Home » මේක ඇඟේ උණට කරන කර්මාන්තයක්

මේක ඇඟේ උණට කරන කර්මාන්තයක්

සභාපති - මිල්ටන් මෝටර්ස්

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

– මුලින්ම ඩේවිඩ් පීරිස් එකේ ලේබර් ජොබ් එකක් කළා. ඒක ත්‍රීවිල් ගැන විශ්වවිද්‍යාලයක්
– පුද්ගලික අංශයේ ආයෝජකයන් එනවා. උදව් කරන්නම් කියලා ඉදිරිපත් වෙලා බිස්නස් එක ඉල්ලනවා. ඒක කරන්න බැහැ
– දෙපාරක් බදු ගහන්නේ නැතුව එක බද්දකින් කර්මාන්තය කරගෙන යන්න දෙනවා නම් මීට වඩා කුඩා කර්මාන්තකරුවන්ට හිස ඔසවන්න පුළුවන්.

සන හතේ ත්‍රිරෝද රථයක් නිර්මාණය කරමින්, ප්‍රවාහන ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් එක් කළ ඔහු එච්. බී. මිල්ටන් ය. බජාජ් ත්‍රීවිල් හිමියන්ගේ නිරාකරණය කරගත නොහැකි ප්‍රශ්න ගැටලු විසඳන’මිල්ටන් ගරාජ් ‘ හිමිකරුවා ය.

ඔබ හැදූ ආසන හතේ ත්‍රිරෝද රථය ගැන කියන්න…

මේ ත්‍රිරෝද රථයේ විශේෂත්වය තමයි විදුලියෙන් ක්‍රියාත්මක වීම. සාමාන්‍යයෙන් ත්‍රීරෝද රථයක ගමනක් පටන් ගන්නේ කිලෝමීටරයට රුපියල් 100ක ගාස්තුවකින්. නමුත් මේ ත්‍රිරෝද රථයේ කිලෝමීටරයකට වැය වන්නේ රුපියල් තුනයි. එක වරක් බැටරිය චාජ් කළාම කිලෝමීටර් 350ක් දුවන්න පුළුවන්. මගේ යෝජනාව තමයි හවස පහ හයෙන් පස්සේ, බස් දුවන්නේ නැති පාරවල්වල මේ ත්‍රිරෝද රථය යොදවන්න පුළුවන්. බස් හෝල්ට් එකක නවත්තලා තිබුණම මගීන් හත් දෙනකුට බස් ටිකට් එකේ මුදලට ප්‍රවාහන සේවාව සපයන්න පුළුවන්.

මේක ඕනෑම කෙනකුට මිලදී ගන්න පුළුවන් ත්‍රී විලරයක්. හැබැයි මේ ඉදිරියේ තිබෙන බාධා ටික රජය මැදිහත් වෙලා විසඳා දුන්නොත් ව්‍යාපෘතියක් විදියට කරන්න පුළුවන්. මට පුළුවන් රටටම අවශ්‍ය ත්‍රිවිල් ටික වුණත් හදලා දෙන්න.

මේ වාහනේ රෙපෙයාර් අවමයි. පොඩි මිනිහා ඉලක්ක කරගෙන හැදූ වාහනයක් නිසා නඩත්තුව සහ රෙපෙයාර් අවම වන අයුරිනුයි මම මේ ත්‍රී රෝද රථය නිර්මාණය කළේ. ලංකාවේ ඕනෑ තරම් බජාජ් අමතර කොටස් තිබෙන නිසා, අමතර කොටස් පිළිබඳ ප්‍රශ්නයකුත් නැහැ. ඒ බොහොමයක් අමතර කොටස් අප ආයතනය විසින්ම නිපදවනවා. වැදගත්ම දේ මේ වාහනය නිර්මාණය කර තිබෙන්නේ බජාජ් ත්‍රිරෝද රථයක් ආකාරයෙන්.

ඇයි ඉතින් මේ වාහනය තවම වෙළෙඳපොළට ඉදිරිපත් නොකරන්නේ…

මේ වාහනයට තවම මට තියෙන්නේ වාහන පහකට RMV එක දුන් අංක තහඩු පහක් පමණයි. අපේ රටේ වාහනයක් හදලා එයට අවශ්‍ය නිෂ්පාදනය පිළිබඳ තත්ත්ව සහතික ගන්න ආයතනයක් නැහැ. හදපු වාහනේ පිටරටකට යවලා ඕනේ ඒ අවශ්‍ය තත්ත්ව සහතික ගන්න. රජයේ උදව් අවශ්‍යයි කිව්වේ ඒ නිසා.

