ළමයින් සඳහාම වූ කලා භාවිතයක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ, එස්. මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා වැනි කිවිඳුන් ළමා ලෝකය සහ ළමා සිතිවිලි මනාව වටහාගෙන ළමා මනසට යෝග්‍ය වන කාව්‍ය නිර්මාණ සේම මාර්ටින් වික්‍රමසිංහයන්, ටී. බී. ඉලංගරත්නයන්, කුමාරතුංග මුනිදාසයන්, ජී. බී. සේනානායකයන් වැනි සාහිත්‍යවේදීන් රචනා කළ නවකතා සහ කෙටිකතා ඇසුරෙනි.
එසේම, ළමාපිටිය වැනි ගුවන්විදුලි වැඩසටහන් මඟින් විකාශනය වූ ළමා ගීත රාශියක් ශ්‍රවණය කිරීම සඳහා ළමයින්ට අවස්ථාව සැලසුන අතර, දක්ෂතාවෙන් යුත් ළමයින්ට එවැනි වැඩසටහන්වලට සහභාගිවීම සඳහා අවකාශ ලැබිණ. එසේම, 1940 ගණන්වල සිට සිංහල විෂයට අනුබද්ධ පාසල්වල ළමා නාට්‍ය නිෂ්පාදනය සිදුවිය. එතෙකුදු වුව, මෙම ළමා නාට්‍යවල පෙළ රචනා, නූතන ළමා මනෝවිද්‍යාවට අනුකූලවන, ළමා මනසට ගැළපෙන තේමාවන් හා සංකල්පයන්ගෙන් යුක්ත නොවූ රචනා බව පැහැදිලිය. මෙහි සිදුවූයේ වැඩිහිටියන්ගේ කතා ළමයින් ලවා රඟදැක්වීමය. මෙය ළමයින්ගේ පෞරුෂ වර්ධනයට හානිකර ව්‍යාපාරයක් බව ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධන මහතා 1969 වසරේ නිකුත් වූ ‘රූපණ’ සඟරාවේ පළ කළේය.
56 සිදුවූ දේශපාලන පෙරළිය සමඟ, සංස්කෘතික අමාත්‍යාංශය 1958 වර්ෂයේ පිහිටුවීමෙන් අනතුරුව, ප්‍රථමවරට රාජ්‍ය නාට්‍ය උලෙළ, ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ 1959 දී පවත්වනු ලැබීය. ළමයින් සඳහා ළමා නාට්‍ය නිර්මාණය කිරීමේ දී නාට්‍ය ශිල්පය පිළිබඳ දැනුම සහ කුසලතාව තිබීම පමණක් ම නොසෑහේ. අධ්‍යාපන විද්‍යාව හා ළමා මනෝ විද්‍යාව පිළිබඳව, නාට්යපෙළ නිර්මාණය කරන්නා වෙත, මනා පරිචයක් තිබිය යුතුය.
ලංකා විශ්වවිද්‍යාලය තුළ ඇති වූ නාට්‍ය ප්‍රවාහය සහ සරච්චන්ද්‍රයන්ගේ පර්යේෂණාත්මක නාට්‍ය බිහිවීම සමඟ, ශ්‍රී ලංකාව තුළ නාට්‍ය කලාව හා සම්බන්ධව සිදු වූ විචාරාත්මක ප්‍රකාශන සහ සම්මන්ත්රණ හේතුවෙන් නාට්‍යකරණය කෙරෙහි, පාසල් ගුරුවරුන්ගේ අවධානය යොමු විය.මෙසේ ළමා නාට්‍ය කලාවේ විකාශනය කෙරෙහි බලපෑ පාසල් සංඛ්‍යාවක් බිහිවිය.
ළමා නාට්‍ය නිෂ්පාදනය සඳහා පාසලෙන් සිදූවූ මෙම පිබිදීම හේතුවෙන් 1962 වර්ෂයේ සිටද, අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟයක් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කළේය. එමඟින් උසස් නාට්‍ය රචනා සහ නිෂ්පාදනය සේම, කැපී පෙනන දක්ෂතා සහිත නාට්‍යකරුවන් සේ ම, රංගන හැකියාවෙන් යුත් නාට්‍ය ශිල්පීශිල්පීනියන් බිහිවිය.
