කෘතිය – නොදුටු මුත්තා
සිංහල පත්‍ර කලාවේ සිළුමිණ
ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ජීවන අන්දරය
කර්තෘ – ඒ. එස්. දිල්නුක සිල්වා
ප්රකාශනය – සරසවි ප්රකාශනයකි
නිර්මාණයක් කිරීමේදී ලැබෙන නිදහස අපදානයක් ලිවීමේදී ලැබෙන්නේ නැත. ඒ චරිතයට අදාළ සත්‍ය තොරතුරු ඉක්මවා යා නොහැකි බැවිනි. ප්‍රස්තුත පුද්ගලයා ජීවමානව නොසිටයි නම් එය වඩාත් දුෂ්කර වෙයි. ඒ කිසිදු තොරතුරක් සත්‍ය දැයි නිවැරදි දැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නොහැකි බැවිනි.
අපදානයට ප්‍රස්තුත වන පුද්ගලයා මියගොස් කලක් ඉක්ම ගිය පසු තත්ත්වය කෙබඳු දැයි ඔබට සිතාගත හැකිද? එවන් අවස්ථාවකදී අපදාන රචකයා අසරණ වූ කදිම අවස්ථාවක් දැක්විය හැකිය. ඒ ගැටලුවට මුහුණ පෑවේ කලක් දිනමිණ කර්තෘ පදවිය හෙබ වූ සී. දොඩාවත්ත මහතාය. ශතවර්ෂාධික කාලයක් ආයු විඳින ‘දිනමිණ’ පත්‍රයේ සමාරම්භක කර්තෘ එච්. එස්. පෙරේරා සූරීන් කලක් ‘සරසවි සඳරැස’ පත්‍රයේද කර්තෘ පදවිය උසුලා ඇත. ඔහු 1868 දී ජන්ම ලාභය ලබා 1914 දී ජන්මාන්තරගත විය. ඔහු දින පොතක් හෝ වෙනත් කිසිදු සටහනක් ලියා තැබුවේද නැත. ඔහු පිළිබඳ මතක සටහනකට තිබුණේ බොරැල්ල කනත්තේ ගරා වැටෙමින් තිබු ස්මාරකයක් පමණි.
කළුකොඳයාවේ ප්‍රඤ්ඤාසේඛර නා හිමියන් ලියූ සිංහල පුවත්පත් ඉතිහාසය -04 කාණ්ඩයේද ඔහු පිළිබඳව නම් ගම් හැරුණු විට විස්තරයක් පළවී නැත. සී. දොඩාවත්ත මහතා එස්. එස්. පෙරේරා පිළිබඳ තොරතුරු සෙවීමට පටන් ගත්තේ ඔහුගේ වියෝවින් සිය වසරක් ද ඉක්ම ගිය පසුවය. ඒ වන විට ජීවතුන් අතර සිටියේ එච්. එස්. පෙරේරා සූරීන්ගේ හතරවැනි පරම්පරාවයි. සිය ඥාතියා පිළිබඳ මතක බොහෝ දුරට ඒ වන විට වියැකී ගොස් තිබිණි.
කෙසේ වෙතත් දොඩාවත්ත මහතා මහත් පරිශ්‍රමයකින් සොයා ගත් තොරතුරු අන්තර්ගත කොට “එච්. එස්. පෙරේරා සොයා යෑම” යන හිසින් පුස්තිකාවක් එළිදැක්වීමට සමත් විය.
මේ ප්‍රස්ථාවනාව ගෙනහැර දැක්වූයේ උස් තුරෙක හටගත් ඵලයක් නෙළා ගැනීමට කුරුමිට්ටකු තැත් කරන්නාක් වන් භාරදුර කාර්යයකට තවමත් 14 හැවිරිදි වියේ සිටි දරුවකු වන ඒ. එස්. දිල්නුක සිල්වා දැරූ සාර්ථක වෑයම අැගැයීමටයි.
දිල්නුක සිල්වා මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ශිල්ප හදාරයි.
මාර්ටින් වික්‍රමසිංහගෙන් පසු සිළුමිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘ තනතුරට පත් වූයේ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතාය. එමතුද නොවේ. 1956 දී ඥාන කෝෂයක් බඳු නවයුගය සඟරාවද 1964 දී ළමයින්ට දැනුම ගබඩාවක් බඳු ‘මිහිර’ පත්‍රයද 1969 දී යුවතියන්ට සුරතුරක් බඳු වූ ‘තරුණි’ පත්‍රය ද ආරම්භ කරන ලද්දේ ඔහු විසිනි.
