මම ඉන්දියාවට ප්‍රිය කරමි. රාජකාරීමය හේතු මත ඉන්දියාවට දහ දොළොස් වතාවක් ගොස් ඇත්තෙමි. අවාසනාවකට මගේ ගමන් සියල්ල බෞද්ධාගමික සිද්ධස්ථාන පිහිටි ප්‍රදේශවලට සීමා විය. මේ නිසා බොහෝ උතුරු ඉන්දීය චිත්‍රපටවල පෙන්වන සුන්දරත්වය කවදාවත් දකින්නට හැකි වූයේ නැත.
ඉන්දියාව පිළිබඳ මගේ සිතේ ඇඳී ඇති චිත්‍රය, දූවිල්ලෙන් පිරුණු අපිරිසිදු නගර, මහා මාර්ග සහ දුර්වර්ණ ගොඩනැඟිලි ය. එහි ගිය සෑම වතාවකදීම ආපසු ආවේ යටත් පිරිසෙයින් අලුත් පන්නයක හෙම්බිරිස්සාවක්වත් හදාගෙනය.
එහෙත් ඉන්දියාවට මා මෙතරම් පෙම් කරන්නේ ඇයි දැයි සිතා බැලිය යුතුය.
මෙම ඉන්දියානු සංචාර අතරතුර එකතු වූ අත්දැකීම් ඇතැම් ඒවා කටුකය. ඇතැම් ඒවා ඉතාමත් මිහිරිය. ඇතැම් අත්දැකීම්වල හිතන්නට බොහෝ දේ රැඳී තිබිණ. ඉන්දියානු ලැදිකමට එය ද හේතුවක් විය හැකිය.
ගිම්හානයේදී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යයි. එය ලංකාවේ අපට දරා ගැනීමට අපහසුය. සාමාන්‍යයෙන් එය සෙල්සියස් අංශක 40 ඉක්මවයි. ඊටත් වඩා වැඩිවන අවස්ථාද තිබේ.
මේ උණුසුමට මුහුණ දෙන්නට ඔවුන් සතු අපූරු උපක්‍රම සිත් ගන්නා සුළුය.
වතාවක් මම නේපාල දේශසීමාව ආසන්නයේ ඉන්දියානු බෞද්ධ විහාරස්ථානයක අපූරු වායුසමීකරණ යන්ත්‍රයක් දුටුවෙමි.
එය බිත්තියට පිටතින් ටැංකියක ආකාරයට තනා තිබිණ. ටැංකියේ පිටත තුන්පැත්ත ශක්තිමත් යකඩ කොටු දැල් ය. බිත්තිය සිදුරු කර විශාල විදුලි පංකාවක් සවි කර තිබේ. පංකාව සහ ටැංකිය අතරද කොටු දැලකි. යකඩ දැල් කොටුව පුරවන්නේ පිදුරුවලිනි. වතුර බාල්දි කිහිපයක් පිදුරුවලට එක් කිරීමෙන් පසු පංකාව ක්‍රියාත්මක කරයි. පංකාවෙන් විහිදෙන්නේ තෙත් වූ පිදුරු අතරින් රිංගා එන සුළඟය. ඒ සුළං ප්‍රවාහය ඉතාමත්ම සිසිල්ය.
ඉන්දියානුවන් තම පහසුව සඳහා යොදා ගන්නා සරල තාක්ෂණික ක්‍රම සමහර ඒවා සම්ප්‍රදායට එරෙහිය. ඇතැම් ඒවා නීතියට ද පටහැනීය. මගීන් හතර දෙනෙකු පැටවිය හැකි ත්‍රිරෝද රථයකට සමාන මෝටර් සයිකල් දිල්ලි නගරය පුරා ධාවනය කෙරෙනු මම මෑතකදී දුටුවෙමි. ඒවායේ ගමන් කිරීම තරමක් අපහසුය. මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන්ට පටහැණි අයුරින් ඒවා නිර්මාණය කර තිබේ. අනතුරු සහිතය. නමුත් එය එක් අතකින් පවුලක් නඩත්තු කළ හැකි රැකියා අවස්ථාවකි. එය මගීන්ට අතිශයින් ලාභදායකය.ඉන් එකක මම කිලෝමීටර පහක හයක දුරක් ගමන් කර ඇත්තෙමි.
මීට වසර 15 ට පමණ ඉහතදී ඉන්දියාවේ ලක්නව් හි පිහිටි ආචාර්ය නරේන්ද්‍රදේව බෞද්ධ පර්යේෂණායතනයෙන් අපට ඇරයුමක් ලැබිණ.
ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගින් චෙන්නායි බලාගොස් අනතුරුව දුම්රියෙන් ගමන් කිරීම ලාභදායක බව මගේ ගමන් සගයා වන උපුල් වීරසේකර කීවේය.
දුම්රිය ගමන අතහැර, ඉන්දියාවේ ගොවි ගම්මාන මැදින් මහා මාර්ගය ඔස්සේ ගමන් කිරීමට මම යෝජනා කළෙමි. එය සම්පූර්ණ දිනයක් වැඩිපුර වැය වන වියදම් අධික ක්‍රමයකි. නමුත් මගේ පෙරැත්තය නිසා උපුල් ඊට කැමති විය.
