණියගේ මුහුණ දැල්වූ ගිනිකූරකින් පුලුස්සා කෲරත්වයට පත් කිරීම පිළිබඳව තොරතුරු ලියන්ගහවෙල පොලිසියට ද දැනගැනීමට ලැබුණේ එම ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයකු මාර්ගයෙනි.

අඹදණ්ඩේගම, මැදපතන ප්‍රදේශයේ පදිංචි 7 වසරේ ඉගෙනුම ලබන 12 හැවිරිදි මෙම සිසුවියගේ මව නිවසට නුදුරින් පිහිටි තේ කර්මාන්තශාලාවක කම්කරු රැකියාවක් කළ අතර පියා කුලී වැඩවල නිරත විය. දැරියට 6 හැවිරිදි සහෝදරයකු ද සිටී.

දැරියගේ පියා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වේ. එම නිසාම ඔහු අවස්ථා කීපයකදීම පොලිස් අත්අඩංගුවට ද පත්ව සිටි අයෙකි.

තවමත් සුරතල් කෙළිලොල් සෙල්ලම් වියේ පසුවෙන මෙම සිඟිති දැරියගේ කෙළිලොල් බව දැඟලිලි ස්වභාවය පියාට ‘වහ කදුරක්’ වී තිබුණේ දැරියගේ මේ හැසිරීම නිසාවෙනි.

එදින ද සිය පියාගේ, මවගේ දෙපා නමැද ආශිර්වාදය ලබාගත් සිඟිත්තිය උදෑසනම පාසලට ගියේ සිය බාල සහෝදරයා ද කැටුවය. මව සිරිත් පරදි තේ කර්මාන්තශාලාවේ රැකියාවට ගිය අතරතුරේ පියා ද කුලී වැඩකට නිවසින් බැහැරව ගියේය.

පාසල නිම වී සවස කුසගින්නේ නිවසට පැමිණි දියණිය, මව උදේ පිස තිබූ ආහාර කටට දෙකට කා දමා මුළුතැන්ගේ ජල කරාමයෙන් අත්දෙක සෝදමින් සිටියදී එක්වරම නිවසට පැමිණි පියා මුළුතැන්ගෙයට ද පැමිණියේය.

“ආ තෝ අල්ලාගන්න තමයි මම හිටියේ… තොගේ දැඟලිල්ල වැඩියි…” යැයි කියා දැරියට බැණ වදිමින් සිය දියණියගේ පිටට පහරවල් කීපයක් එල්ල කළ පියා ළිප අසල තිබූ ගිනි පෙට්ටියක් අතට ගෙන එහි ගිනිකූරක් දල්වා දියණියගේ මුහුණ පුලුස්සන්නේ සිත්පිත් නැත්තකු ලෙසය.

දැල්වූ ගිනිකූරකින් මුහුණ පිලිස්සීම නිසා මහත් වේදනාවට පත් දැරිය හොඳටම බියවී සිය වේදනාව දරාගෙන ඉවසාගෙන ඉකිබිඳිමින් සිටියාය. යාබද නිවසේ පදිංචි 83 හැවිරිදි මිත්තණිය සිටිය ද ඇය මේ කිසිවක් මිත්තණියට ද නොපවසා සඟවාගෙන සිටියාය. මව ද රැකියාව අවසන් කර රෑ බෝවී නිවසට පැමිණියද දැරිය මවට ද මේ කිසිවක් නොකීවාය.

පසු දින උදෑසන සුපුරුදු පරිදි දැරිය පාසලට පිටවී ගිය අතර, ඇගේ මුහුණේ තිබූ පිලිස්සුම් තුවාල කැළල ඇය කිසිවෙකුට නොපෙනෙන සේ සඟවා ගන්නට උත්සාහ කළද පාසලේ විදුහල්පතිවරයාගෙන් එය සඟවාගෙන සිටීමට දැරියට නොහැකි විය.

දැරිය අසලට ගිය විදුහල්පතිවරයා

“දරුවෝ ඇයි ඔය මූණ තුවාල වෙලා තියෙන්නේ…?“ යැයි කියා දැරියගෙන් ප්‍රශ්න කළේය. එවිට තමාට සිදුවූ ඒ කෘෘර වධහිංසා සිදුවීම අකුරක් නෑර විදුහල්පතිතුමාට කියන්නේ ඉකි ගසා හඬමිනි.

ඒ සමඟම විදුහල්පතිවරයා ක්‍රියාත්මක විය. ඔහු ලියන්ගහවෙල පොලිසියට දුරකතන ඇමතුමක් ලබාගෙන මෙම සිද්ධිය දැනුම් දීමට කටයුතු කෙළේය.

ලියන්ගහවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල බණ්ඩාර විජේකෝන් වහාම නිලධාරින් පිරිසක් සමඟ විදුහලට පැමිණ දැරිය පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කරන්නේ දැරියට පියා කළ අපරාධය ගැන තොරතුරු හෙළි කර ගැනීම සඳහාය.

පියාගෙන් තමාට සිදුවූ දේ දැරිය පොලිස් නිලධාරීන් හමුවේ අකුරක් නෑර හඬමින් කීවාය.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහනගේ උපදෙස් මත පොලිස් අධිකාරි ඩී. බී. එච්. කළණසිරිගේ අධීක්ෂණයෙන් ලියන්ගහවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල බණ්ඩාර විජේකෝන් ඇතුළු නිලධාරින් විසින් පරීක්ෂණ කටයුතු සිදු කර දැරියගේ 40 හැවිරිදි පියා අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය දියතලාව රෝහලට ඇතුළත් කරනු ලැබීය. සිය බාල වයස්කාර දියණියගේ මුහුණ දැල්වූ ගිනි කූරකින් පුලුස්සා තුවාල සිදු කිරීම, කෲරත්වයට පත් කිරීමේ චෝදනා යටතේ පියා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහනගේ උපදෙස් මත පොලිස් අධිකාරි ඩී. බී. එච්. කළණසිරිගේ අධීක්ෂණයෙන් ලියන්ගහවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල බණ්ඩාර විජේකෝන් ඇතුළු නිලධාරීන්හු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division