බිංතැන්න ආදීවාසීන්ගේ නිජබිමයි. දඹාන ප්‍රධාන කරගත් බිංතැන්න, රතුගල, හේනානිගල, නිල්ගල, පොල්ලේබැද්ද, දළුකාන යන ආදිවාසී ගම්මානවල කුඩා කණ්ඩායම් වශයෙන් ඔවුන් වත්මන් ආර්ථික දුෂ්කරතා මැද ජීවිතය ගත කරයි. පාරම්පරික දඩයම මූලික ජීවනෝපාය කරගත් ආදිවාසීන් ජීවන සටන ජය ගැනීමට කෘෂිකර්මාන්තය, කුඩා ව්‍යාපාර, අත්කම් නිර්මාණ හා විවිධ රැකියා සඳහා ගමෙන් බැහැර වීමද දැක ගැනීමට හැකිය.
සිය සාම්ප්‍රදායික වනාන්තර දඩබිම් ව්‍යවස්ථාපිත නීති මඟින් තහනම් වීම නිසාත් කෘෂිකර්මාන්තයේ පසුබෑම නිසාත් ආර්ථික ගැටලු විසඳා ගැනීමට නොහැකි වූ තැන මීට අවුරුදු තුනකට පමණ පෙර ආදිවාසී ප්‍රජාව වෙත පැමිණි ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන නියෝජිතයන්ගේ අදහස් අවවාද මත ලැබුණු ණය නිසා අද දවසේ ඔවුන් කබලෙන් ලිපට වැටී ඇත.
ඌරුවරිගේ ප්‍රේමලතා අපට පැවසුවේ මෙවැන්නකි.
“අපි ණය අරන් අවුරුදු 3ක් වගේ වෙනවා. අපි පුළුවන් තරම් දැම්මා. කැලේ බැද්දේ ගිහින් මීපැණි හොයාගෙන ඇවිල්ලා පොළේ ගිහින් දැම්මා. ඒත් මේ කාලේ ගොවිතැන්වලින් වැඩක් වුණේම නෑ. පොහොර නොතිබුණු නිසා ගොවිතැන විනාශ වුණා. තිබුණු රත්තරං බඩු බැංකුවට තියලා වාරිකේ දැම්මා. ඒ වුණත් ඒ මහත්තුරු ඇවිත් බණිනවා, කරදර කරලා සල්ලි ඉල්ලනවා. කොහෙන් හරි හොයලා දෙන්න කියලා කියනවා. අපි කොහෙන් හොයලා දෙන්නද? මේ ඉන්න තත්ත්වේ විදිහට අපි ජීවත් වෙන්නේ කැලේ ගිහින් මීපැණි හොයලා නැත්නම් බෙහෙත් බඩු හොයලා පොළේ ගිහින් විකුණලා තමයි. අපිට ඒ මහත්තුරු ඇවිත් සෑහෙන්න දොස් කියලා යනවා. අපි ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. අපිට ණය දෙද්දි සෑහෙන්න ලියුම්වල අත්සන් කර ගත්තා. අපේ මහත්තයාවත් එක්ක ගිහින් කණ්ඩායමේ තුන්දෙනෙක් හදලා අත්සන් අරගත්තා. අපි ඉතින් අකුරු දන්නේ නැති නිසා වැඩිය බලන්නේ නැතුව අත්සන් කළා. ණයක් දෙනවා කිවුවාම නොගෙන ඉන්න බැරි නිසා ගත්තා. වට තුනක්ම අරගත්තා. ඒ වගේම ගෙව්වා. ලක්ෂයක් අරගත්තොත් ලක්ෂය එකහමාරක් දෙකක් ම ගෙවනවා. දැන් ගෙවන්න බැරිම තත්ත්වෙට අපි පත්වෙලා ඉන්නේ. මේ ඉඩමේ බලපත්‍රය පවා තියලා තියෙන්නේ බැංකුවට. දරුවන්ට තිබුණු රත්තරං බඩුත් බැංකුවේ උකස් තියලා ණය ගෙව්වා. සමෘද්ධියේ සල්ලිත් කෑමට නෙවෙයි; පොලී වාරික දාන්න තමයි අරගත්තේ. ඒවට ලියුම් එනවා දවස ගානේ.
සමෘද්ධියෙන් අපට කෑමට දෙන සල්ලි, වේලක් කන්නවත් මදි. නඩු කියන්න වෙයි කියලා බයට ඒකත් වාරිකවලට දානවා.”
මේ ණය ගැටලුවට මුහුණ දී අති සිය ප්‍රජාව ගැන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ දක්වන්නේ මෙවැනි අදහසකි.
