Home » ජනතාවාදී රාජ්‍ය සේවයක්

ජනතාවාදී රාජ්‍ය සේවයක්

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

මේ රටේ දහ අට දෙනකු පෝලිමට තබා ගණන් කළහොත් ඉන් එක් අයෙක් රාජ්‍ය සේවකයෙක් වන්නේය. මෙහි අනෙක් කාරණය නම් පුරවැසියන් දාහත් දෙනෙක් සඳහා එක් රාජ්‍ය සේවකයෙක් බැගින් ඇති බවය. ඒ ආකාරයට රාජ්‍ය සේවය බහුල වී ඇත්තේ, ශ්‍රී ලංකාව රාජ්‍ය සේවයෙන් අතිශය වැඩ ගන්නා යන්ත්‍රණයක් වන නිසා නම් නොවේ. මෙය සපුරාම පක්ෂ දේශපාලන ව්‍යාපෘතියක ඵලය වන්නේය. කාලයක් ආණ්ඩුවක් ආ හැටියේම පළාතේ මන්ත්‍රී වෙත කෝටාවක් ලැබු‍ණේය. තමන් වෙත වැඩ කළ පිරිස් සඳහා ආණ්ඩුවේ රස්සා ලබා දුන්නේ ඒ තුණ්ඩු කෑල්ල උඩය. සුදුසුකම් ආදිය දෙවැනුවට දමා දේශපාලනය ඉහළට ආ කල, රාජ්‍ය සේවය සඳහා පත් වන්නේ නුපුහුණු පිරිසකි. ඒ ආකාරයට බහුලතාවෙන් සහ අකාර්යක්ෂමතාවෙන් පීඩා විඳින ශ්‍රී ලංකා රාජ්‍ය සේවය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශයක් කළේය.

කලක් තමන් ඇමැති ධුරය දරන ලද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වන විස්තීර්ණ කතාවක් පැවැත්විය.

මෙවර ජනාධිපතිවරණයේදී පුරවැසි ඇදහිල්ල වූයේ, නව දේශපාලන සම්ප්‍රදායක් අවශ්‍යය යන්න බව ජනපතිගේ අවධාරණය බවට පත්විය. පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාව, මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියා තෘප්තිමත් නොවීම යන කාරණා, වෙනස ඇති කිරීම සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු බව හෙතෙම පෙන්වා දුන්නේය.

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට තමන් කටයුතු කරනුයේ එම ජනතා අභිලාෂය මුදුන් කරවීම සඳහා බව ජනපති පවසන ලද්දේ, ආර්ථිකය බිඳවැටීම පිටුපස වංචාව දූෂණය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් ප්‍රකාශ කරමිනි.

රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය ජනාධිපතිවරයා ලෙස තමන් රකින බවත් රාජ්‍ය සේවකයන් ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

මේ සඳහා අත්‍යවශ්‍ය පළමු පියවර අභිනව ආණ්ඩුව දැනටමත් රැගෙන අවසන් බව ජනපති පැහැදිලි කරන ලද්දේ, රාජ්‍ය සේවය තුළ මෙතෙක් පැවති දේශපාලන පළිගැනීම්, ස්ථාන මාරු කිරීම් හා උසස් වීම් ලබා නොදීම් වැනි ක්‍රියා තම රජය යටතේ සිදු නොවන බව අවධාරණය කරමිනි. රාජ්‍ය සේවකයන් ද ජනතාව තෘප්තිමත් වන ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු බව ඔහුගේ අවධාරණය විය.

ජපානයේ එක් රාජ්‍ය සේවකයෙක් පුරවැසියන් තුන්සියයක් ආවරණය කළ යුතු වන්නේය. මිලියන විසි තුනක් වූ ශ්‍රී ලංකා ජනගහනය වෙත සේවය සලසනු වස් රාජ්‍ය සේවකයන් ලක්ෂ දාහතරක් සිටින්නාහ. ජපානයේ තුන්සියයට එකක් වෙන විට දාහතට එකක් යනු අතිශය පහසු කාර්යයකි.

එසේ තිබියදී මේ ආකාරයේ කඩාවැටුණු රාජ්‍ය සේවයක් බිහි වන්නේ දේශපාලන අත පෙවීම් නිසා පමණක් නොවේ.

කාර්යක්ෂම රාජ්‍ය සේවා යාන්ත්‍රණ ඇති ප්‍රමුඛ රටවල් වන සිංගප්පුරුව, නවසීලන්තය, කැනඩාව, ස්වීඩනය, නෝර්වේ, ඩෙන්මාර්කය, සෞදි අරාබිය යන සියල්ලේ පොදු ලක්ෂණ මෙහිදී සලකා බැලීම කළ හැක්කේය.