එය ඉන්දියාවේ ප්‍රාන්ත හයක් හරහා ගමන් කරන අපූරු චාරිකාවකි. තමිල්නාඩුවෙන් පටන් ගෙන ආන්ද්‍රා ප්‍රදේශය හරහා හයිද්‍රාබාද් නගරයට පැමිණ, අනතුරුව මහාරාෂ්ට්‍රය පසුකර මධ්‍ය ප්‍රදේශයෙන් උත්තර ප්‍රදේශයට පැමිණිය යුතුය. ඒ අනුව අප ගමන් කරනුයේ ඉන්දියාවේ ප්‍රධාන උප සංස්කෘති හයක් අතරිනි.
අපේ රියැදුරාද අවශ්‍යතාවට සරිලන ලෙස ප්‍රධාන මාර්ග අතහැර කෙටි අතුරු පාරවල් තෝරා ගැනීමේ සමතෙකි. නගර පසුකර ගිය හැමවිටම අප සිටියේ තෙරක් නොපෙනෙන ගොවිබිම් අතරය. ‘මදර් ඉන්දියා’ චිත්‍රපටය සිහිකරවන ගැහැණුන්, මිනිසුන්, දරුවන් මෙන්ම , ගවයන් ද එම ගොවිබිම්වල ස්වකීය රාජකාරියේ නියුක්තව සිටියහ.
අප ආහාර පාන සඳහා ගොඩවුණේ මග දෙපස පිහිටි ඉතා කුඩා අවන්හල්වලටය. ඒවායේ සාමාන්‍යයෙන් ආහාර ගන්නේ ඉන්දියානු ගැමියන්ය. සංචාරකයෝ එම අවන්හල්වලට පැමිණෙන්නේ නැත. ඒවා ඉතාමත් දිළිඳු පෙනුමෙන් යුක්තය.ඒවායේ ආහාර පාන ඉතා රසවත්ය. ඉන්දියානුවන් ආහාරවලට බොරු කරන්නේ නැත. උණු උණුවේම ලැබෙන නිසා පිරිසුදු බව පිළිබඳව ද ගැටලුවක් නැත.
මගේ මිතුරාට හොඳින් හින්දි භාෂාව කතා කරන්නට පුළුවන. මේ නිසා ඇතැම් තැන්වල නතර වී ඉන්දියානු ගැමියන් සමඟ වචනයක් දෙකක් කතා කිරීමේ හැකියාව අපට ලැබිණ.
මධ්‍ය ප්‍රදේශය සහ උත්තර ප්‍රදේශයේදී අපට වැඩිපුර හමුවුණේ ඉන්දියානු ගොවියන්ය. ඉන්දියානු රජය හඳුන්වා දුන් නවීන කෘෂිකර්මාන්තය පිළිබඳව අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමු. රජය නව ක්‍රමවේද හඳුන්වා දුන්නද, ඒවා ක්‍රියාත්මක කිරීමට තමන්ට මුදල් නැතැයි ඔවුන් ප්‍රකාශ කළහ.
සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය සහ ශස්‍යමාරු ක්‍රමය පිළිබඳව ඔවුහු බෙහෙවින් විශ්වාස කරති.
මධ්‍ය ප්‍රදේශයෙන් උතුරු ප්‍රදේශයට සමීප වන විට මඟ දෙපස ඉන්දියානු තේ වෙළෙඳ සැල් තිබේ. ඒවා අප හඳුන්වන්නේ ඉන්දියන් ‘චායේ’ ලෙසය.
මෙම තේ වෙළෙඳසල්වලට වහලයක් හෝ නිශ්චිත ඉඩක් නැත. පාර අයිනේ හුඹස් මැටිවලින් තනාගත් අරපිරිමැසුම්දායක ලිපක කිරි මුට්ටියක් නිතරම පැහෙයි. තේ සහ සීනි මිශ්‍ර කර ‘අසෝක වීදුරුවකට’ ලැබෙන මේ ඉන්දියානු පානය ගත සිත ප්‍රබෝධවත් කරයි. බොහෝ විට මේ වෙළෙඳසැල්වල සිටින්නේ ඉන්දියානු කාන්තාවන්ය.
වරක් මේ එක් කාන්තාවක් තම තරුණ පුතා අපට හඳුන්වා දුන්නාය. ඔහු බරණැස විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. ඔහු ඉතා විවෘතව කතා කළේය. නව තාක්ෂණය පිළිබඳ ඉන්දියාව ප්‍රකටය. එහෙත් එම ප්‍රදේශවල අප දුටු ඉන්දියානු ගොවියන් තවමත් අලුත් තාක්ෂණය වැලඳගෙන නැතිදැයි මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. සුළු පරිමාණ ගොවියන්ට අලුත් තාක්ෂණ ක්‍රමවේද සඳහා ප්‍රවිශ්ට වීමට මූල්‍ය ශක්තියක් නැතැයි ඔහු කීවේය. ඔහු ඉන්දියාවේ ගව සම්පත බෙහෙවින් වර්ණනා කළේය.
