අනුරාධපුරය දිස්ත්‍රික් මායිමේ ගල්ගමුව නගරයට ඔබ්බෙන් පිහිටි සුප්‍රකට රැස්වෙහෙර විහාරස්ථානයට වන්දනාකරුවන් එන සමයට නෙළුම් මල් ටිකක්, දිවුල්, අඹ, පේර, මාදං ආදි පළතුරක් විකුණා කීයක් හෝ උපයා ගැනීමේ අවස්ථාව යාබද ගැමි ලියන්ට උදාවේ. එහෙත් එය එතරම් සරු වෙළෙදාමක් නොවන්නේ පොහොය දිනයකට හැරුණු විට සති අන්තයේ හෝ එතරම් පිරිසක් මෙහි නොඑන බැවිනි.
වෙසක්, පොසොන් සමයේ ජනයාගෙන් පිරී යන මේ බිම ඉන් බැහැර බොහෝ දිනවලදී පාළු පෙතකි. විසල් රැස්වෙහෙර බුදු රුවට යන පියගැට පෙළ පාමුල රුක් සෙවණකට වී ඔවුහු වන්දනාකරුවන් එන තෙක් මඟ බලති. සිය වෙළෙඳාම සිදුකර ගැනීම සඳහා කුඩා වෙළෙඳ කුටියක්වත් නොවීමෙන් මේ ගැමි ලියෝ අව්වෙන්, වැස්සෙන් පීඩා විඳිති.
පැණි කොමඩු, වෙරලු, මුරුංගා ආදී යමක් විකුණා ගැනීමට වෙහෙසෙන “එම්.ඩබ්ලිව්. ශාමලි” පැවැසුවේ මෙවැන්නකි.
“පොඩි වැස්සක් හරි වහින කොට හැමදේම තෙමෙනවා. අපිට ලොකු දෙයක් ඕනෙ නෑ, මේ වෙළෙඳාම කරගන්ඩ පොඩියට පෙට්ටි කඩ කෑල්ලක් හරි හදලා දෙන්ඩ පුළුවන් නම් ලොකු දෙයක්. ඔය අකුලන ලොකු කුඩයක් වගේ දෙයක් වුණත් තමක් නෑ. අපිට එහෙම දෙයක් කරගන්ඩ තරම් හයියක් නෑ. එහෙමට කියලා ආදායමකුත් නෑ. නිකන් මෙහෙම තියාගෙන වෙෙළඳාම් කරද්දි රිලවුන්ගෙන් බේරගන්ඩ හරි අමාරුයි.”
මෙහි සිට කිලෝ මීටර් දහයක් පමණ ඔබ්බෙන් කලා වැව අබියස අවුකන විහාරස්ථානය පිහිටා තිබේ. මෙතෙක් මෙරටදී හමුව ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු විශිෂ්ට කලා ප්‍රතිභාවක් සහිත හිටි පිලිම වහන්සේ අරඹයා අවුකන විහාර බිම ලෝ පතලව තිබේ. රැස්වෙහෙර අවධානයට ලක්වනුයේ අවුකන ප්‍රතිමාවට සමාන වන සේ මෙහි නිමවා ඇති බුද්ධ ප්‍රතිමාව හේතුවෙනි. අවුකනට පැමිණෙන වන්දනාකරුවන්ගේ අනිවාර්ය ගමනාන්තයක් බවට කලක් රැස්වෙහෙර පත්ව තිබුණද විවිධ උපද්‍රව හේතුවෙන් දැන් එය මගහැරී තිබේ. අලි මඟ අවුරන්නේය යන කටකතා ද මෙහි පැමිණෙන පිරිස අඩු වීමට හේතු වී ඇත. ප්‍රවේශ මාර්ගයේ ඇති දුබලතා ද ඊට හේතුවකි.
සුනන්දා ජයවතී ද සිය දුක්, කඳුළු පිළිබඳ මෙසේ කරුණු කීවාය.
