– ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගැන තුට්ටුවකටත් මායිම් කළේ නෑ
– ‘මුත්තර බල්ලා’ සමච්චලයට පිළිතුර බලු පිල්ලියක්
ලංකාවේ මහා ධන කුවේරයෙකු මෙන්ම මහා සමාජ සත්කාරයන් කළ විශිෂ්ටතම දානපතියකු වූ චාල්ස් හෙන්රි ද සොයිසාගේ මරණය අබිරහසක් බව සමහරුන්ගේ මතයකි. විශාල ප්‍රමාණයක් රෝහල්, පන්සල්, පාසල්, පල්ලි ඉදිකිරීමට දායක වූ ඒ සඳහා තම ධනය නොපැකිළව පරිත්‍යාග කළ චාල්ස් හෙන්රි ද සොයිසා ජලභීතිකා රෝගය වැලඳීමෙන් මියගියේ ගෙදර ඇති කරන ලද සුරතල් බල්ලා නිසා නොව තරහකාරයකු එවූ බලු පිල්ලියක් නිසා බව පවසමින් එකල සොයිසාගේ මරණය පිළිබඳව රට පුරා යම් යම් කට කථා පැතිර ගියේය.
මෙහි කතා නායකයන් දෙදෙනෙකි. එක් අයෙකු වනුයේ එකල ලංකාවේ සුපතල මහා ධන කුවේරයකු හා තදබල ලෙස ක්‍රිස්තියානු භක්තිකයෙකු වූ චාල්ස් හෙන්රි ද සොයිසාය. අනෙක් කතා නායකයා වන්නේ එකල නම ඇසූ පමණින් සමහරුන්ගේ ඇඟ කිලිපොලා යන තරමේ විශ්මිත යන්ත්‍ර, මන්ත්‍ර හා ගුරුකම් පිළිබඳ කෙළ පැමිණි හසළ දැනුමක් තිබූ ඒ සම්බන්ධ එකල ලංකාවේ සුපතල හිමිනමක් වූ බත්තරමුල්ලේ සුභීත නම් වූ සංඝ පීතෘ යතිවරයාණන් වහන්සේය.
මොරටුව නගරයේ, රාවතාවත්ත ග්‍රාමයේ පදිංචිව සිටි ඉතා ධනවත් සිටුවරයකු වශයෙන් සුප්‍රසිද්ධව සිටි වරුසහැන්නැදිගේ ජෙරෝනිස් ද සොයිසා වාසල මුදලිතුමා හා මුතුතන්ත්‍රිගේ ප්‍රැන්සිස්කා කුරේ ආර්යාව යන මෙම යුවලට දාව පුත් රුවනක් 1836 මාර්තු මස 03 වෙනිදා මෙලොවට බිහි වූයේය. ඒ බිලිඳාට චාල්ස් හෙන්රි ද සොයිසා යන නම දෙමව්පියන් විසින් තබනු ලැබීය. ඔහුගේ පියාගේ හා සීයාගේ බූදලය ඔවුන්ගේ මුල් පදිංචි නගරය වූ මොරටුව මෙන්ම කොළඹ නගරය පුරාවට ද පැතිර තිබුණි. අදටත් කුරුඳුවත්ත යැයි හඳුන්වන ප්‍රදේශය කුරුඳුවත්ත තැපැල් කාර්යාලය, නගර ශාලා භූමිය, අද රාජකීය විද්‍යාලය එදා රෝසල් ඇකඩමි, තර්ස්ටන් විද්‍යාලය, මල්වත්ත පාර, බගතලේ පාර, තුම්මුල්ල හා ටොරින්ටන් ප්‍රදේශය ආදී වූ විශාල භූමි ප්‍රමාණයක් කොටින්ම කියතොත් වර්තමාන බම්බලපිටිය හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මෙම කුරුඳුවත්ත ප්‍රදේශය හෙවත් කුරුඳු කැලේ ප්‍රදේශයට අයත් විය. එදා කුරුඳුකැලේ අද කොළඹ අගනගරයේ වටිනාම බිම්කඩවල් බවට පත්ව ඇත. මෙවන් විශාල අක්කර දහස් ගණනක් පුරාවට විහිදී ගිය මෙම කුරුඳු කැලේ ඉඩම් මිලදී ගැනීම සඳහා අවස්ථාව උදාවූයේ චාල්ස් හෙන්රි ද සොයිසාගේ සීයාට ලැබුණු නිධානයක ප්‍රතිඵලයක් වශයෙන් යැයි ද කියනු ලැබේ.
