Home » රාහු අපල මඟහරින බලවත්ම පුදපූජා

රාහු අපල මඟහරින බලවත්ම පුදපූජා

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

by gayan
October 5, 2024 12:30 am 0 comment

ජීවිතයේ වසර 18ක් ගෙවෙන රාහු මහ දශාව ජන්මියාට ලැබුවොත් තවත් දුක්බර අඳුරු කාලපරිච්ඡේදයක් වනු නොඅනුමානයි. පෙර කල සසර පින් පව් අනුව ගෙවෙන ජීවිතය වඩාත් අරුත්බර කර ගත හැකි පූජා ද නිවැරදිව සිදු කිරීමෙන් මෙම අපල දුරුවෙයි. රාහු හැඳින්වීමට ඇත්තේ හිස නැති, මොළේ, දිව, ඇස්, කන් නැති ග්‍රහයෙකු ලෙසයි.

රාහු දශා ලැබූ පසු හොඳ නරක නොබලන අතර බුද්ධියෙන් ද අනූන වේ. කිසිවෙකුට ඇහුම්කන් නොදේ. ගොළුවකු, බිහිරෙකු, පිස්සෙකු සේ ඇවිද්දවයි. ඉගෙනීම ද වස විෂ වැනිය. රාහු 12 රාශියේ නම් අනිවාර්යයෙන්ම නඩු හබ පටලවා ජීවිතය වඩාත් නීරස කරනු ලැබේ.

උපතේදී රාහු තැන්පත් රාශිය සහ ගෝචර ගමනේ සිටින රාශිය උච්ච, මූලත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර මිත්‍ර, සතුරු, නීච ස්වභාවයන් අනුව පල විපාක වෙනස් වේ. ඉගෙන ගන්නා කාලය තුළ ලබන රාහු මහදශාව දැඩි බාධක පමුණුවා ඉගෙනුම විනාශ කරනු ඇත. රාහුගේ සිකුරු අන්තරය විවාහය ඉක්මන් කළද සාර්ථක පල නොලැබේ.

රාහු 4 වන රාශියෙහි නම් එම දශාවේදී ගේ දොර ඉඩකඩම් විකුණා දමයි. හත්වන රාශියෙහි නම් භාර්යාව, ස්වාමියාට අපල ගෙනදේ. අසාර්ථක විවාහයක් ගතකරයි.

නවවන රාශිගත රාහු ඉඩකඩම්, යාන වාහන ලබා දුන්නද පියා සමඟ අඬදබර වේ.

මූල ත්‍රිකෝණව, ස්වක්ෂේත්‍රව, උච්චව, මිතුරු රාශිගතව 11 වන රාශියේ නම් ඔබ උපතින් දිවි දිනූ අයෙකු වේ. ලොතරැයි දිනුම්, මැණික් හිමි අයෙකු වේ. ගුරුගේ රාශියක රාහු තැන්පත් වීම ඉතා ශුභයි. ජීවිත කාලය තුළම රාහු ග්‍රහයාගේ අපල, අශුභ දුරුවීමට උතුම් ශිව දෙවියන්, කාලි මෑණියන් නිවැරැදිව වන්දනා මාන කරන්න. විදෙස් ගමන, ප්‍රසිද්ධිය ලැබී ජීවිතය බැබළෙන්නට… දුක් පහව යන්නට මේ පූජාව තබන්න.

• අඟහරුවාදා, සිකුරාදා යන දිනවල මේ පූජාව සිදු කරන්න. මුලින්ම ස්නානය කර මස් මාංශවලින් වැළකී රතු සහ සුදු මිශ්‍ර වර්ණයෙන් සැරසෙන්න.

අවශ්‍ය දේ : දින 07ක්

පූජා තබන්න.

• රතු සපත්තු මල් වට්ටියක්, සමන් පිච්ච මල් මිටක්

• රන් පැහැය මිශ්‍රිත රතු කුඩා සළුවක්

• රතු පාට පළඟානක (කුඩා මුට්ටියක පිසූ පොංගල් බත් මිටක්, පැන් වීදුරුවක්, ඉතාමත් සුවඳ හඳුන්කූරු මිටක්, එළඟිතෙල් පහනක්)

“ඕම් කාලි….. කාලි! ඕම්… කාලි…. කාලි!