මම ගිය රජයට කිව්වා, මේ රටේ ලක්ෂ 13ක් ත්‍රිරෝද රථ තියෙනවා. අමතර කොටස් පිටරටින් ගේන එක නවතලා දෙන්න, මම රුපියල් 50,000 ගණනේ වැටුප් ගෙවලා 300 දෙනකුට රැකියා අවස්ථා හදන්නම් කියලා. අමතර කොටස් හදන්න අවශ්‍ය සියලුම යන්ත්‍රෝපකරණ මං ගාව තියෙනවා.

මේ වාහනය හදලා දැන් කොයි තරම් කල් ද…

ඇත්තටම කිව්වොත් හුඟක් ව්‍යාපාරිකයෝ කොරෝනාවෙන් වැටුණාට, මං කොරෝනා වසංගතයෙන් ගොඩ ගිය කෙනෙක්. ඒ කියන්නේ වසංගත කාලයේ පිටරටින් ත්‍රීවීල් අමතර කොටස් ආවේ නැහැ. ත්‍රිරෝද රථ ආවෙත් නැහැ. රටේ ඩොලර් නැහැ. මම ටැන්සානියාවට බඩු හදන්න ගිහින් බංකොලොත්් වෙලා පැත්තකට දාලා අයින් කර තිබූ මැෂින් ටික එළියට ගත්තා. ඒ මැෂින් ටිකෙන් මට හුඟක් වැඩ කරගන්න පුළුවන් වුණා. නමුත් මට වැඩ කරගන්න මිනිස්සු නැහැ. ඒ අයට එන්න බස් නැහැ. මං කළේ සේවකයෝ ටික ප්‍රවාහනය කරගන්න පුළුවන් විදියට ආසන හතේ ත්‍රීවීලරය නිර්මාණය කරපු එක. RMV එකෙන් ඇවිත් බලලා, අවසර පත් පහක් දුන්නා. ඒ අංක තහඩුවලින් තමයි තවම දුවන්නේ. ඊළඟට මම ටොන් එකක් අදින්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාගෝ ලොරියක් හැදුවා. සාමාන්‍ය ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය හැදුවා. ඉලෙක්ට්‍රික් චූං පාන් ත්‍රිරෝද රථය හැදුවා. ලංකාවේ ඕනෑම වාහනයක් මට හදන්න පුළුවන්. මිනිස්සු මේ වාහනය ඉල්ලනවා. නමුත් දෙන්න විදියක් නැහැ. ලොකුම ප්‍රශ්නය බදුවලින් හෙම්බත් වීම.

ඊළඟට මේකට අවශ්‍ය බඩු ටික ගේනකොට බදු ගහනවා. වාහනය හදලා ඉවර වුණාම ආයේ බදු ගහනවා. දෙපාරක් බදු ගෙවලා, බැංකු ණයත් ගෙවලා, පොලියත් ගෙවලා කොහොමද කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ? පුද්ගලික අංශයේ ආයෝජකයන් එනවා. උදව් කරන්නම් කියලා ඉදිරිපත් වෙලා බිස්නස් එක ඉල්ලනවා. ඒක කරන්න බැහැ. මම මේ ආණ්ඩුවේ ආර්ථික කමිටුවටත් කිව්වා. එයාලා කිව්වා විසඳුමක් දෙන්නම් කියලා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. දෙපාරක් බදු ගහන්නේ නැතුව එක බද්දකින් කර්මාන්තය කරගෙන යන්න දෙනවා නම් මීට වඩා කුඩා කර්මාන්තකරුවන්ට හිස ඔසවන්න පුළුවන්. අපි මේක ඇඟේ උණට කරන කර්මාන්තයක්.