තම සීයාට ලැබුණු නිධානය නිසා මිලදී ගත් මෙම කුරුඳු වතුයාය සීයාගෙන් පියාටත්, පියාගෙන් තමාටත් ලැබුණු මෙම බූදලය භුක්ති විඳි චාල්ස් හෙන්රි ද සොයිසා ලංකාවේ ප්‍රධාන පෙළේ කුරුඳු ව්‍යාපාරිකයා බවට පත්විය. විශේෂයෙන් මහා බ්‍රිතාන්‍යයට කුරුඳු යැවීමේ ප්‍රමුඛයා විය. මේ සියල්ල ලැබී ඇත්තේ නිධානයට පින් සිදුවන්නට බව අවබෝධ කර ගත් චාල්ස් හෙන්රි ද සොයිසා එම බූදලයේ මුදල්වලින් තමා ද පින් කටයුතු කළ යුතු බවට අදිටන් කරගෙන ඒ අනුව ක්‍රියා කළේය. මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් කුමාර හා කුමරි යන විදුහල් දෙක ද, කොළඹ නයනාරෝග්‍ය ශාලාව (ඇස් වාට්ටුව) ද සොයිසා කාන්තා රෝහල්, බොරැල්ලේ කාසල් මහ රෝහල, කොළඹ බොරැල්ලේ පිහිටි කනත්ත භූමිය ආදිය එකල ඔහු විසින් රජයට පවරන ලද, පරිත්‍යාග කරන ලද ගොඩනැඟිලිවලින් කිහිපයකි.
එතුමාගේ ධන පරිත්‍යාගයෙන් ලංකාවේ පමණක් නොව එංගලන්තයේ අරෝග්‍යශාලා කිහිපයක් තැනවීම සඳහා මුදල් යෙදවූ බව දැක්වේ. එවන් කටයුතු නිසා ඔහුට එකල එංගලන්ත රජ පවුල සමඟ සමීප සබඳතා පැවැත්වීමට ද හැකි විය. ඒ නිසාම ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන් මාර්ගයෙන් 1870 වර්ෂයේදී එඩින්බරෝ ආදිපාදවරයා වූ ඇල්ප්‍රඩ් කුමාරයාට මෙන්ම වික්ටෝරියා මහ රැජිනගේ දෙටු පුත් ප්‍රින්සන් ඔෆ් වේල්ස් කුමාරයාටත් භෝජන සංග්‍රහයකට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ඒ ආරාධනය ඒ අය ඉතා සතුටින් භාර ගත්හ. ඒ අනුව ඔවුන්ගේ යටත් විජිත රාජ්‍යයක් ලෙස හැඳින්වූ සිලෝන් (CEYLON) නමින් හැඳින්වූ ශ්‍රී ලංකාව බලා පිටත්වීම සඳහා 1870 මාර්තු මස 30 වෙනි දින යොදා ගන්නා ලදහ.
ආරාධනය පිළිගත් පසු ඔවුන් වෙනුවෙන් සාදය පැවැත්වීම සඳහා වෙනම මන්දිරයක් (ගොඩනැඟිල්ලක්) තැනීමට චාල්ස් හෙන්රි ද සොයිසා කටයුතු යෙදවීය. ඒ සඳහා අද ඇල්ප්‍රඩ් හවුස් ගාර්ඩ්න් නමින් හඳුන්වන තුන්මුල්ලට ආසන්න ප්‍රදේශයේ කාමර සියයකින් සමන්විත මහා මන්දිරයක් තැනවීමට අවශ්‍ය කටයුතු පිළියෙල කළේය. පුරා තෙමසක් ගත වීමටත් පෙර එම මන්දිරය සාදා නිම කළ බව වැඩිදුරටත් සඳහන් වේ.
