Home » ප්‍රවීන් ජයවික්‍රමගේ තරග තහනමට පාර කැපූ නාඳුනන ජාවාරම්කරුවෝ

ප්‍රවීන් ජයවික්‍රමගේ තරග තහනමට පාර කැපූ නාඳුනන ජාවාරම්කරුවෝ

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment
ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා භූමිය ක්‍රිකට් ඔට්ටු තබන්නන්ගේ පාරාදීසයක් බවට පත් කරගැනීමට උත්සාහ කරන දෙස් විදෙස් ක්‍රිකට් ජාවාරම්කරුවෝ බොහෝ වෙති. එවැනි නීතිවිරෝධී ක්‍රියාකලාපයෙන් රටේ කීර්තියත්, ක්‍රීඩාවේ අභිමානයත් වළපල්ලට තල්ලු කරන්නෝ ද වෙති. මුදලට තරග පාවාදීමට ක්‍රීඩකයන් පොලඹවා ගනිමින් ක්‍රීඩාවට දූෂණය පතුරුවාලන එවැනි ජාවාරම්කරුවෝ එවකට සිටියේ ඉන්දියාව, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමිනි. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලකයා වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එවැනි අකටයුතුකම් මැඬ පැවැත්වීමට සහ වරදකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීමට කොතෙකුත් පියවර ගනු ලැබුව ද ඒවා තවදුරටත් සිදු වෙමින් පවතී. දැන් ශ්‍රී ලංකාවට ද මේ වසංගතය ව්‍යාප්ත වී තිබේ. එවැනි අකටයුතුකම්වලට සම්බන්ධ වූ ක්‍රිකට් ක්‍රීඩකයන් ද අනාවරණය වෙමින් පවතී. වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ඊයේ පෙරේදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් වසරක තරග තහනමකට ලක් වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය.

2021 වසරේදී එවකට 23 හැවිරිදි වියෙහි පසුවූ මේ යොවුන් දඟපන්දු යවන්නාට එරෙහිව නැඟුණු චෝදනාව වූයේ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ රෙගුලාසි තුනක් උල්ලංඝනය කිරීමය.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග මුදලට පාවා දීමට යම්කිසි පුද්ගලයකුගෙන් ලද යෝජනාව පිළිබඳ තොරතුරු අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ විරෝධී ඒකකය වෙත දැනුම් දීමට අසමත් වීම, වසර 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර මුදලට තරග පාවාදීමට යම්කිසි පුද්ගලයකුගෙන් ලද යෝජනාව සහ තවත් ක්‍රීඩකයකු ඒ සඳහා සම්බන්ධ කරගැනීමට ලද යෝජනාව පිළිබඳ තොරතුරු අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව දූෂණ විරෝධී ඒකකය වෙත දැනුම් දීමට අසමත් වීම හා මුදලට තරග පාවාදීමට ලද යෝජනා ඇතුළත් කෙටි පණිවිඩ සිය ජංගම දුරකතනයෙන් මකා දැමීම වැනි සියලු සාක්ෂි විනාශ කරමින් පරීක්ෂණවලට බාධා කිරීම ප්‍රවීන්ට එල්ල වූ චෝදනා අතර වේ. ඔහුට මාස 6කට අත්හිටවූ වසරක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවේ වරද පිළිගැනීම හේතුවෙනි. අයිසීසී නිවේදනය නිකුත් වූයේ හරියටම ඔහුගේ 26 වැනි උපන්දිනයට දින දෙකකට පසුවය.

සිය මංගල ටෙස්ට් තරගයේදීම වාර්තාගත පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවීම අතිශය කනගාටුදායකය. ඔහු 2021 අප්‍රේල් මාසයේ බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේදී සිය මංගල ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ පළමු ඉනිමෙන් කඩුලු 6කුත්, දෙවැනි ඉනිමෙන් කඩුලු 5කුත් උදුරාගෙන තරගයේ ජය ශ්‍රී ලංකාවට අත්කර ගැනීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් අතර, තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග 5කට බැගින් ක්‍රීඩා කර ඇති ප්‍රවීන් 2022 ජූනි මාසයේ සිට ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූයේ ද නැත.

ආරංචි මාර්ගවලට අනුව සැබැවින්ම ප්‍රවීන් ජයවික්‍රම තරග පාවාදීමට එකඟතාව පළ කර නැත. එහෙත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කළ ද එය දූෂණ විරෝධී ඒකකයට නොදැන්වීමත්, එම අයුතු යෝජනාවට වෙනත් ක්‍රීඩකයකු සම්බන්ධ කරදීමට උත්සාහ දැරීමත් හැම අතින්ම බරපතළ වරදකි. ඔහු අයිසීසියේ උදහසට ලක් වූයේ එබැවිනි.

ප්‍රවීන් ජයවික්‍රමගේ සිද්ධිය අනාවරණය වූයේ ඔහු අදාළ ජාවාරම්කරුවාට සම්බන්ධ කර දුන් අනෙක් ක්‍රීඩකයා දූෂණ වංචා නීතිරෙගුලාසිවලට අනුව කිසිදු ප්‍රමාදයකින් තොරව අයිසීසීයට පැමිණිලි කිරීමෙනි. ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්තරා නිශ්චිත තරගයකදී ‘හිට් විකට්‘ ආකාරයෙන් දැවී යන ලෙස එම ප්‍රබල ක්‍රීඩකයාට ජාවාරම්කරු යෝජනා කර ඇති බවකි. ජාතික කණ්ඩායම නියෝජනය කරන මේ ප්‍රබල ක්‍රීඩකයා විසින් ජාවාරම්කරු ගැන අයිසීසීයට වහාම පැමිණිලි කිරීම පැසසුමට කරුණක් වන අතර, ඒ අනුව අදාළ ජාවාරම්කරුවා හෙළිදරව් වීම ඊටත් වඩා වැදගත් කාරණාවකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීමට ඉහළම දායකත්වය ලබා දෙන දස්කම් සපිරි ක්‍රීඩකයන් සිය ගොදුරු බවට පත් කරගැනීමට උත්සාහ දරන එවැනි ජාවාරම්කරුවකු වේලාසනින්ම හඳුනා ගැනීමට අයිසීසීය සමත් වූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ලොව පුරා විවිධ රටවල පැවැත්වෙන ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් තරගාවලි රැසක මුදලට තරග පාවාදීම් සහ නීතිවිරෝධී ඔට්ටු තැබීම් අසීමිතව සිදු වූවද එය ශ්‍රී ලංකාවට අදාළ නැත. එහෙත් වැදගත් වන්නේ මෙරට පැවැත්වෙන ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රීඩාව එවැනි ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමය. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමය. ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, කාර්ය මණ්ඩලය දැනුම්වත් කිරීමත්, හැකි සියලු ආකාරයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විවිධ ජාවාරම්වලින් රැක ගැනීමත් වගකිව යුතු සියලු නිලධාරීන්ගේ යුතුකමකි. තරගාවලි අතරතුර නාඳුනන පුද්ගලයන්ගෙන් සහ පිටස්තර අමුත්තන්ගෙන් ක්‍රීඩකයන් ඈත් කර තැබීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යහපැවැත්මට සහ ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරගැනීමට හැම අතින්ම වැදගත් වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division