එම නාට්‍ය නිර්මාණ අතරට, හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ හේමසිරි ලියනගේ නිර්මාණය කළ ‘ සුදු ඇතා ආවට පස්සේ’ චන්ද්‍රසේන දසනායකගේ ‘ආඬි ටිකයි අම්බලමයි’, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සුනිල් ශ්‍රියානන්දගේ ‘අස්ප ගුඩුං’ සහ ‘එහෙම වුණත් මුදලිතුමා’ යන නාට්‍ය, ගැනේ.
ළමා නාට්‍ය කලාව සම්බන්ධව බටහිර රටවල ඇති වූ ප්රබෝධය , දේශීය ළමා නාට්‍ය කලාව කෙරෙහි බලපෑම් කළේ, 1975 වසරේ ගාමිණී විජේසූරියගේ අධ්‍යක්ෂණයෙන් බිහි වූ ‘ළමා හා යොවුන් නාට්‍ය ආයතනය’. (institute of theater for children and youth) මඟිනි. එහිදී නූතන ළමා නාට්‍ය කලාව පිළිබඳ විශේෂඥයෙකු වූ ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නෝබට් ජේ මයර්, ශ්‍රී ලංකාවට පැමිණ නූතන නව සංකල්ප යටතේ ජර්මන් බසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ, ‘ෂ්ටොකර්ලොක් ඈන්ඩ් සමිලිපිලි’
(Shotokkerlock and Millipili) නමැති ළමා නාට්‍යය, ‘ටිකිරි මැණිකේ’ නමින් සිංහලයට අනුවර්තනය කළ චන්ද්‍රසේන දසනායක, නොබට් ජේ මයර් සමඟ , සම අධ්‍යක්ෂණයෙන් නිෂ්පාදනය කර, 1973 දෙසැම්බර් මස 23 දින ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී, වේදිකාගත කළේය. මෙම නාට්‍ය සිංහල ළමා නාට්‍ය නිර්මාණ ක්ෂේත්රයේ අතිප්රබල සංධිස්ථානයකි.
ළමා නාට්‍ය වංශකතාවේ තවත් ප්‍රබල සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක්කේ, 1976 වර්ෂයේ ළමා හා යොවුන් නාට්‍ය ශාලිකාවේ ආරාධනයෙන් මෙරටට පැමිණි නැෙඟනහිර ජර්මනියේ ලයිසිප්සිග් යන ළමා නාට්‍ය ශාලිකාවේ අධ්යක්ෂ, ඔටෝ කෑල සමඟ එක්ව චන්ද්‍රසේන දසනායක ‘ටිය හොර්ෂන් ‘ නමැති ජර්මන් බසින් රචිත නාට්‍ය, ‘සත්තුන්ගේ පුංචි ගෙදර’ නමින් නිෂ්පාදනය කර වේදිකාගත කිරීම ය.
මෙම නාට්‍ය දෙක ම වැඩිහිටියන් විසින් ළමුන් සඳහා රඟ පෑ නාට්‍ය නිර්මාණ වේ. ‘නරි බෑනා, සඳකිඳුරු, ආඬි ටිකයි අම්බලමයි, සුදු ඇතා ආවට පස්සේ’ යන නාට්‍ය, ළමා නාට්‍ය මෙන් හැඳින්වූවද, ඉහත ජර්මන් ජාතික විශේෂඥයින් දෙදෙනාගේ නිර්මාණ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමා නාට්‍ය ලෙස හැඳින්විය හැකි බව සෝමලතා සුභසිංහ ගේ, ‘රංගකලා කාර්යසාධනය, නමැති කෘතියේ සඳහන් වේ.