මන්දිරය තැනීමට අවශ්‍ය වූ සියලුම ගොඩනැඟිලි ද්‍රව්‍ය හා එම භෝජන සංග්‍රහයට පැමිණෙන අමුත්තන් සඳහා පාවිච්චි කිරීමට අවශ්‍ය පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු, ඇඳ ඇතිරිලි ආදී සියලුම ද්‍රව්‍යයන් බ්‍රිතාන්‍යයෙන්ම ගෙන්වන ලදි. හැඳි ගෑරප්පු, ෂැම්පේන් කප් ආදිය රත්රන් මිශ්‍රව තැනූ භාණ්ඩ බවට තවදුරටත් දැක්වේ. මේ මහා රාජකීය භෝජන සංග්‍රහය සඳහා දින වකවානු යොදාගෙන තිබුණේ 1870 අප්‍රේල් මස 22 දාටය.
අලුතෙන් තැන වූ ඇල්ප්‍රඩ් හවුස් ගාර්ඩන් නම් වූ මෙම මන්දිරයේ පැවති භෝජන සංග්‍රහය ඉතා චමත්කාර එකක් වූ බවද සඳහන් වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ප්‍රධාන රාජකීයන් වූ මෙම පිරිසගේ පැමිණීමත් සමඟ චාල්ස් හෙන්රි ද සොයිසාගේ නාමය ද රට තුළ ප්‍රචලිත වීමට හේතු විය. ඒ නිසා ඔහු ඉතා බලවත් ලෙස උඩඟු වන්නට ද ඇත.
මේ වකවානුවේ ලංකාවේ සුප්‍රසිද්ධව යන්ත්‍ර, මන්ත්‍ර ගුරුහරුකම් ගැන ඉතා ප්‍රසිද්ධියක් ඉසිලූ බත්තරමුල්ලේ සුභීත නම් හිමිනමක් ද විසූහ. උන්වහන්සේ ලවා කර ගන්නා ගුරු හරුකමක ප්‍රතිඵල කිරිගහට ඇන්නා සේ සපල වන බව ප්‍රචලිත කරුණක් විය. මෙම ස්වාමීන් වහනසේගේ ගුරු හරුකම් ශාස්ත්‍ර යන්ත්‍ර මන්ත්‍ර ගැන චාල්ස් හෙන්රි ද සොයිසාද අසා දැන සිටි මුත් ඒ පිළිබඳව ඔහු තුට්ටුවකටවත් මායිම් කළේ නැත. පිළිගත්තේ නැත. ගණන් ගත්තේ නැත.
චාල්ස් හෙන්රි ද සොයිසා දිනක් තම නව මන්දිරය වූ ඇල්ප්‍රඩ් හවුස් ගාඩ්න්හි සක්මන් කරමින් සිටියදී ගෙය ඉදිරියෙන් පාරේ වඩින බත්තරමුල්ලේ සුභීත හිමියන් දුටුවේය. ඒ සමඟම ඔහු මුත්තර බල්ලා යන්නේ යැයි කියා මේ හිමි නමට සමච්චලේට කීය. මෙය කන වැකුනු එම හාමුදුරුවෝ ඉතා කෝපයට පත්ව හා හොඳයි මම පන්සලට ගිහිල්ලා හැකි ඉක්මණින් එම මුත්තර බල්ලා එවන්නම් යැයි කියමින් වැඩියහ. මෙය සොයිසාට හරිහැටි පැහැදිලි නොවුන මුත් වත්තේ ගස් පැළවලට වතුර දමමින් සිටි සේවකයා වූ ධමරු බාස් උන්නැහැට එම ප්‍රකාශය හොඳ හැටි පැහැදිලිව ඇසුණි. බත්තරමුල්ලේ සුප්‍රසිද්ධ මෙම හාමුදුරුවන්ගේ ගුරුහරුකම් වැඩ ගැන අසා දැන සිටි ඔමරු බාස් උන්නැහේ වහා දිව ගොස් මෙම ප්‍රකාශයේ බරපතලකම සොයිසාට පැහැදිලි කර දීමට උත්සහා කළ ද එයින් ඵලක් වූයේ නැත. බ්‍රිතාන්‍යයේ රාජ තේජසින් උද්දාම වී උඩඟු වී සිටි නිසාදෝ ඒ මහණට මට කරන්ඩ පුළුවන් කෙන්ගෙඩිය මොකක්දැයි කියා උසුළු විසුලු කරමින් ධමරු බාස්ව එලවා ගත්තේය.