සිය මී මුත්තා වන ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ පිළිබඳ ‘ජීවන අන්දරය’ ලියන්නට දිල්නුකට සිතක් පහළ වූයේ දොළොස් වැනි වියේදීය. පාසල් වැඩකට ගෙනා කොළඹ නගරයේ ගොඩනැඟිලි දැක්වෙන පින්තූරයක ගොඩනැඟිලි අතුරින් එක් ගොඩනැඟිල්ලක් ඔහුට හඳුනාගත නොහැකි විය. ඒ කුමක්දැයි ඔහු අම්මාගෙන් විමසයි. ‘ඒ ලේක්හවුස් එක’ පත්තර කන්තෝරුවක්. පිළිතුර විය. හුඟක් විස්තර ආච්චිගෙන් අහන්න. ඇය දිල්නුක පුතු මිත්තණිය වෙත යොමු කරයි. ඇය මුත්තාගේ පත්‍ර කලා ඉතිහාසය කියද්දී ඔහු ගැන තොරතුරු සෙවීමේ කුතූහලයක් කුඩා දිල්නුකට හට ගනී.
ප්‍රවීණ පත්‍රකලාවේදිනියක වූ අනුල ද සිල්වා ලියූ ‘බේරේ ගෙදර සිට’ නම් පොත අම්මා දිල්නුකට ගෙනැවිත් දෙයි. එය කියවූ පසු සිය මුත්තාගේ තොරතුරු ද ඔහුගේ ගෝල බාලයන් රැසකගේ ද නම් ගම් ඔහුට හමු විය. දිල්නුක මුත්තාගේ තොරතුරු සෙවීමේ මෙහෙයුම දියත් කළේය. අම්මාට සිදු වූයේ පුතා කියන කියන තැනට ඔහු කැටුව යෑමටයි.
දොළොස් හැවිරිදි දිල්නුක ඔහුට ලැබෙන තොරතුරු විධිමත්ව සටහන් කළේය. යා යුතු තැන් හික්කඩුවේ දොඩන්දුව ගමේ ඥාතීන්, මහ ගෙදර, අසල්වාසීන්, කුමාරකන්ද විහාරස්ථානය, අනුල ද සිල්වාගේ පොතේ නම සඳහන් ඉඳුනිල් අමරසේකර, නෙළුම් ප්‍රනාන්දු, රාජා ටී. බස්නායක, පර්සි ජයමාන්න, තලංගම ජයසිංහ, පියසේන රතුවිතාන, ලේක්හවුස් පුත්තකාලය, රාජ්‍ය ලේඛනාගාරය ඒ අතර විය.
පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ අසාවත් නැති කුඩා පාසල් ශිෂ්‍යයකුට කළ නොහැකි ආකෘතියක් ඔහු සකස් කර ගත්තේය. ඔහුගේ පෞද්ගලික ජීවන තොරතුරු රැස් කළ ඔහු 1936 දී දැන්වීම් අංශයේ පරිවර්තකයකු බැඳීමේ සිට කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වීම, ඩී. ආර්. විජයවර්ධන මහතාගේ සිත දිනා ගැනීමාදී තොරතුරුවලින් නොනැවතී ඔහුගේ වෘත්තීය ජීවිතය පිළිබඳ ඔහු විසින් රැස් කර ඇති බොහෝ තොරතුරු ‘මා නොදුටු මුත්තා’ ග්‍රන්ථයේ අන්තර්ගත වෙයි.
පත්‍රකලාවේදියකුගේ ජීවිතය වෙනත් රාජකාරියකට සමාන නොවේ. එය වූ කලී සංකීර්ණ වෘත්තියකි. තත්කාලීන සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික ප්‍රවණතාවල බලපෑමෙන් තොරව කර්තෘවරයකුට සිය ගමන් මඟ තීරණය කළ නොහැකිය.