“අපි ට්‍රැක්ටරේ පාවිච්චි කරන්නෙ ප්‍රවාහනයට. අපේ කුඹුරට බස්සන්නෙ හරක්. හරකෙක් කුඹුරට බැහැලා කුඹුර හෑවහම ආපහු පෝර දාන්න ඕනෑ නෑ. ඒක අපිට දෙවියො දීපු සම්පතක්.”
ගොම මුත්‍ර පිට කරන්නේ නම්, මහලු ගවයෙක් වුව ගොවි ජනතාවට බරක් නොවන බව ඔහු කීවේය.
ඔහුගේ කීම සනාථ කරන තවත් අත්දැකීමක් අපට හමුවිය. කෙළවර නොපෙනෙන කුඹුරු යායක් අසල තවත් තේ වෙළෙඳසැලක් තිබිණ. ජලය සහ කිරි උණු කිරීම සඳහා එම කාන්තාව භාවිත කළේ විශාල රොටියක් වැනි දෙයකින් කොටසක්ය. මඳක් විමසා බලන විට අප දුටුවේ ඇය වාඩිවී සිටින්නේද ඉන් එකක් මත බවය.
මම ඒ පිළිබඳ තොරතුරු සොයන්නට වූයෙමි.
එම කාන්තාව පිටුපස කුඹුරු යාය මධ්‍යයේ කිසියම් කාර්යයක නියුතු කාන්තාවන් පිරිසක් වෙතට අපේ දෑස් යොමු කළාය.
උණුසුම දැඩිය. එහෙත් අධික හිරු රැස නොතකා මුළු සිරුරම සාරියෙන් වසාගත් කාන්තාවන් ඉපැනැල්ල සහ ගොම එකට මිශ්‍ර කර අඩියක පමණ විෂ්කම්භයෙන් යුත් ගුලියක් තනයි. අනතුරුව පසෙක ගොඩ ගසයි.
අපි ඔවුන්ගෙන් ඒ පිළිබඳ විස්තර විමසා බැලුවෙමු.
අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන ඉපැනැල්ල හෝ උක් දඬු මිරිකා යුෂ ලබා ගැනීමෙන් පසු ඉතිරි වන රොඩ්ඩ එසේ නැතහොත් වියළි තණපත්, ඔවුහු මෙසේ ගොම සමග මිශ්‍ර කරති. අනතුරුව දිනයක් හෝ දෙකක් එය පදම් වෙනතුරු තබයි. පසුව එය සම්පීඩනයකට ලක්කර විශාල රොටියක් වැනි යමක් තනයි.එය හැඳින්වෙන්නේ ‘ඝෝරා’ නමිනි.
‘ඝෝරා’ ගැන සොයා බැලූ පසු අපිට ඒවා හැම තැනම පෙනෙන්නට පටන් ගත්තේය. නගරයේ වෙළෙදසැල්වල ද ඒවා භාවිත කරයි. ඝෝරාවක් දල්වා ඒ අසල කුඩා විදුලි පංකාවක් තැබීමෙන් උණුසුම් වායු ධාරාවක් ලබාගත හැකිය. එය සීත කාලයට උණුසුම සපයයි. එසේ නැතහොත් ‘ඝෝරා කැබැල්ලක් දෙකට තුනට කඩා දර වෙනුවට පාවිච්චි කළ හැකිය. එක ගෝරාවක් විනාඩි විස්සකට වඩා වැඩි කාලයක් දැල්වෙයි. එයින් නිෂ්පාදනය වන තාපය ද ඉතා ඉහළය.
අතීතයේ මේවා නිෂ්පාදනය කරගෙන ඇත්තේ තම තමන්ගේ පෞද්ගලික පාවිච්චියටය. නමුත් අප මේ කියන කාලෙදි එක් ඝෝරාවක් රුපියල් දෙකකට විකුණන්නට පුළුවන. ඒ අනුව ගැමි ලියන් අව්වේ කරවෙමින් හිරු එළිය කැටිකොට අමතර ආදායමක් ලබා ගනිති. ගෝරාවක් වෙනුවෙන් යෙදෙන්නේ සම්පූර්ණයෙන්ම පොළොවට දිරා යන්නට නියමිතව තිබූ දේවල්ය. ඒනිසා එයින් පරිසරය රැකෙනවා මිස වැනසෙන්නේ නැත.
ඉන්දියාවේ ගැමි ලියන් පරිසරයත් රකිමින් දිවි පෙවෙත රැක ගන්නට දරනා උත්සාහය කාටත් ආදර්ශයක්ය.නැති දේවල් ඉල්ලමින් හඬා වැටෙනවාට වඩා තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගැනීම පිළිබඳව අපට ඉන්දියානු ගැමි ජීවිතයෙන් බොහෝ දේ උගත හැකිය.