චාල්ස් සොයිසගේ තනි නොතනියට කුළුපගව සිටි බල්ලෙක් ගෙදර ඇති දැඩි කළේය. ඒ බල්ලා කිසි දිනක හාම්පුතා වන සොයිසා නොමැතිව රාත්‍රී කෑම පවා ගන්නේ නැතැයි කියනු ලැබේ. බල්ලා සොයිසාට එතරම්ම ආදරයෙන්, කරුණාවෙන් සිට ඇත. කාලය කෙමෙන් කෙමෙන් ගත විය. දින සති බවට පත් විය. සති එක දෙක විය. එදා මීට අවුරුදු 134කට පෙර 1890 අගෝස්තු 02 දාය. උඩුමහලේ සිටි සොයිසා පහළ මාලයට බසින තුරු බල්ලා සැමදා බලා සිටිනවාය. සොයිසා එදා ද සිතුවේ එපරිද්දෙන් තමා පහළට බසින තුරු බල්ලා බලා සිටිනවාය කියාය. ඒ සිතුවිල්ලත් සමඟ සොයිසා තරප්පු පේළියෙන් පහළට බසින්නට විය. ක්ෂණිකයෙන් සිදු වූයේ කවුරුත් නොසිතූ නොපැතූ අදහාගන්නටත් බැරි වූ විශ්මයජනක දෙයකි. සිදුවීමකි. සොයිසා පහළට බසිනවාත් සමඟම වහා ක්‍රියාත්මක වූ බල්ලා සොයිසාට පැන පැන හපා කෑවේය.
එදා සිට මාස එකහමාරකට අධික කාලයක් එකල සිටි සියලුම දක්ෂ වෛද්‍යවරු සොයිසාට වෙදකම් කළත් කිසිම සුවයක් ලැබුණේ නැත. එදා මුත්තර බල්ලා යනුවෙන් සොයිසා කළ ප්‍රකාශයත් ඊට පිළිතුරු වශයෙන් බත්තරමුල්ලේ සුභීත හිමියන් කළ ප්‍රකාශය ද විශ්වාස කළ සමහරු මේ බල්ලාගේ සපා කෑම ඒ නිසා සිදු වූයේ යැයි සිතා ඒ හිමිගෙන් සමාව අයදීමට යෝජනා කළ ද සොයිසා එයට ද එකඟ වූයේ නැත. මෙසේ කෙමෙන් කෙමෙන් කාලය ගත විය. සොයිසා සෝභිත හිමියන්ගෙන් සමාව ගැනීම තමන්ගේ තත්ත්වයේ හැටියට තමාගේ ගාම්භීරත්වයට යටත් වීමක් හෝ මදි පුංචිකමක් වේ යැයි සිතා කැමති වූයේම නැත. ඔහුගේ රෝගී තත්ත්වය එන්ට එන්ටම උත්සන්න විය. ගරු ගාම්භීරව, කිසිවෙකුට නොදෙනිව ජීවත් වූ සොයිසා එන්ට එන්ටම අබල දුබල විය. වාරු නැති විය.
දරුවන් පහළොස් දෙනෙකුගේ හා ඒ දරුවන් අතරින් වෛද්‍යවරුන් වූ දරුවන් හතර පස් දෙනෙකුගේ ද පියෙකු වූ ලංකාවේ එකල ඉතා ගරු ගාම්භීරව, බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් හා සමානව ජීවත් වූ මහා ධානපති ලංකාවේ පහළ වූ අනේපිඬු සිටුතුමා යැයි කිව හැකි චාල්ස් හෙන්රි ද සොයිසා 1890 සැප්තැම්බර් මස 29 දින මෙලොව අතහැර සදහටම දෙනෙත් පියා ගත්තේය. මෙසේ මෙම මරණය සිදුවීම බත්තරමුල්ලේ සුභීත හිමියන්ගේ බලු පිල්ලියේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක් බව එකල බොහෝ දෙනාගේ මතය හා පිළිගැනීම වූහ.
පසුගිය සැප්තැම්බර් මස 29 දිනට එතුමා අභාවප්‍රාප්ත වී පුරා වසර 134ක් සම්පූර්ණ විය. මෙතුමාගේ පිළිරුවක් (ස්මාරකයක්) කොළඹ ඇස්වාට්ටුව හන්දියේ පිහිටුවා ඇත.
ටෙනිසන් චන්ද්‍රපාල සිල්වා