“ අලි හිටියට වන්දනාවේ එන අයට නම් උන්ගෙන් කරදරයක් නෑ. ලොකුම දේ වෙලා තියෙන්නේ අවුකන පැත්තේ ඉඳලා මෙහෙට එන්ඩ තියෙන පාර කැඩිලා විනාශ වෙලා නිසා ගොඩක් අය කැමැති නෑ කැඩිච්ච පාරේ මෙතැනට එන්ඩ. නැත්නම් ඉස්සර අවුකනට ආපු හැම කෙනෙක්ම රැස්වෙහෙරටත් ආවා. අවුකන, රැස්වෙහෙර වඳින්ඩ යනවා කියලනේ කිව්වේ. ඒත් දැන් ඉරිදා, සෙනසුරාදා දවස්වලටවත් ලොකු පිරිසක් එන්නේ නෑ. ඉඳලා හිටලා බස් එකක් දෙකක් එනවා ඇරෙන්ඩ.”
රැස්වෙරෙ විහාරයට යාබද, පොතානේගම, කත්නෝරුව, කරුවලගස්වැව ආදි ගම්මැදිවල ඇතැම් කාන්තාවන් වසර ගණනාවක් මෙසේ වෙළෙදාමේ නියුතුව දිවි සටන ගෙන ගොස් තිබේ. එහෙයින්ම ඔවුනට මෙයින් අත්මිදීම පහසු කරුණක් නොවේ. මේ සාවියේ ගැමියන්ගේ දවස ගෙවී යනුයේ හේන් වගාවටය. ඒ කටුක ජීවන පෙවෙතට යම් පමණකට හෝ සරණක් වී ඇත්තේ මේ කුඩා වෙළෙඳාම පමණකි.
සිය දිවිසැරිය පිළිබදව “චාන්දනි සිරියලතා” පැවසුවේ මෙවැනි අදහස් පෙළකි.
“ මෙතැන වෙළෙඳාම් කරපු ගොඩක් අය දැන් ඒ වැඩේ අත්ඇරලා දාලා තියෙන්නෙ, වෙළෙඳාමක් නැති හින්දම. අපි කීප දෙනෙක් තමයි මෙතැනට වෙලා කීයක් හරි හොයාගන්ඩ බලන්නේ. මං දැන් අවුරුදු දහයක් විතර තිස්සේ පලතුරු, මුං, කව්පි වගේ දේවල් විකුණනවා. සමහර දේවල් ගමෙන් හොයාගන්නවා. තව දේවල් අපි සල්ලි දීලා අරන් එනවා. සමහර එළවළු, පලතුරු දවස දෙක යනකොට සවුත්තු වෙනවා. එතකොට අහක දාන්ඩ වෙනවා. මනුස්සයෙක් මෙතැනට එනව නම් අපෙන් මොනව හරි ගන්නවා. “
මේ කුඩා වෙළෙඳාම ඔවුනට හාල්, තුනපහ ගැනීමට උදව් වේ. ගල්ගමුවේ සිට රැස්වෙහෙර පන්සල තෙක් දවසට දෙවතාවක් දෙගම්මැදි යා කරමින් ලංගම බසයක් මේ මඟ ගෙවයි. එය ද සමහර දවසකට එක් ගමන් වාරයකට සීමා වෙයි. මෙම බුදු පිළිමය පිළිබඳ විවිධ ජනප්‍රවාද මේ ප්‍රදේශයේ ජනතාව අතර පවතී. එයින් එකක් වන්නේ රැස්වෙහෙර පිළිමය අව්කන බුදු පිළිමයට පෙර සාදන ලද බවයි. මෙහි පිළිමය නිර්මාණය කිරීමේ දී මෙම පර්වතය ඒ සඳහා සුදුසු නොවු හෙයින් අතරමග අතහැර ගොස් අව්කන බුදුපිළිමය නෙලන්නට ඇතැයි යන්න තවත් ජනප්‍රවාදයකි.
මේ සියලු ජන විශ්වාසයන් ද කලකදී මෙබිමෙහි සංචාරක ආකර්ෂණය වැඩි වීමට හේතු විය. එහෙත් මෙහි ජන දුක නිවැරැදිව ලැයිස්තුගත කරන්නට ගමට එන රාජ්‍ය නිලධාරින්ට හෝ දේශපාලකයන්ට තවමත් හැකිවී නැති බව රැස්වෙහෙර ගැමිලියන්ගේ අදහසයි.
තඹුත්තේගම විශේෂ - ඩබ්ලිව්.ප්‍රදීප්