ඔහු දිනමිණ, සිළුමිණ කර්තෘ තනතුරු හොබවන්නේ යටත් විජිත අවදියේය. පූර්ව නිදහස් අවදියේ ජාතික නිදහස් අරගලය උත්සන්න වෙමින් පැවැති අවදියේය. ශ්‍රී ලාල් ලියනගේ සිය පෑන හසුරුවන්නේ ජාතික නිදහස උදෙසා වන ඩී. ආර්. විජයවර්ධන චින්තනය ඔස්සේය. එහෙත් ඇතැම් අවස්ථාවක ඔහු විජයවර්ධන චින්තනයට පටහැනි තමන්ගේ හෘදය සාක්ෂියට කටයුතු කළ අවස්ථා ද ඇත.
ඩී. ඇස්. සේනානායක මහතාගේ පාලන සමයේ ඉදිරිපත් වූ පුරවැසි පනතට මන්ත්‍රීවරුන් නව දෙනකු විරුද්ධ වූ කල්හි ‘කුලියට හැඬු ලංකා මන්ත්‍රීවරු’ යනුවෙන් ප්‍රබල කර්තෘ වාක්‍යයක් ලිව්වේය. ඒ මත පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රී ලාල් ට නඩු පැවරීමට ප්‍රැන්සිස් මොලමුරේ තීරණය කළේය. තමන්ගේ මතය ඉක්මවා ලියූ කර්තෘ වාක්‍යය නිසා දඬවම් විඳින්නට ගිය ශ්‍රී ලාල් වෙනුවෙන් රාජ නීතිඥ එන්. ඊ. වීරසුරිය ප්‍රමුඛ සිව් දෙනකුගෙන් යුත් නීතිඥ මණ්ඩලයක් ඔහු වෙනුවෙන් ඩී. ආර්. විජයවර්ධන ලබා දුන්නේය. ඔවුන්ගේ කරුණු දැක්වීමෙන් පසු ශ්‍රී ලාල් නිදහස් විය.
ආණ්ඩුවේ බළල්ලු කළුද – සුදුද ? දියසේන එනතුරු පමා විය යුතුද? – ආණ්ඩුවේ අයට දැනුත් බැරිද ? සමසමාජවාදීහු උරසක්මාලය පළඳීද? දේශපාලකයන්ගේ දිට්ඨමංගලිකා හැවය වැනි ප්‍රබල කර්තෘ වාක්‍ය මඟින් ඔහු සමජය දැනුවත් කළේය.
දිල්නුක සිය නුදුටු මුත්තාගේ ජීවිතයේ හර පද්ධතිය මතු කර දැක්වීම සඳහා ද සාධක ගෙනහැර දක්වයි. ශ්‍රී ලාල් සමඟ දීර්ඝ කාලයක් කටයුතු කළවුන් පවසන්නේ ඔහු කිසිවකුගෙන් හුණු විටක දෙයක් – තේ කෝප්පයක්වත් නොගත් බවයි. නන්නාඳුනන ලේඛක ලේඛිකාවන් ගේ ලිපි ලේඛන නිර්මාණ මහත් අභිරුචියෙන් පළකර තෘප්තිමත් වූ බවයි.
1988 දී රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඔහුට කැඳවීමක් කරමින් වාහනයක් එවා තිබිණි. දෙතුන් වාරයක් එසේ කළ ද ඊළඟ වාරයේ ඔහු එකඟවී ගොස් ප්‍රේමදාස ජනාධිපතිවරයා හමු විය.
‘සර් තමයි මගෙ පින්තූරයක් මුලින්ම පත්තරේක දැම්මේ’
ඔහු රුපියල් පනස්දාහක මුදලක් ශ්‍රී ලාල් අත තැබුවේය.
“අනේ මට මොනවත් එපා. ඔබතුමා වාහනය තුන් පාරක් එවූ නිසයි ආවේ.”
එහෙනම් වියදමට රුපියල් දහදාහක් තියාගන්න යැයි ජනාධිපතිවරයා කීය.
‘මට දවසකට වියදම් වෙන්නේ රුපියල් තුනයි’ ඔහු කීය.
ජනාධිපති ප්‍රේමදාස මහතාට ස්තුති කර ඔහු පෙරළා ආවේය.
ඔහු වස්තුව පොදි බැන්දේ නැත.
