Home » ලෝක ළමා දිනය දා ලෝකයේම අම්මලා හැඬවූ තායිලන්තයේ ඛේදාන්තය

ලෝක ළමා දිනය දා ලෝකයේම අම්මලා හැඬවූ තායිලන්තයේ ඛේදාන්තය

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

දා ඔක්තෝබර් පළමුවෙනිදා ය. ළමයින් ගේ දවසය. එක මොහොතකට ලෝකයේම අම්මලාගේ හුස්ම සිරවිය. ලෝක ළමා දිනය දා අධ්‍යාපන කෂේත්‍ර චාරිකාවක් ගිය පොඩි වුන් 20ක් ගුරුවරියන් 03ක් සමඟ බස් රථයක් තුළ පිළිස්සී මිය ගොස් තිබිණි. මේ අනතුරට ලක්වන්නේ තායිලන්තයේ ඈත ග්‍රාමීය පාසලක දරුපැටවුන් සහ ගුරුවරියන් පිරිසකි. දරුවන් සම්බන්ධ සිද්ධියක් ලෝකයේ කොතැනක සිද්ධ වුණත් දේශ සීමා මායිම් බිඳ ගෙන පැමිණ අම්මලාගේ හදවත් ගිනි ගත්තාහ. කවදාවත් මේ දරුවන් ගැන අසා නොතිබුණු ඒ අම්මලා තවමත් ඒ ගිනිමත දැවෙති.

සිද්ධිය

තායිලන්තයේ උතායි තානි පළාතේ වට් ඛෝ ප්‍රයි සන්ග්ඛාරම් පාසල පිහිටා තිබෙන්නේ තායිලන්තයේ බැංකොක් අගනුවරට කිලෝමීටර 300ක් දුරිනි. එහි සිට ලෝක ළමා දිනය දා අධ්‍යාපන ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා පැමිණෙමින් සිටි පොඩි වුන් 39ක්, ගුරුවරුන් හය දෙනෙක් සහිත බස් රථයක් තායිලන්තයේ අගනුවර වූ බැංකොක් නුවරට උතුරු තදාසන්න ප්‍රදේශයක් වන පැතුම් තානි පළාතේ අධිවේගී මාර්ගයක දී ගිනි ගෙන දැවෙන්නේ ය.

මේ දරු පැටවුන්ගේ අරමුණ වී තිබුණේ ලෝක ළමා දිනය ඵලදායී ලෙස සැමරීමටය. ඒ සඳහා උතුරු බැංකොක්හි අයුත්‍යා සහ නොන්තබුරි පළාත්වල විද්‍යා කෞතුකාගාරය නිරීක්ෂණය කිරීමට මේ පිරිස පැමිණෙමින් සිටියහ.

දීර්ඝ ගමනක පළමු අදියර නිමා කිරීමට ආසන්නව තිබිය දී අනපේක්ෂිත ලෙස බස් රථයේ ඉදිරි රෝදය පුපුරා යන්නේය. පාලනයෙන් ගිලිහුණු රථය අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් පුවරුවක ගැටෙන්නේය. එක් වරම මහා ගින්නක් මතුව බස් රථය වසා ගන්නේය. බස් රථය දරු පැටවු පණපිටින් ආදාහනය කරන ආදාහනාගාරයක් වූ ආකාරය සහිත වීඩියෝ දර්ශන අන්තර්ජාතික මාධ්‍ය විසින් වාර්තා වීමට පටන් ගන්නේ ජාති ආගම් භේදයකින් තොරව සියලු අම්මාවරුන් හඬවමින්ය. තට්ටු දෙකක බස් රථය වසාගෙන පැතිරී බුර බුරා නැඟෙන ගිනිදැල්ය. මහා කළු දුමාරයකින් හාත් පස වැසී ඇත. ගින්න මැඬ පැවැත්වීමට වෙර දරන තැති ගත් මිනිස්සුය. පිලිස්සෙන බස් රථයට ඇතුළුවන්නට හැකිවන විට හඳුනාගත නොහැකි සේ පිලිස්සී දැව කොටන් සේ දිස්වන පොඩි උන්ය. ඒ දර්ශන දුටු දුටුවෝ ඒ ගින්නෙන් පිලිස්සුණු තරම් කම්පාවට පත්වූහ.

දරුවන් 20 දෙනෙක් ගුරුවරියන් 03ක් පිලිස්සී මිය ගොස් තිබිණි. ඔවුන් අවුරුදු 3 සිට 15 දක්වා වයස්වල පසුවූහ. සිසුන් 19ක් සහ ගුරුවරියන් 3ක් ජීවිත බේරා ගෙන තිබිණි. එයින් 16 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. ඒ අතර බරපතළ තත්ත්වයේ පසුවන තිදෙනෙකි. ඉන් දෙදෙනකුගේ තත්ත්වය බෙහෙවින්ම අසාධ්‍ය බව ප්‍රාදේශීය මාධ්‍යවල සඳහන් වී තිබිණි. මුහුණ බරපතළ ලෙස පිලිස්සී ගිය දැරියකගේ පෙනීම බේරා ගැනීමට වෛද්‍යවරු මේ මොහොතේත් සටනකය.

