බුරුම ජාතික Aung Thinn අවුන් තෙන් විසින් රචිත The Kindergarten Teacher කෙටිකතාවේ පරිවර්තනයයි. අවුන් තෙන් 1927 අප්‍රියෙල් 17 වන දින බුරුමයේ මැග්වේ කලාපයේ Taungdwingyi නගරයේදී උපත ලැබීය. ඔහුගේ පළමු ලිපිය Breaking Thayet Prison 1959 දී Myawaddy සඟරාවේ පළකරන ලදී. 1960 සහ 1970 දශකවල Mawlamyaing උපාධි විද්‍යාලයේ, ආරක්ෂක සේවා ඇකඩමියේ හා යැන්ගොන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස ඔහු සේවය කළේය. සදාචාරාත්මක හැසිරීම්, සංස්කෘතික දැණුම සහ තරුණ සිතුවිලි අභිප්‍රේරණය පිළිබඳ ඔහු පොත් 50කට වැඩි ප්‍රමාණයක් ලියා ඇත. 2012 දී ඔහු එරට ජාතික සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
මම හැටේ දශකයේ මුල් භාගයේ සිට යැන්ගොන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළෙමි. ඊට පෙර මගේ ගම වන ටොන්ග්ජිහි මධ්‍ය පාසල් ගුරුවරයකු ලෙස මම වසර තුනක් පමණ සේවය කළෙමි. මෙම තනතුරු දෙකෙහිම හොඳ ගුරුවරයකු ලෙස මා සලකනු ලැබුවේය. ඇත්ත වශයෙන්ම මට සිතුණේ ගුරු භූමිකාව එතරම් දෙයක් නොවන බවයි. යමකුට උත්සාහයක් හෝ දක්ෂතාවක් නොමැතිව වුවද හොඳ ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධ විය හැකි යැයි මට හැඟුණි. කෙසේ වෙතත් දිනක් දුටු දෙයින් හොඳින් ඉගැන්වීම පිළිබඳ මගේ ස්වයං ඇගයීමේ සීමාවෙන් ඔබ්බට මා ගොස් ඇති බව මට වැටහුණි.
එකල මම කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයෙක් වීමි. ටොන්ග්ජි හි ප්‍රාදේශීය කෞතුකාගාරයට නුදුරින් පිහිටි ස්වේ ඉන් ටෝ දාගැබ ළඟ සවස් කාලය විවේකීව ගත කිරීම මගේ සිරිතකි. එහිදී මගේ හොඳම මිතුරන් කිහිපදෙනකු හමුවී කතාබහ කිරීමට අවස්ථාව ලැබුණි. වූ නියන් සේන් කෞතුකාගාරයට යන එන මාවතේ දාගැබ අසල ඇති ප්‍රාථමික පාසලේ ඉගැන්වූයේය. කලා ගුරුවරයකු වූ ඔහු මගේ කළණ මිතුරෙකි.
දිනක් කෞතුකාගාරයට පැමිණෙන ලෙස පැවසීමේ අරමුණින් මම ඔහුගේ පන්තියේ දොර අසලට ගියෙමි. ඔහු කළු ලෑල්ලේ යමක් අඳිමින් සිටියේය. එය කුමක් දැයි බැලීමට මම සුළු වේලාවක් රැඳී සිටියෙමි. පස් අවුරුදු වියේ පසුවන පන්තියේ ළමුන් නිහඬව ඒ දෙස බලා සිටියේය. හුණු කූර හසුරවමින් මා දන්නා ජනප්‍රිය කාටූන් චරිතයක් ඔහු නිමා කළේය.
“ඒ ඉබ්බෙක්!” ළමුන් එක්වන්ව හඬ නැඟූහ.
වූ නියන් සේන් එයටම වඩා උස නැති රිටක් ද එක් කළේය.
“එයා සැරයටියක් අල්ලාගෙන ඉන්නවා…!” ළමෝ ආයෙමත් කෑගැසූහ.
එසැණින් වූ නියන් සේන් තම දරුවන් දෙසට හැරුණේය.
“දවසක්… ඉබ්බා ඇවිදිමින් සිටියා. ඔයාලා හිතන්නේ එයාට හම්බ වුණේ කවුරු කියලද…?”
ඔහු නැවත කළු ලෑල්ල දෙසට හැරී අනෙක් කෙළවරේ තවත් චිත්‍රයක් ඇඳීම ආරම්භ කළේය.
“හාවෙක්…!” ළමයි එක හඬින්ම කෑගැසූහ.
“හොඳයි… හාවා. ඊට පස්සේ …. ඉබ්බා….ට කිව්වා …”
ඔහු රූප සටහන් අඳින අතර කතාව වෙනස් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි. මම ඔහු දෙස බලා අත වැනුවෙමි.