“මේ ඇත්තන්ගේ ගැහැනු මිනිස්සු ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් එහෙම වෙලාවක කවුරු හරි ඇවිත් ණයක් දෙන්න පුළුවන් කිවුවාම ඉක්මනින් ගිහින් ණය අරගන්නවා. ණය අරගත්තා වගේ නෙවෙයි; ණය ගෙවන්න ගියාම ලොකු පොලියක් ඒකට එකතු වෙනවා. ඇත්තටම මේ දඹාන ගම්මානේ නම් උකස් තියන්න කුඹුරු නෑ. වැඩ කරන හේන් තමයි තියෙන්නේ. හේනානිගල ගම්මානයේ කුඹුරු උකස් තියලා තියෙන්නේ. කුඹුරු උකස් තියන්න හේතුව තමයි ඒ ණය දුන්නු ආයතන නියෝජිතයෝ මේ මිනිස්සුන්ව බය කරන එක. කොහොම හරි මේ අවුලෙන් නිදහස් වෙන්න ඕන නිසා තියෙන්නේ මොකක්ද ඒ තියන හැමදේම උකස් තියන්න සිද්ධ වෙනවා.
ඇත්තටම මේ පරම්පරාවේ දරුවන්ට දැරිවියන්ට ලොකු බලපෑමක් වෙලා තියෙනවා; මේ අරගත්තු ණයෙන් නිදහස් වීමට ඇති නොහැකියාව නිසා. මේ ළඟදි අපි කොළඹ ගිහිල්ලා ඒ මහත්වරු එක්ක සාකච්ඡා කළා. ඒත් මේ ප්‍රශ්නෙට විසඳුමක් තවම ලැබිලා නෑ. මට කියන්න තියෙන්නේ මේ ණය විතරක් නෙවෙයි. මේ දඹානේ ජනතාව හේනානිගලට පදිංචියට ගියෙත් දියුණු වෙන්නම හිතාගෙන. ආදිවාසීන් දියුණු වෙන්න ඕන කියලා ගිහින් අද වෙනකොට ඒ ඇත්තන්ගේ කුඹුරේ ඒ ඇත්තොම කුලියට වැඩ කරනවා. ඒ ඇත්තන්ගේ ජීවිත කාලයටම ඒ කුඹුර නිදහස් කරගන්න අමාරුයි. ලක්ෂ දහයට පහළොවට වගේ උකස් තියලා තියෙන්නේ. සමහර ඉඩම් සින්න වෙලා තියනවා. මේ ප්‍රශ්න විසඳුමක් කර ගන්න නම් මේ රටේ ජනාධිපතිතුමාට තමයි අපිට කියන්න තියෙන්නේ.”
හේනානිගල එච්. එම් ජයසුන්දර සිය අදහස් මෙසේ විස්තර කළේය.
‘හේනානිගල අපි මැටි ගෙදරක ඉන්නේ. ගෙයක් හදාගන්න ඕන කියලා ලක්ෂ දෙකහාමාරක ණයක් ගත්තා. දැන් අවුරුද්දක් වාරික ගෙව්වා. දැන් ගෙවාගන්න බැරිකමක් තියෙන්නේ. කුලී වැඩ කරලයි අපි ජීවත් වෙන්නේ. දරුවෙක් ඉන්නවා එක වසරේ. කවුරු හරි කමක් නෑ පිහිටක් වෙනව නම්. 1985 දී හේනානිගලට පවුල් 120 විතර මෙහාට ආවේ කන්දෙගම්වල ඉඳලා. එයාලට විතරයි කුඹුරු ඉඩම් තියෙන්නේ. පවුලක සාමාන්‍යයෙන් දරුවෝ 6-7ක් ඉන්නවා. එක වී මිටියක් වගේ තමයි එක දරුවෙක්ට හම්බවෙන්නේ.”
හේනානිගල ජයවර්ධන දිසානායක පවසන්නේ මෙවැන්නකි.
“අපි ජීවත් වෙන්නේ ගොඩාක් අමාරුවෙන්. අපිට කුඹුරු නැහැ. ළමයි ඉස්කෝලේ යවන්න ඕනේ. අතට එන මුදල කී පැත්තකට හරවන්නද කියලා කල්පනා කරන්නේ. අපි මෙහෙට ආවේ කන්දෙගම්වලින්. අපේ අම්මලාට මෙහේ ඉඩම් හම්බුණා.”
රටක ආදිවාසීන් යනු ඒ රටේ සම්පතකි. ලෝකයේ බොහෝ රටවල් ආදිවාසීන් රැක ගැනීම සඳහා බොහෝ නීති රීති සම්පාදනය කරයි. එහෙත් අපේ රටේ ඔවුන්ට ඇති තත්ත්වය මෙයයි.
රුවන් මීගම්මන