ශ්‍රී ලාල් ලියනගේ සෘජු ප්‍රතිපත්තිගරුක පුද්ගලයකු බවට තොරතුරු දිනුල්ක විසින් මෙහි ගෙනහැර දක්වා ඇත. 1993 දී සිංහල ලේඛක සංවිධානය මඟින් සංවිධානය කළ උපහාර උත්සවයකදී ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ පිළිබඳව ආචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා අදහස් දක්වමින් පැවැසුවේ ඔහු ස්වාධීන ලේඛකයකු බවත් අනුන් යටතේ සේවය කළත් ඔවුන්ගේ සියලු මත ඔහු අනුමත කළේ නැති බවත්ය. ඇතැම් විට ඔහු සිළුමිණට ලියූ කර්තෘ වාක්‍ය ලේක්හවුස් ආයතනයේ මතයට පටහැනි විය. එවන් අවස්ථාවක එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සමඟ ගැටුමක් ඇති කරගත් ශ්‍රී ලාල් වැඩට නෑවිත් වත්තේ ගොවිතැන් කරන්නට විය. දින කිහිපයකට පසු වික්‍රමසිංහ මහතා වාහනයක් යවා ඔහු යළි සේවයට කැඳවා ගත්තේය.
ඔහු විසින් ආරම්භ කරන ලද නවයුගය, මිහිර හා තරුණි මෙරට ජනතාවගේ බුද්ධිමය පරිධිය පුළුල් කිරීමෙහිලා අපරිමිත සේවාවක් සැපයූ බවට සාක්ෂි දිනුල්කගේ කෘතියේ තොරතුරු රැස්කර තිබේ.
කර්තෘ මාණ්ඩලිකයන්ගේ සේවයට අමතරව දක්ෂ ලේඛක ලේඛිකාවන් රාශියකගේ ලිපි ලේඛනවලින් තම ප්‍රකාශන පෝෂණය කිරීමට අවශේෂ කර්තෘවරුන්ට වැඩි දක්ෂතාවක් ඔහු පෙන්වා ඇත.
මාතර ජස්ටින් විජේවර්ධන, උපහාස චක්‍රවර්ති ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා, පියසේන රතුවිතාන, කේ.ඩී.පී. වික්‍රමසිංහ, එස්. ඒ. දිසානායක, ප්‍රේම් දිසානායක, විද්‍යා ලේඛක කේ. ආරියසිංහ, ප්‍රැන්සික් පී. ගුණසේකර, විමල් ජේ. අබයසිරි, රීටා මංගලිකා එවූ ලිපි කර්තෘ මණ්ඩලිකයන් වන නිව්ටන් පින්තු, නෙළුම් ප්‍රනාන්දු, ඉඳුනිල් අමරසේකර ආදීන් විසින් අධීක්ෂණය කරනු ලැබිණි.
සිළුමිණ – දිණමිණ වැනි ජාතික තලයේ පත්‍රවලදී ඊට යෝග්‍ය ශාස්ත්‍රීය වින්දනාත්මක විශේෂාංග නිර්මාණයන්ද නවයුගය වැනි දැනුම් කෝෂයක ඊට යෝග්‍ය විශේෂාංග ද ‘තරුණි’ ඔස්සේ යුවතියන්ගේ ගෘහ ජීවිතයට හා යහගුණ වර්ධනය අරභයා විශේෂාංගද නිර්මාණය කිරීමේ නිපුණත්වයක් ඔහුට තිබිණි.
ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ‘ජීවන අන්දරය’ ලියන්නට 12 හැවිරිදි දිනුල්ක ද සිල්වා පටන් ගන්නේ ශ්‍රී ලාල් සූරීන් අභාවයට පත් වී දශක දෙකකට පසුවයි. ඔහු කිසිදා දින සටහනක්වත් – දින පොතක්වත් – ජීවිත සටහනක්වත් ඉතිරි කර තබා නැත. එබැවින් කුඩා දිනුල්ක පිටු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් සාරවත් කෘතියක් නිර්මාණය කිරීමට දැරූ අප්‍රතිහත වෑයම ඵල දරා ඇත. මේ පුංචි ලේඛකයා විසින් කර ඇති හපන්කම හඳුනා ගැනීමට මවුපියන්, ජනමාධ්‍ය ගුරුවරුන්, ශිෂ්‍යයන් හා පොදු පාඨකයන් මේ සාහිත්‍ය මාසයේ කියවිය යුතුම පොතක් ලෙස ‘නොදුටු මුත්තා’ සිංහල පත්‍ර කලාවේ සිළුමිණ – ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ කෘතිය කියවිය යුතුමය. එසේම සෑම පාසල් පුස්තකාලයකම මෙයින් පිටපතක් තිබිය යුතුමය.
තිලකරත්න කුරුවිටබණ්ඩාර