කොහෙන්ද ඔබට මේ දැනුම ලැබුණේ…

මම දැනුම හදා ගත්තේ වැඩ කරලා. 1987 මම ඩේවිඩ් පීරිස් සමාගමට ආවේ කම්කරුවෙක් විදියට. මට තිබුණේ එතැන වැඩ කරන අයට තේ ටික හදලා, අතුපතු ගාලා අස්පස් කරන්න. හැබැයි මම ඒ ටික කරලා නිකම් හිටියේ නැහැ. ඉක්මනින් වැඩ ටික ඉවර කළා. බාසුන්නැහේලාට අත් උදව් දෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඒ සමහර අය මං ඉදිරියේ වැඩ කළේ නැහැ. කෑලි ටික ගලවලා හෝදන්න කියනවා. ඊළඟට ගිහින් තව මොකක් හරි ගේන්න කියනවා. නැත්තම් කඩේට යවනවා. ඒ ගිහිල්ලා එනකොට කෑලි ටික හයි කරලා ඉවරයි. කවදාවත් මට ඒක බලාගන්න ඔවුන් ඉඩක් තැබුවේ නැහැ. කොච්චර උත්සාහ කළත් කෑලි හයි කරන වෙලාවට මොනවා හරි ගේන්න කියලා ඒ අය මාව එළියට යවනවාමයි. අන්තිමේ දී මම තනියම ත්‍රීවීල් එකක් ගැලෙව්වා. මතක තියාගෙන කෑලි ටික ආපහු හයි කළා. ඇඟේ වුවමනාවට හිතට අරගෙන ඉගෙන ගත්තු කර්මාන්තයක් මේක.

කොහෙද ඔබේ ගම් පළාත…

මම මාතර, හක්මන රදාවෙල. දරුවෝ හත් දෙනෙක් හිටපු පවුලක මම වැඩිමලා. මට නංගිලා තුනයි මල්ලිලා තුනයි. තාත්තට හරි හමන් රස්සාවක් තිබුණේ නැහැ. අම්ම කුලී වැඩ කළා. ඒ නිසා මට සිද්ධ වුණා 10 පන්තියෙන් ඉස්කෝලෙ ගමන නවත්වන්න. ගෙදර අඩුපාඩු එමටයි. නංගිලා මල්ලිලා ඉගෙන ගන්න දක්ෂයි. මට රස්සාවක් කරන්න ඕන වුණේ ඒ අයට උගන්වන්න.

ඒකද ඔබ කොළඹ ආවේ…

ඔව්. මුලින්ම ලැබුණේ මේසන් වැඩට අත් උදව් දෙන රස්සාවක්. ඒ අතරේ තමයි කොළඹ හිටපු ඥාතියකු මාර්ගයෙන් ඩේවිඩ් පීරිස් එකේ ලේබර් ජොබ් එක ලැබුණේ. ඒක ත්‍රීවිල් ගැන විශ්වවිද්‍යාලයක්. පරණ ත්‍රීවීල් අලුත්වැඩියා කළා. ඉන්දියාවෙන් ගෙන්වූ අලුත් ඒවා සවිකිරීම් කළා. ඒවායේ ප්‍රශ්න ගැටලු දැක්කාම ඒවාට විසඳුම් හොයන්න උත්සාහ කළා. අවුරුදු දහයක් මම ඒ ආයතනයේ වැඩ කළා.

ඉතින් රස්සාව අත්හැරියේ…

මම ටිකෙන් ටික උසස් වෙලා සුපර්වයිසර් තනතුරට ආවා. 10,000 දක්වා වැටුප වැඩිවුණා. හැබැයි මට ඉංග්‍රීසි බැහැ. මීටින්වලදී මං හුඟක් අපහසුතාවට පත්වුණා. අනිත් හැමෝම සුපර්වයිසර්ලා හොඳට ඉංග්‍රීසි කතා කළා. මට මේක මහා වදයක් වුණා. මම රස්සාවෙන් අයින් වුණේ මේ ඉංග්‍රීසි බැරිකම නිසා. ආයතනය කැමැති වුණේ නැහැ මම යනවට. පස්සේ මම තව යාළුවෙක් එක්ක එකතු වෙලා, ආයතනයෙන් ලැබෙන ත්‍රීවීල් සර්විස් කරන බිස්නස් එකක් මත්තේගොඩ පටන් ගත්තා. අවුරුදු පහක් ගියා. බිස්නස් එක හොඳට හැදුණාම යාළුවා බිස්නස් එක ඕන කිව්වා. මං ඒක දීලා අයින් වුණා.