ඇසින් දුටුවන් කී කතාව

තට්ටු දෙකේ බස් රථයක් එක් වරම රථයේ ඉදිරිපස ටයරයක් පුපුරා ගොස් එය පාලනයෙන් ගිලිහී වාහනය අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් පුවරුවක වැදී ඇති බවත් ඇසින් දුටුවෝ කීහ.

“ඒ සමඟම විශාල ගින්නක් හටගත්තා…“ සාක්ෂිකරුවෙක් බීබීසිය වෙත පවසා තිබිණි. “දරුවෝ කෑ ගහනවා ඇහුණා. කීප දෙනෙක් පැනගත්තා. ගොඩාක් දෙනකුට ඒ ගින්නෙන් බේරෙන්න බැරිවුණා. දරු පැටවු රොත්ත පිටින් ඒ ගින්නෙන් පිච්චෙමින් හිටියා. ” ඇසින් දුටුවන්ගේ කතා විදේශ මාධ්‍ය වාර්තා කළේය.

මේ මහා ගින්න ඇවිළෙද්දී බස් රථයේ රියදුරු පලා ගොස් තිබිණි. මේ වැනි අශිෂ්ටයින් අපේ රටේ පමණක් නොව, තායිලන්තයේදීත් හමුවන්නේය. ආසියාතික නොහික්මුණුකම පිළිබඳ අමානුෂික කතාවක ගැඹුර ලෝකය දැක්කේය.

කෙසේ වෙතත් අනතුර සිදුවී පැය කීපයක් ගතවෙද්දී පෙර බස් රථයේ රියදුරු සමන් චන්පුත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ රියැදුරා පොලිසියට පවසා ඇත්තේ වෙනත් වාහනයකින් ගිනි නිවන උපකරණයක් ලබා ගැනීමට තමා දිව ගිය නමුත් කිසිදු උපකාරයක් ලබා ගැනීමට පෙර ගින්න පාලනය කිරීමට නොහැකිවූ නිසා කලබල වී පලා ගිය බවය.

අපරික්ෂාකාරී රිය පැදවීමෙන් මරණ හා තුවාල සිදුකිරීම, අන් අයට උපකාර කිරීම සඳහා නතර නොවීම සහ අනතුර වාර්තා නොකිරීම යන චෝදනා යටතේ ඔහුට නඩු පවරා ඇති බව පොලිසිය කීවේය.

ගින්න ඇතිවූ හැටි

පළාතේ වැඩබලන පොලිස් ප්‍රධානී කිත්තිරත් පැන්ෆෙට්ය. ඔහු පැවසුවේ වාහනය බල ගන්වා තිබුණේ භාවිත කරන ගෑස් සිලින්ඩරය දැල්වූ පිපිරුණු ටයරයේ ඇති වූ ගිනි පුපුරක් නිසා මේ ගින්න හටගෙන ඇති බවයි.

අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස් ප්‍රධානී කිත්තිරත් පැන්ෆෙට් පැවසුවේ රියදුරා අධික වේගයෙන් රිය ධාවනය කර නැති බවය. නමුත් වාහනය බල ගැන්වීමට භාවිත කර ඇත්තේ නිසි ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් තොරවන අතිශය අන්තරාකාරී ස්වභාවික සම්පීඩක වායුවක් බවය. ගෑස් කැනිස්ටර් 06ක් පමණක් සවි කිරීමට බලපත්‍ර තිබූ රථය තුළ ගෑස් කැනිස්ටර් 11ක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

ටයරය පිපිරීමෙන් පසු කොන්ක්‍රීට් පුවරුවක ගැටෙන වාහනයේ ඝර්ෂණයෙන් පිටවුණු ගිනි පුපුරක් සම්පීඩක ගෑස් සිලින්ඩරයකට ගැටීමෙන් ගින්න එක්වර ඇවිළී බස් රථය වසාගෙන පැතිරී තිබිණි. බස් රථයේ හදිසි පිටවීමේ දොරටු මේ අවස්ථාවේ දී නිසි ආකාරව ක්‍රියාත්මක වූයේ ද යන්න ගැටලුවක් බවත්, බස් රථය තුළ හදිසි අවස්ථාවක දී ජනෙල් කඩා දමන උපකරණ නොතිබුණු බවත් පොලිසිය වාර්තා කළේය. එහෙත් බස් රථ හිමි සමාගම පැවසුවේ සිය බස් රථය නිසි ආරක්ෂණ පිරිවිතරයන් අනුගමනය කර ඇති බවට රජය විසින්ම සහතික කර ඇති බවය.