මේ සියල්ලෝ රාජ්‍ය ආයතන ව්‍යුහය සඳහා විධිමත් පිළිවෙතක් අනුගමනය කරන්නෝය. පුද්ගලානුබද්ධ ධාවනය වෙන රාජ්‍ය සේවයක් නොව, ක්‍රමවේදය අනුව සැකසුණු පිළිවෙතක පුද්ගලයා අනුගත කිරීම මෙම ක්‍රමය වන්නේය. තාක්ෂණික සහ නවෝත්පාදන ක්‍රමෝපාය මඟින් රාජ්‍ය සේවා නවීකරණයට භාජනය වී ඇති බැවින්, රාජ්‍ය සේවකයාගේ බල අධිකාරිය තුළට සියල්ල නොවැටෙන්නේය. තොරතුරු තාක්ෂණ ක්‍රම උපායානුකුලව සියල්ල සිදු කෙරෙන්නේ බැවින් රාජ්‍ය සේවකයාගේ කාර්යය බොහෝ විට නිරීක්ෂණ මට්ටම බවට පත්ව තිබේ.

නවසීලන්තයේ ක්‍රමවේදය, විද්‍යාත්මක ප්‍රවේශයක් බවට පත්ව ඇත. ඔවුහු ප්‍රතිඵල පදනම් වූ වගවීමක් බවට රාජ්‍ය සේවය පත් කර ඇත්තේය. ඒ අනුව සේවය ඉටු නොකිරීම, ප්‍රමාද කිරීම ආදිය අවුලක් වන්නේ රාජ්‍ය සේවකයා වෙතය.

ජනාධිපතිවරයාගේ අවධානය වූ රාජ්‍ය සේවයේ වෙනස මේ රටේ වෙනසක් බලාපොරොත්තු වූ සියල්ලෝ සිය අභිප්‍රාය කරගෙන ඇති හෙයින් නූතන ශ්‍රී ලාංකේය වෙනස සඳහා මෙම ප්‍රවේශය අත්‍යවශ්‍යය.

මානව විද්‍යාඥ මාග්‍රට් මේඩ්ගෙන්, ශිෂ්‍යයෙක් ප්‍රශ්නයක් විචාළේය. මිනිසා සත්ත්ව සංහතියෙන් සුවිශේෂ වූ අවස්ථාව කවරේදැයි විමසන විට මාග්‍රට් මේඩ්ගෙන් සියලු දෙනා බලාපොරොත්තු වූයේ, මැටි වළං නිපදවීම, අක්ෂර භාවිතය වැනි ඉතිහාස කඩ ඉම් ඇය සිය පිළිතුර බවට පත් කර ගනීවි යන්නය. ඇයගේ පිළිතුර වෙනස් මානයක් ගත්තේය. පාදයක අස්ථියක් බිදී ගොස් යළි ප්‍රකෘති වූ අවස්ථාව මානවයාගෙන් සත්ත්වයා වෙන්වූ අවස්ථාව බව ඇයගේ තර්කනය විය. වෙනත් සත්ත්වයෙක් එම ඉරණමට මුහුණ පෑවේ නම් එතැන් සිට මරණයේ බලාපොරොත්තුව පමණක් දරා එක්තැන් වීමට එම සතා වෙත සිදු වන්නේය. මානවයා එම කඩුල්ල ජය ගැනීම, සත්ත්ව විශේෂයන්ගෙන්, මානවයා සුවිශේෂ වීමට හේතු වූවා සේ, අබ්බගාත වූ රාජ්‍ය සේවය ප්‍රකෘතිමත් කිරීම සඳහා පිළියම් යෙදූ කල්හි රාජ්‍යයේ හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය වන්නේය. ජනපති අනුර කුමාර දිසානායක අවධාරණයට ලක් කරන ලද්දේ එම ශිෂ්ට සම්පන්න භාවය උදෙසා අවශ්‍ය පෙළ ගැසීමය. මෙය අනගි ආරම්භයකි.

මහජනයා සිය පරමාධිපත්‍ය බලය වසර පහකට දේශපාලඥයා වෙත ලබා දෙන්නේ, එය අතහැර නොවේ. එසේ වුවද ජනයා වෙත රාජ්‍යයෙන් ලැබෙන සත්කාරය අනුව තමන් දැන් පිටස්තරයෙක් බවට පත්ව ඇති බව ජනයාට සිතෙන්නේය. පරමාධිපත්‍ය පමණක් නොව බදු ගෙවීමෙන් රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කරන ජනයා වෙත එවන් සැලකිල්ලක් රාජ්‍ය සේවයෙන් ලැබෙන විට ඔහු සමාජ ක්‍රමයේ විවෙචකයෙක් බවට පත් වන්නේය. වෛරයක් ඉබේම මතුව එන්නේය. දේශපාලනඥයා ගරු ගාම්භීර පදයක් බවට පත්ව ඉහළ මානයක සිටින හෙයින් ජනතා අභිප්‍රාය ඔහුගෙන් දුරස් වන්නේය. රාජ්‍ය ලෙස ජනී ජනයාට දැකීමට ලැබෙනුයේ තමන් සේවය ලබා ගැනීම සඳහා යන රජයේ සේවකයාය. එය අබ්බගාත වූ යාන්ත්‍රණයක් වූ විට සමස්ත සමාජයම ගරාගෙන වැටෙන්නේය.

එය නඟා සිටුවීම සඳහා ලබාගත් ප්‍රවේශය අඛණ්ඩව සහ සාධනීය ආකාරයෙන් සිදු කරගෙන යන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතරේ එය තමන්ගේ වගවීම ලෙස භාර ගන්නා ලෙස රාජ්‍ය සේවකයාගෙන් සිළුමිණ ඉල්ලා සිටින්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division