රස්සාවයි හදපු බිස්නස් එකයි දෙකම නැතිවුණා ඔබට…

හැබැයි මං ළඟ දැනුම තිබුණා. මං ආයතනයට දැනුම් දීලා තනියම වැඩේ පටන් ගත්තා. 2007දී ආයතනය මා ඒජන්තවරයෙක් විදියට පත් කළා. ඊට පස්සේ මට හුඟක් වැඩ ආවා. කොම්පැනියට හදාගන්න බැරි ලෙඩ, විශේෂයෙන් වාහනේ පැත්තට අදින ප්‍රශ්න, පෝක්වල ඇද අරගන්න බැරි ප්‍රශ්න මම ඔවුන්ට විසඳලා දුන්නා. ඒ කාලේ පෝක්වල ඇද අරින්න පට්ටල් ගාණේ දුවන්න වුණා. මම ඒකට මැෂිමක් හැදුවා. විනාඩි විස්සෙන් ඒ වැඩේ මගේ කර්මාන්තශාලාව ඇතුළෙම කරන්න පුළුවන් වුණා. ආයතනයටත් ලොකු පහසුවක් වුණ නිසා දිගින් දිගටම මට වැඩ ආවා.

සාමාන්‍යයෙන් කොම්පැනියට ඉන්දියාවෙන්, ත්‍රීවීල් එකට අදාළ අමතර කොටස් වැඩිපුර එවනවා. ඒ එන වැඩිපුර කොටස් කොම්පැනිය අලෙවි කරනවා. ඔවුන් මට ඒ අමතර කොටස් අඩු මුදලට දුන්නා. මං හොඳින් වැඩ කරන නිසා ඒක කොම්පැනිය මට දීපු අවස්ථාවක්. මං ඒවා විකුණුවා. හුඟාක් ආදායම් ලැබුවා. ඒ වගේම රස්සාව කරන කාලෙත් පහෙන් පස්සේ ගෙදර ඇවිත් වැඩ කළා.1997 මගේ මූලික පඩිය 10,000 වුණාට මම අමතර වැඩ කරලා ඊට වඩා හෙව්වා. රස්සාවෙන් අස් වෙනකොට මං විවාහ වෙලා, ගේ දොරත් හදාගෙන. වාහනේකුත් මට තිබුණා.

තනියම පටන් අරන් මම ඒජන්තවරයෙක් වුණාට පස්සේ, කොම්පැනියෙන් මට එක දවසකට වාහන 100ක් රෙපෙයාර් කරන්න ලැබුණා. හුඟක් ඒවා අලුත් වාහන. ලෙඩ හොයාගන්න බැහැ. පැත්තට අදින එක තමයි ලොකුම ප්‍රශ්නේ. මම වැඩ පටන් ගත්තේ පාන්දර තුනට. ඒ 100ට අමතරව මම පිටින් ගේන ත්‍රීවීලරුත් 100ක් හැදුවා. ඒ කියන්නේ දවසට වාහන 200ක්. ඒවට අවශ්‍ය මැෂින් හදා ගත්තේ මමමයි. ඒවා කොහේවත් නැති මැෂින්. ඒ වගේම මට ශිල්පය දන්න මිනිස්සු ටිකක් හිටියා. මං උඩට ආවේ ඒ බිස්නස් එකෙන්.

අහිමි වීම තමයි ඔබේ හැරවුම් ලක්ෂ්‍යය…

ඇත්තටම අවස්ථා දෙකකදි මට ඒ දේ සිද්ධ වුණා. ඔහොම ඉන්නකොට ටැන්සානියාවේ තිබූ ඩේවිඩ් පීරිස් කොම්පැනිය වැහුවා. ඒ වහන වෙලාවේ ලංකාවෙන් ගිය අපේ යාළුවෝ එහේ වැඩ කළා. එක යාළුවෙක් මට යෝජනා කළා, අපි එකතු වෙලා මේක කරමු කියලා. මම කෝටි තුනකට වැඩිය ආයෝජනය කළා. හැබැයි එයාලා මට වංචා කළා. අන්තිමේ මට සීඅයිඩියටත් යන්න වුණා. නමුත් මේක පිටරට කේස් එකක් නිසා සිංගප්පූරුවෙන් නඩු දාන්න කියලා ඔවුන් කිව්වා. යට කරන්න තවත් සල්ලි නැති නිසා මං පාඩුව අතෑරලා දැම්මා. අන්තිමේ 2010 වෙද්දී මට ඉතුරු වුණේ ලංකාවේ කර්මාන්තශාලාව විතරයි.