“ඔයාටත් එකතුවෙන්න පුළුවනි!” ඔහු සිනාසෙමින් මා ඇමතුවේය.
එදින සවස මා මුණගැසෙන ලෙස ඔහුට පැවසුවේය. එලෙසින් දවස් දෙකක් හෝ තුනක් ඔහු චිත්‍ර ඇඳීම සමඟ කතන්දර කියනවා මට ඇසුණි. එබැවින් ඔහු කිසිවක් උගන්වන්නේ නැත්තේ ඇයි දැයි මම දිනක ඔහුගෙන් විමසුවෙමි.
“මට ඕනෑම වේලාවක කියවීමයි, ලිවීමයි උගන්වන්න පුළුවන්.”
“ඔව්.. ඒක ඇත්ත.. මම අදහස් කළේ… ”
“දැන් ළමයි ඉස්කෝලේ එන්නේ සතුටින්. හැමෝම පාසලට කැමතියි. ඒක කොච්චර වටිනවද.” වූ නියන් සේන් පැවසීය.
එය සත්‍යයක් විය හැකි බව මම විශ්වාස කළෙමි. ඊළඟ දවසේ ඔහු සේවය කරන පාසලේ වැඩි කාලයක් ගත කිරීමට මම තීරණය කළෙමි. එදින ඉදිරිපස පේළියේ එක් පිරිමි ළමයෙක් දෑස් පොඩිකරමින් සිටියේය. ඔහු චිත්‍ර ඇඳීමට යොමුවූයේ නැත. කතාවට සවන් දුන්නේ ද නැත. ළමයා වරින්වර පන්තියෙන් එළියට එබී බලමින් නොනවත්වාම හඬමින් සිටියේය. මහලු කාන්තාවක් පන්තියට ඔබ්බෙන් පිහිටි සියඹලා ගස යට වාඩිවී සිටිනු මම දුටුවෙමි. සමහරවිට ඇය ළමයාගේ ආච්චි විය හැකි ය. ටික වේලාවකට පසු වූ නියන් සේන් කාන්තාවට කතා කළේය.
“කරුණාකර ගෙදර යන්න. එයි තාර්, එයා ගැන කරදර වෙන්න එපා. ඔයා මෙහෙ සිටින තාක් එයා අඬන එක මට නවත්වන්න බැහැ.”
එය කන වැටුණු ළමයාගේ හැඬීම, කෑගැසීමකට හැරුණි. ආච්චි එහා මෙහා වීමට අකමැති විය.
“මේක නම් භයානකයි” ඔහු මට කීවේය.
“ළමයින්ට වඩා මහලු ගෑනු හැසිරවීම හරිම අමාරුයි.”
ඉන්පසු ඔහු ඇයට කතා කොට,
“අඩුම තරමින් කරුණාකර එයාට නොපෙනෙන තැනකට ඔයා යන්න.” යැයි පවසා සිටියේය.
මහලු කාන්තාව සෙමෙන් සෙමෙන් ඉවතට ගියාය. ළමයාගේ කෑගැසීමෙන් කාමරය දෙදරුම් කෑවේය. වූ නියන් සේන් කතන්දරය ඉදිරියට පවසාගෙන යද්දී ළමයා තව තවත් හඬා වැලපුණේය. මද විරාමයක් ගෙන වූ නියන් සේන් සිනහවකින් මුව සරසාගෙන ළමයා දෙස බලා සිටියේය. ළමයාගේ හැඬීම ඔහුට දිගටම කළ නොහැකි විය. එහෙත් මා දුටුවේ ළමයාට එය නතර කළ නොහැකි බවයි.
“ඔයා දිගටම අඬන්න… හයියෙන්…අඬන්න…” වූ නියන් සේන් පැවසීය.
එදෙස බලාහුන් ළමයින් කිහිපදෙනකුම දෑස් පොඩි කරමින් ඉකිබිඳින්ට වූහ. එසැනින් කාමරය පුරාම ඉතා වේගයෙන් ඉකිබිඳුමේ මුහුණු පැතිර ගියේය. සුළු මොහොතකින් එහි හඬ හිනි පෙත්තටම ළඟා වුණි. පුදුමයකි, එකවරම ළමයා හැඬීම නතර කළේය. එවිට අනෙක් ළමයින් ද හැඬීම නතර කළේය. එය දුටු විගස මට තනිවම සිනාසෙන්න නොහැකි විය. වූ නියන් සේන් ඔහුගේ කතාව සමඟ යළි ඉදිරියට ගියේය. ටික වේලාවකට පසු ළමයා නැවත හැඬීම ආරම්භ කළේය. නැවතත් අනෙක් අය ඔහු සමඟ එකතු වී හඬා වැලපුණහ.