1996 වර්ෂයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ජාතික කලා මණ්ඩලය යටතේ පිහිටුවනු ලැබූ ළමා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ධූරයට පත් වූයේ, ශ්‍රී ලාංකේය ළමා නාට්‍ය කලාව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටු කළ, චන්ද්‍රසේන දසනායක ය. එම වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ වාර්ෂිකව පැවැත්වූ නමුදු, විවිධ හේතුන් සහ කොරෝනා උවදුර හේතුකොට ගෙන 2020 වසරේ සිට 2023 වසර දක්වා ළමා නාට්‍ය උලෙළ පැවැත්වීමට නොහැකි විය. වසර පහකට පසුව 2024 වසරේ පවත්වනු ලබන්නේ, 24 වන ළමා නාට්‍ය උලෙළ ය.
මෙවර ළමා නාට්‍ය උලෙළ සඳහා ලංකාවේ සියලුම පළාත් නියෝජනය කරමින් පාසල් මට්ටමේ සීමිත සහ විවෘත අංශ යටතේ සිංහල – දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් , නාට්‍ය පිටපත් එකසිය පනහක සංඛ්‍යාවක් (150) ලැබිණ. මෙහි පළමු වටයේ සීමිත අංශය සඳහා, නාට්‍ය පිටපත් 78ක්ද, විවෘත අංශය සඳහා නාට්‍ය පිටපත් 72ක් ලැබුණු අතර, එයින් දෙවන වටයේ සීමිත අංශය සඳහා පිටපත් 51ක්ද, විවෘත අංශය සඳහා පිටපත් 47ක්ද, තෝරා ගනු ලැබිණ.
එම නාට්‍ය පෙළ රචනාව අනුව නිර්මාණ වූ නාට්‍ය අතරින් අවසාන වටය සඳහා, සීමිත සහ විවෘත යන අංශ දෙකෙන් නාට්‍ය නිර්මාණ 12 බැඟින් නාට්‍ය 24ක්, තෝරාගෙන තිබේ. මේ අනුව අවසන් වටය නියෝජනය සඳහා සිංහල සීමිත සහ විවෘත අංශ සඳහා නාට්‍ය දොළහ (12) බැගින් නාට්‍ය විසිහතරක් (24)ක්ද, දෙමළ සීමිත අංශය සඳහා නාට්‍ය තුනක් (03) සහ විවෘත අංශය සඳහා නාට්‍ය ( 07)ද, ඉංග්‍රීසි සීමිත අංශය සහ විවෘත අංශය සඳහා නාට්‍ය තුන (03) බැඟින් නාට්‍ය හයක් (06) ද, අවසන් වටය සඳහා තෝරාගෙන තිබේ. මේ අනුව භාෂා ත්‍රිත්වයෙන්, ළමා නාට්‍ය හතළිහක් (40) වර්ෂයේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ -2024 සඳහා තෝරාගෙන තිබේ.
ඔක්තෝබර් මස 01 වන දින සිට ඔක්තෝබර් මස 10 දිනය දක්වා එක් දිනයක සිංහල නාට්‍ය 2ක් සහ දෙමළ සහ ඉංග්‍රීසි නාට්‍ය එක බැගින් නාට්‍ය 4ක්, මරදාන ටවර් හෝල් රංග ශාලාවේ සවස 4 සිට, ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකිය.
සම්මාන උලෙළේ, හොඳම සිංහල, දෙමළ, ඉංග්‍රීසි නාට්‍ය නිර්මාණය, හොඳම නිෂ්පාදනය, හොඳම නාට්‍ය පිටපත, හොඳම නළුවා සහ නිළිය,හොඳම සහාය නිළිය සහ නළුවා, හොඳම සංගීතය, හොඳම වේදිකා පරිපාලනය සහ අලංකරණය, හොඳම ආලෝකය, හොඳම රංග වින්‍යාසය යන සම්මාන , භාෂා ත්‍රිත්වය අනුව පිරිනැමෙන අතර, උලෙළේ හොඳම නාට්‍ය නිර්මාණය සහ නිෂ්පාදනය සඳහා වන සම්මාන පිරිනැමීම, එළැඹෙන දිනයක උත්සවාකාරයෙන් සිදු කෙරේ.
උලෙළේ නාට්‍ය කිහිපයක ඡායාරූප මෙහි වේ.
උදේනි චන්ද්‍රසිරි