ඒ වෙලාවේ මං අමතර කොටස් හදන්න ලංකාවේ පටන් ගත්තු නිසා විශාල මැෂින් ප්‍රමාණයක් මගේ ළඟ තිබුණා. ඒවත් පැත්තකට දැම්මා. ඊළඟට කප්පම් කාරයන්ගෙන් ජීවිත තර්ජන ආවා. මේ රටේ මහන්සි වෙලා කර්මාන්තයක් කරගෙන යන මිනිස්සුන්ට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නය එමටයි. බදු පීඩාව මදිවට නිකන්ම ඉඳලා මැරයෝ කප්පමුත් ගන්නවා.

හැබැයි කොරෝනා වසංගතය වෙලාවේ මං ඒ මැෂින් ආපහු එළියට ගත්තා. මම හැම වෙලාවෙම පාවිච්චි කළේ මලකඩ නොකන සින්කෝඩ් තහඩු. ඒකෙන් හදපුවාම අවුරුදු 20කට වත් ත්‍රීවීල් එකක් මලකඩ කන්නේ නැහැ. ඉන්දියාවෙන් එන තහඩුව අවුරුදු තුනක් යද්දී මලකඩ කනවා. මං ආපහු වැඩ පටන් ගත්තා.

ඩේවිඩ් පීරිස් එකේ වැඩවලට අමතරව රක්ෂණ සමාගම්වල ටෙන්ඩර් ලැබුණා. සාමාන්‍ය ජනතාවගේ නඩත්තු කටයුතු තිබුණා. අමතර කොටස් අලෙවි කළා. ඒ සියල්ලට වඩා මට මං ගැන විශාල විශ්වාසයක් තිබුණා. මම දවසට නිදාගත්තේ පැය කිහිපයයි.

මේ කර්මාන්තයේ තිබෙන ලොකුම ගැටලුව තමයි ජ්‍යෙෂ්ඨයන් ආධුනිකයන්ට වැඩ කියලා දෙන්න කැමති නැති එක. මිනිසුන් වශයෙන් මේ ආකල්පය වෙනස් වෙන්න ඕනේ. මම මේ ලබපු අත්දැකීම මගේ කර්මාන්ත ශාලා ඇතුළෙත් සිද්ධ වෙනවා. මම පුළුවන් තරම් ඒ අයට කියනවා එහෙම කරන්න එපා කියලා. තමන්ම ඒ ආකල්ප වෙනස් කර ගත යුතුයි. ඒ වගේම මට බැරිවුණු ඉංග්‍රීසිය මං මගේ දරුවෝ තුන්දෙනාට ඕනෑවටත් වඩා ලබා දුන්නා. අද මගේ ලොකු දුව ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරියක් වීමට ඉගෙන ගන්නවා. පොඩි දුව සහ පුතා පුද්ගලික විශ්වවිද්‍යාලවල. මේ ව්‍යාපාරයේ හැම තැනකම මගේ බිරිඳගේ මහන්සියත් අඩු වැඩි වශයෙන් තිබෙනවා.

ලංකාවේ කොහේවත් නැති තාක්ෂණයක් මම හදාගත්තේ මගේම උත්සාහයෙන්. 49 වතාවක් මම ඉන්දියාවට ගිහින් තියෙනවා, අමතර කොටස් ගන්න. නමුත් ඒ ගියාම ආයතන ඇතුළට දුරකතන ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ වැඩ කරන හැටි මම වීඩියෝ කර ගන්නේ මගේ ඇස් දෙකෙන්. ඒ ඇවිත් මම කොහොම හරි ඒ තාක්ෂණයට අදාළ මැෂින් හදා ගන්නවා. මගේ ළඟ අවශ්‍ය හැම මැෂිමක්ම තියෙන්නේ ඒ විදියට උත්සාහයෙන් හදාගෙන.

ඊට අමතරව වාහන කර්මාන්තයට අවශ්‍ය පවර් ප්‍රෙස්, හයිඩ්‍රොලික් ප්‍රෙස්, ස්පොට් මැෂින් වැනි ඕනෑම මැෂිමක් මගේ ළඟ තියෙනවා. හැබැයි ඒ සමහර මැෂින් කොම්පැනිවලින් යකඩ බරට අයින් කරපුවා. මම බොහොම අඩු මුදලකට ඒවා අරගෙන හදලා වැඩ ගන්නවා. ත්‍රිරෝද රථයකට අවශ්‍ය ඕනෑම තහඩු කොටසක් විනාඩි ගණනකින් කපන්න පුළුවන් මැෂින් මගේ ළඟ තිබෙනවා.

ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප දුෂ්මන්ත මායාදුන්නේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division