ඊළඟ දවසේ මම වේලාසනින් එම පන්තිය අසලට සමීප වූයෙමි. ඔහු පන්තිය අමතා කතා කරමින් සිටියේය.
“ඒයි… අද මම ඔයාලට මිදි ගෙනාවා. හැබැයි ටිකයි තියෙන්නේ. කාටද ඕනෑ…? ”
“මට… මට…!” ළමෝ කෑමොර දුන්හ.
“එහෙනම්…. මිදි කන්න කැමති අය අතේ ඇඟිල්ලක් ඔසවන්න!”
පන්තිය පුරාම කුඩා ඇඟිලි ඉහළට යොමු විය. එම මොහොතේ වෙනදා අඬන ළමයා දෑස් දල්වාගෙන එදෙස බලා සිටියේය. ඒ ළමයා අත ඔසවා ගුරුවරයා දෙස බැලුවේ නැත. ඇත්තටම මිදි ලැබේවිදැයි පුදුමයෙන් ඔහු සිටින බවක් පෙනෙන්නට තිබුණි. මටත් එහෙම සිතුණි. වූ නියන් සේන් කළු ලෑල්ල දෙසට හැරුණේය. ඔහු රවුමක් ඇඳ ඉහළින් ඊට නටුවක් එක්කාසු කළේය. යළි යළිත් එවැනි ආකාරයේ රූ සටහන් කිහිපයක් ඒ අසලින්ම ඇන්දේය.
“මෙන්න මිදි ගෙඩියක්… මුලින්ම කාටද? ආ…ඔයාට, මෙන්න අරගන්න…!”
ඔහු කළු ලෑල්ලෙන් මිදි ගෙඩියක් කඩා ගන්නා ලෙස මවා පෑවේය. අනතුරුව ළමයකු වෙත හැරී තොල් උල්කරමින් එය කෑවේය. පන්තියේම ළමුන් සියලුදෙනාම මහත් හඬින් සිනාසුණහ.
“මෙන්න තවත් එකක්!” ඔහු ඊළඟ එක කඩාගෙන පන්තියේ ළමයකු දෙසට විසි කළේය.
ඔහුගේ ඇඟිලි තුඩු දෙකක් පුවරුව මත විය. එය ඉතා වටකුරු නොවීය. තරමක් දිගු විය.
“මෙන්න තව එකක්” ….
දෙතොලින් හා දෑසින් එය ඇඹුල් බව හඟවමින් ඔහු වෙනත් ළමයකු වෙත එය වීසි කරන ආකාරය පෙන්නුම් කළේය.
“ඒක ඇඹුල්!” ළමයා සිනහවෙමින් කෑ ගැසුවේය.
“මට.. මටත්… ඊළඟ එක..!” ළමුන්ගේ අත් එසවෙන්නට වුණි.
ඔහු යළිත් දිගැටි ඇදවූ කවයක් ඒ අසල ඇඳ පෙන්වීය.
“මේක නම් කුණු වෙලා වා…ගේ…. ඒක තිත්ත ඇති”.
ඔහු තවත් ළමයකු වෙත එය විසි කළේ මුහුණේ රැලි නංවා තිත්ත බව හඟවමිනි. අසල සිටි මා ගැන ළමුන් නොසලකන බව මට හැඟුණි. ඊළඟ දවසේ නව පියවරක් ගන්නා බව වූ නියන් සේන් මවෙත පැවසුවේය.
“අද මම වරකට මිදි පහක් ඔයාලගෙන් ඉල්ල ගන්නවා” ඔහු ප්‍රකාශ කළේය.
“ඒත් රස මිදි ගෙඩිවලට පමණයි ලකුණක් දෙන්නේ. මට ඇඹුල් හෝ කුණු වූ ඒවා දුන්නොත් ඔයාලට ලකුණු දෙන්නේ නෑ.”
ළමයි දෑස් දල්වා බලා සිටියහ.
“හා…දැන් බලන්න රසවත් මිදි ගන්න… කෝ..කෝ…දෙන්න.. ”.
ඔහු කළු ලෑල්ලේ දක්ෂිණාවර්ථව ඉතා වටකුරු රවුමක් ඇන්ඳේය.
“ඒ වගේම කුණු වූ මිදි කියන්නේ මෙන්න… මේ… වට…”
ඔහු පැවසුවේ වාමාවර්තව තවත් රවුමක් ඇඳීමෙනි. ඔහු එය ඇඳ පෙන්වනවිට ළමයින් ඔවුන්ගේ කුඩා දෑත්වලින් අවකාශයේ චලනයන් සිදු කළහ.