සමස්තුතේ… නමස්තුතේ… නමෝ ආනන්දම්…

ආනන්ද මා කාලි නමෝ… ඕම් කාලි”

මේ බලගතු ශ්ලෝකය කටපාඩම් කරගන්න.

පූජාව නිවෙසේදී ද කළ හැකියි. කහ වතුරට දෙහි ඉස්ම එක්කර නිවෙස පිරිසිදු කර දුම් අල්ලා හඳුන්කූරු දල්වන්න. කාලි මෑණියන්ගේ පින්තූරයක් හෝ පිළිරුවක් ඉතා භක්තියෙන් ටීපෝවක් මත තබා දුම් අල්ලන්න. පිච්ච මල් පූජා කරන්න, පැන් පූජා කරන්න.

කාලි මෑණියන්ගේ ශ්ලෝකය ගායනා කළ යුත්තේ ඉතා පිරිසිදුව සුවඳවත්ව සිටිමිනි.

හැකිතාක් දෙවඟනගේ නේත්‍රා දෙස එක එල්ලේ බලා කියන්න. කඳුළු වැගිරෙන තෙක් දුක් කම්කටොලු පවසන්න… දෙවඟන වෙනුවෙන් 07 වන දවසේ පොංගල් බත ද සාදාගෙන කාලි මෑණියන්ගේ කෝවිලකට පියනඟන්න. පොල් ගෙඩියක් පේ කර ගසන්න. කාලි මෑණියන්ට පෙර සේම ශ්ලෝකය කියන්න. සියල්ල පූජා කර දෙහි මල් මාලයක් ද දුක කියමින් දමන්න. ඔබේ දුක මේ පූජාවෙන් පසු විසඳේවි. රාහු මහ දශාව, අන්තර් දශාව ගෙවන අය ශිව දෙවියන්ගෙන් ද පිහිට ඉල්ලා පූජා තබන්න අමතක කරන්න එපා. ඉගෙනුම, බාධක කරදර වැඩි නම් ගණ දෙවිඳුට ද පූජා තබන්න.

මේ දශා ගත කරන අය ඉර බැස ගිය පසු බුදුන්ට මල් පහන් පූජා කර රාහු දිව්‍ය රාජයාගේ පිළිරුවක් තබා පහත ස්තෝත්‍රය දිනපතා කියා පිහිට ඉල්ලන්න. රාහු ග්‍රහයාට පින් දෙන්න.

ස්තෝත්‍රය

“ඕම් රාම් රාහුවෙ නමහඃ

නාග ද්වාජය විද්මහේ – පද්ම හස්තාය ධීමහී

තන්තෝ රාහු ප්‍රචෝදයාත්….

අර්ධ කායං මහා වීර්යං

චන්ද්‍රා දිත්‍ය විමර්දනම්

සිංඟිකාගභි සංභූතං

තං රාහුං ප්‍රානමාම්‍යනම්ඃ

• නිවෙසේ ඊශාන හෝ නිරිත දිශාවලින් වැටකෙයියා පඳුරක් සිටුවා සෑම රාත්‍රියකම පැන් දමා කොළයක් ස්පර්ශ කර ස්තෝත්‍රය කියා රාහු අපල දුරුවේවායි සිතන්න. අපල තත්ත්වය වැඩි නම් නිවැරැදිව නාගර්ජුන යන්ත්‍රය ජීවම් කර පලඳින්න.

• උතුම් අෂ්ඨඵල බෝධීන් වහන්සේට වැටකේ මල් නිතර පූජා කර පින් දී පිහිට ඉල්ලන්න. ජ්‍යොතිෂ්‍ය උපදෙස් මත ජන්මියාගේ රාහු බලවත් නම් ගෝමේදි මැණික් ගලක් ඔබ්බවා පලඳනාවක් පලඳන්න. නිතර පිරිත් සූත්‍ර භාවිත කරමින් මෙවන් ප්‍රතිපත්ති පූජාවල යෙදෙන ඔබගේ රාහු ග්‍රහයා ජීවිතය යස ඉසුරින් පුරවාවි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division