Home » හෘදය සාක්ෂියට ඉබි යතුරු දමාගත් උපදේශක සේනාව

හෘදය සාක්ෂියට ඉබි යතුරු දමාගත් උපදේශක සේනාව

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

පසුගිය බදාදා මුහුණු පොතේ හතර අත විසිරුණු පාසල් දැරියකගේ කුස ගින්නේ කතාව ඔබ දුටුවා ද? ඒ දැරියගේ කතාව ඔබට ඇසුණා ද? මේ කුස ගින්න පිළිබඳ කතාව එකී දැරියට පමණක් සීමාවූවක් ද? තම කුසගින්න සැමගෙන් සඟවා ගෙන අකුරු කරන දරුදැරියන් තවත් කොපමණ වෙත් ද?

පොළොවේ පවතින යථාර්ථය එසේ වෙද්දී රට කළඹවමින් ගාලුමුවදොර පිටියෙන් අපේ ඇස් ඉදිරිපිට දිස්වූයේ කුමන දර්ශනයක් ද? මේසා සුඛෝපභෝගී වාහන යායක් පරිහරණය කළෝ කවරහුද? කුස ගින්නේ පාසල් එන දරුදැරියෝ සිටින රටක, ඇල්වතුරට සීනි හැන්දක් දමා පානය කර කුසගින්න මදකට නිවා ගන්නා දරුදැරියන් සිටින රටක පාලකයෝ රට පාලනය කර ඇත්තේ කොතරම් නිහින ලෙස ද?

ජනාධිපතිවරයාට තම රාජකාරී කටයුතු පහසු කර ගැනීමට සහායකයන් එක්කර ගැනීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(අ) අනුව්‍යස්ථාවෙන් ලබාදී ඇති බලය ඔහු පාවිච්චි කර ඇත්තේ කවර කාරණයක් පිණිස ද?

සියයකට ආසන්න තම සහචරයෝ පිරිසක් විවිධ උපදේශකයෝ,අධ්‍යක්ෂ ජනරාල්ලා, අධ්‍යක්ෂකලා ලෙස නාමකරණය කර පත්කර ගෙන ඇත්තේ පොදු මහජන සුබසිද්ධිය පිණිසද? ඒ සියල්ලෝ ජනාධිපතිවරයාගේ පුද්ගලික දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම සඳහා පත්කර ගත්තෝ වෙති. ඒ වෙනුවෙන් ඔවුන්ට ඉහළ වැටුප්,දීමනා,කාර්ය මණ්ඩල, වාහන ඉන්ධන, රියැදුරන් ඇතුළු අනේක පහසුකම් සපයා ඇත්තේ රටේ මහජන බදු මුදලින් පිහිටුවා ඇති රජයේ එකාබද්ධ අරමුදලෙනි.

මේ උපදේශක පිරිස් කවුද? ජනාධිපතිවරයාට ඒ ඒ විෂයන් යටතේ උපදෙස් ලබාදීම සඳහා ඔවුන්ගෙන් බහුතරයකට ඇති විෂය විශේඥ දැනුම කුමක් ද? ඔවුන් විවිධ නාමමාත්‍රික උපදේශක පට්ටම් වෙනුවෙන් ගෙවුණු වසර දෙකහමාර තුළ මහජන බදු මුදලින් ලබා ඇති වරප්‍රසාද කවරේද යන්න බදු ගෙවන ජනතාව දැනගත යුතු නොවේ ද? දැනට රටේ ජනතාව දැන සිටින්නේ ඔවුන් පරිහරණය කළ සුඛෝපභෝගී වාහන කන්දරාව ගැන පමණි.

මේ වාහන නඩත්තු කිරීමට රජය කොතරම් වැය බරක් දරන්නට ඇද්ද? ඒවායේ රියදුරන්ට වැටුප අතිකාල දීමනා සඳහා කොතරම් වැයක් දරා තිබේද? ඒ වෙනුවෙන් මේ උපදේශකයන් , අධ්‍යක්ෂ ජනරාල්ලා , අධ්‍යක්ෂකලා පෙරළා මහජනතාව වෙනුවෙන් කරන ලද කාර්යභාරය කවරෙක්ද? සියයකට ආසන්න මේ උපදේශක සේනාවට ඈදා තිබුණු තනතුරුවලින් හාස්‍යජනක තනතුරු කිහිපයක් පමණක් මෙහි සටහන් කිරීම වටියි. මන්දයත් අදාළ පුද්ගලයෝ එම තනතුරුවලට අනුව රටට කර ඇත්තේ කුමක්දැයි රට වැසියන් දැනගත යුතු නිසා වෙනි.

ජනාධිපති අධ්‍යක්ෂකලා අතුරින් වැඩිම අධ්‍යක්ෂකලා පිරිසක් සිට ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ ය. ප්‍රමාණය විසි දෙනෙකුටත් වැඩි පිරිසකි. ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයකවත් මේ තරම් මාධ්‍ය අධ්‍යක්ෂකලා නැත.

අකිල විරාජ් කාරියවසම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමධ්‍යගත පරිපාලන, රුවන් විජයවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණික විපර්යාස, අංශු මාරසිංහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු කටයුතු ලෙස වසර 35ක් පමණ පාර්ලිමේන්තු අත්දැකීමක් ඇති රනිල් වික්‍රමසිංහ වසර පහක අත්දැකීමක් ඇත්තකු උපදේශක කරගෙන තිබේ.

රෝසි සේනානායක ජනාධිපති උපදේශක පළාත් සභා කටයුතුවන අතර වසර දහයකට ආසන්න කාලයක් පළාත් සභා ක්‍රියාත්මක වී නැත. වඩිවෙල් සුරේෂ් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීම, ආර්.එස්.එස්. සමරතුංග ජනාධිපති උපදේශක ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය, නිරංජන් ජෝසප් දේවා ආදිත්‍ය ජනාධිපති උපදේශක යුරෝපා ආසියානු අප්‍රිකානු කැරිබියන් සහ පැසිපික් රටවල් සහ බ්‍රිතන්‍ය කටයුතුය.

ඉහත සඳහන් කළේ උපදේශක තනතුරු කිහිපයක් පමණි. පත්කර ඇති උපදේශකයෝ අනූදෙදෙනාගේම තනතුරු මෙහි සටහන් කළොත් ඔබේ හාස්‍යය ඉහවහා යනු ඇතැයි අපි සිතමු.

රටක් සිය ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර, ගෙවිය යුතු ණය ගෙවීම 2027 දක්වා දීර්ඝ කර ඇති තත්ත්වක් තුළ ඉහත කෙරුවාව විගඩමක් නොවේ ද? එක් පිරිසකගේ බල ව්‍යාපෘතියක් වෙනුවෙන් අපහසුවෙන් රැස්කර ගත් මහජන බදු මුදල් අනිසි ලෙස වැය කිරීම කොතරම් නීච ක්‍රියාවක් ද?

කාටුන් චිත්‍රය : ගයාෂාන් ඇල්පිටිය 

පෝද්දල ජයන්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division