“මේ වාගේ….බලන්න …මෙහෙම… නෙවෙයි…” ඔහු අනුකරණය කරමින් ළමෝ හඬ නැඟූහ.
ඔහුට සියලුම ළමයින් කරනදේ ගැන දැකගත නොහැකිය. එය පරීක්ෂා කරන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. කුඩා කටහඬක් නැඟිණි.
“සර්… සර්… ” කුණු වූ මිදි පෙන්වීමට ළමයා කුඩා අත වාමාවර්තව කැරකුවේය.
ඔහු ළමයා අසලටම පැමිණියේය.
“නෑ… නෑ… වැරදියි…!” ඔහු දක්ෂිණාවර්තව අවකාශයේ රවුමක් ඇඳ දැක්වීය.
“වැරදියි…වැරදියි… ” ළමෝ කිහිපදෙනෙකු ඔහු වටකරගත්හ.
ආහා… මට හිතුණා… ඔයාලා මාව පරීක්ෂා කරන බව.
ළමයින් කැමැත්තෙන් ඔවුන්ගේ ගල්ලෑල්ලේ මිදි ගෙඩි අඳියි. මිදි පහක් ඇඳීමෙන් පසුව ගල්ලෑලි පරීක්ෂා කිරීම සඳහා ඔවුන් ඒවා වූ නියන් සේන් වෙත ගෙන ගියහ.
“දැන්…. මේක නම්… ඇඹුල්. ඊළඟ වතාවේ නම් ඒවා සල්ලිවලට ගන්නේ නෑ…” ඔහු පැවසුවේ ගල්ලෑල්ල ළමයකු වෙත ආපසු දෙන අතරතුරදීය.
“හරි… මේ වතාවේ…. මම කන්නම් ”යනුවෙන් යළි ලකුණක් තැබීය. ළමයා සතුටින් ආපසු ගියේය. හැඬූ ළමයා ලැජ්ජාවෙන් ඔහු අසලටම පැමිණියේය.
“ඒයි… ඔයාට හුඟාක් අඬන්න පුළුවන්. ඒත් ඔයාගේ මිදි රස බවට සහතිකයි!” වූ නියන් සේන් ඔහුගේ හිස පිරිමදිමින් පැවසීය. ඉතා සතුටින් පිරිමි ළමයා ආපසු තම ස්ථානයට දිව ගියේය. ඔහු සතුටින් වැඩි වැඩියෙන් මිදි ගෙඩි අඳින ආකාරය මම දුටුවෙමි.
ඊළඟ දවසේ මිතුරු වූ නියන් සේන් නව පාඩමක් ආරම්භ කළේය. ඔහු සෑම කෙනකුටම නැඟිට ඔවුන්ගේ නම් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය. ඉන්පසු වූ නියන් සේන් කළු ලෑල්ලේ ‘කා’ (බුරුම හෝඩියේ පළමු අකුර) ඇඳ පෙන්වූවේය. (බුරුම හෝඩිය රවුම් හැඩ මත පදනම් වී ඇති අතර අකුරු ඉතා වටකුරු වන්නේ සෞම්‍ය මිදි ගෙඩි ආකාරයෙනි.)
“ඔයාල හැමෝටම නමක් තියෙනවා නේ…එක එක්කෙනා දැන් ඔයාලාගේ නම් මට කියන්න ඕනෑ …” ඔහු ළමුන් අතරට ඇවිද ගියේය.
බලන්න කියන්න.
“ආ…හරි ලස්සන නමක්! මොනතරම් හොඳද! තව මොනවාද හොඳ නම්? හා…හරි…කියන්න. ” වූ නියන් සේන් එවර වඩාත් උස් හඬින් ප්‍රබෝධයෙන් පැවසුවේය.
“මෙයාටත් නමක් තියෙනවා. ‘කා’ … ඔන්න.. අමතක කරන්න එපා…. ඔයාලා තමන්ගේම නමින්ම අඬගහනවාට කැමතියි නේද? ”
“ඔව්..ඔව්.. ” ළමුන් ඔල්වරසන් නැඟූහ.
“ඉතින් එයත් එහෙම..යි…යි.. ”
හෝඩිය හරහා මිතුරා තම පාඩම ඉදිරියටම කරගෙන ගියේය. ඔහු ඉගැන්වීමේ නිරත වන ආකාරය මා කම්පාවට පත් කළේය. මිතුරා තරම් මා හොඳින් සිසුන්ට ඉගැන්වූවාද…? මගේ සිසුන්ට මා හොඳ ගුරුවරයෙක් වූවාද? මම මා වෙතින්ම විමසා ගතිමි.
පරිවර්තනය – එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