තායිලන්තයම මළගෙයක්

මේ ලියන මොහොත වන විට තායිලන්තයම මළගෙයකි. දශකයක කාලයක් ඇතුළත තම රටේ සිදුවූ බිහිසුණුම රිය අනතුරින් ජීවිතය අහිමිවුණු දරුවන් සිහිකරමින් තායිලන්තයේ සෑම පාසලක්ම බ්‍රහස්පතින්දා සුදු මලෙන් සරසා තිබිණි. ගින්නෙන් මිය ගිය දරුපැටවු 20 දෙනා සහ ගුරුවරියන් තිදෙනාගේ දේහ මධ්‍යම තායිලන්තයේ කුඩා නරගයක් වන ලන් සක් හි වට් ඛෝ ප්‍රයා සන්ග්ඛාරම් පාසලේ පාසල් ශාලාවේ තැන්පත් කෙරුණේය. පාසලට මළ සිරුරු රැගෙන එන්නේ දරුවන්ගේ ඡායාරූප සහිතව හඬාවැටෙමින් ගමන් කළ ඔවුන්ගේ සමීපතමයින් ඇතුළු ශෝකවන්නන්ගෙන් සමන්විත අවමංගල්‍ය පෙරහරකිනි. බ්‍රහස්පතින්දා ඔවුන්ගේ දින පහක ශෝක කාලය ආරම්භ වී ඇත.

අප දුටුවේ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර බෙදා හරින මහා ශෝකයකි. පාසල් ශාලාව පුරා සුදු සහ රන් පැහැති මිනී පෙට්ටි පෙළ ගැසී තිබේ. දරාගත නොහැකිව වැළපෙන අම්මලා තාත්තලා ඇතුළු ඥාතීහු එම පුංචි මිනී පෙට්ටි මත මල් අතුරා සෙල්ලම් බඩු පමණක් නොව එම දරු පැටවු කන්නට කැමැත්තෙන් සිටි ආහාර ද අඳින්නට ප්‍රියතම වූ ඇඳුම ද තබා ඇති අයුරු දුටුවෙමු.

මිනිස්සුන්ගේ කෝපය

ස්වකීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති මාරක ව්‍යසනය සම්බන්ධව දැඩි කෝපයකින් යුතුව මිනිස්සු සිය බලධාරීහු ප්‍රශ්න කරමින් සිටිති.

දිවි ගලවා ගත් වින්දිතයින්ගේ වෛද්‍ය වියදම් තායි රජය විසින් ආවරණ කරන අතර මියගිය අයගේ පවුල්වලට මූල්‍ය වන්දි ලබා දෙන බව තායිලන්ත අගමැතිනිය Paetongtarn Shinawatra පැවසුවාය. මිනිස්සු ප්‍රශ්න කළේ දරුපැටවුන් පණ පිටින් ආදාහනය වන්නට හැර ලබා දෙන මූල්‍ය වන්දිය කුමක්ද යන්නය. රිය අනතුරු සහ රිය අනතුරු මරණ සම්බන්ධව කුප්‍රකට ඉතිහාසයක් සහිත තායිලන්තයේ මාර්ගවල පළාත් හරහා දිගු වේලාවක් ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ රටකට ඇති වගකීම කුමක්ද යන්නය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව සෑම වසරකම තායිලන්තයේ රිය අනතුරුවලින් පුද්ගලයන් 20,000ක් මිය යන්නේය. මිලියනයක් තුවාල ලබන්නේය. අපි වගේම තායිලන්තයත් ලෝකයේ නරකම මාර්ග ආරක්ෂණ වාර්තා අතරය. මේ සිද්ධිය හුදු අනතුරක්ම නොවන බව වටහා ගත යුතුය.

තායිලන්තයේ බස් රථය තුළ පණ පිටින් ආදාහනය වූ දරු පැටවුන් ප්‍රශ්න කරමින් සිටින්නේ ලෝකයේ මනුෂ්‍යත්වය පිළිබඳ බිහිසුණු කතාවය. ලාභය පමණක්ම මුල්වන, අනෙකාගේ ජීවිතයට වග නොකියන සමාජයක මල් කැකුළු වැනි දරු පැටවු පවා තමන්ගේ ඇස් ඉදිරිපිට පණ පිටින් පිච්චී මැරෙන්නට හැර පලායන්නට හිත හදා ගන්නා මිනිස්සුන් බිහිවන්නේය. එවැනි ලෝකයක් දිනාගත් කිසිම දෙයක් නැති බව විශ්වාස කරමු.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division