ලොව පුරා සිදු වන වළක්වා ගත හැකි මරණ දහයෙන් අටකටම හේතු වන්නේ බෝ නොවන රෝග බවත් එසේ බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක හතර අතර මද්‍යසාර භාවිතය ප්‍රමුඛ සාධකයක් බවත් පැවසේ. මද්‍යසාර භාවිතය නිසා ලොව පුරා වසරකට පුද්ගලයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සෑම වසරකම ඔක්තෝබර් 3 වැනිදාට ලෝක මද්‍යසාර නිවාරණ දිනය යෙදී ඇති අතර, මද්‍යසාර භාවිතය නිසා දිනකට ශ්‍රී ලාංකිකයන් 50කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත්වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සඳහන් කරයි. මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් රජයේ සෞඛ්‍ය සහ ආර්ථික හා වාර්ෂික වියදම රුපියල් බිලියන 237ක් පමණ වන බව ද එම ආයතනයේ දත්ත මඟින් හෙළි වේ.
මද්‍යසාර භාවිතය වැඩි වීම සමස්ත රටේම අගතියට හේතු වන අතර, එය පුද්ගලයාගේ කායික මානසික සුවතාවට හානි කරනවා පමණක් නොව සෞඛ්‍ය වියදම ඉහළ යෑම, ප්‍රජාව රෝගීන් වීම, සමාජය තුළ අසතුටු පවුල් වැඩිවීම ආදී අයහපත් ප්‍රතිඵල රැසකට හේතුවකි. මද්‍යසාර හා බැඳී ඇති එම ගැටලු අවම කිරීම සඳහා මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය යෝජනා සහ නිර්දේශ ගණනාවක්ම නව රජයට ඉදිරිපත් කර ඇත.
මද්‍යසාර භාවිත කරන්නන්ට එයින් මිදීම සඳහා අනික් අයගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. ඔබේ පවුලේ සාමාජිකයකු හෝ සමීපතමයකු මද්‍යසාර භාවිත කරනවා නම් ඔහු එයින් මුදා ගැනීම ඔබේ සමාජයීය වගකීමක් ද වන්නේය. “මට මත්පැන් අත්හරින්න ඕනේ, ඒත් කරන්න අමාරුයි” යන්න මද්‍යසාර සඳහා ඇබ්බැහි වී සිටින බොහෝදෙනකු කරන මැසිවිල්ලකි.
“මත්පැන් පානය නතර කරන්න අවශ්‍ය වන වැදගත්ම දේ එය නවත්වන බවට ඔබ ගන්නා තීරණයයි. ඒ තීරණය ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම නතර කරන්න පුළුවන්”එසේ පවසන්නේ වෛද්‍ය ආසිරි කරුණානායක ය. මත්පැන් පානය නතර කිරීමට අදහස් කරන අයකු ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි වෛද්‍ය ආසිරි වැඩිදුරටත් මෙසේ පැහැදිලි කළේය.
” කෙනෙක් මත්පැන් පානය නතර කරන්න තීරණය කළාට පස්සේ ඔහුට ප්‍රධානම අභියෝගය එන්නේ එතෙක් ඔහු මත්පැන් පානය කළ මිතුරන් කණ්ඩායමෙන්. මත්පැන් අත්හරින්න ගත් තීරණයට විරුද්ධව ඔහුට සමච්චල් කිරීම් වගේම ඇවටිලි කිරීම්වලින් යළිත් ඔහු මත්පැන් පානය සඳහා පොලඹවා ගන්නත් ඔවුන් බොහෝ උත්සාහ දරනවා. මත්පැන් අතහරිනවා කියලා ගත්ත තීරණය වගේම ඒ උත්සාහයන් මගහරින්නත් දැඩි තීරණයක හිටියොත් මත්පැන් අත හැරීම කළ හැකියි. ඒ සඳහා ඔහුට පවුලේ අයගෙන් වගේම සමීප මිතුරන්ගේ උදව් අවශ්‍යයි. ඒ වගේම රජයේ රෝහල්වල මානසික සෞඛ්‍ය සායනවලින් ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබෙනවා. ”
ඊට අමතරව ඇතැම් ටෙලිනාට්‍ය ඇතුළු රූපවාහිනී වැඩසටහන්වලින් මත්පැන් ජීවිතයේ සතුට ලබා දෙන මාර්ගයක් ලෙස හැඟවෙන ජවනිකා සහ දර්ශන ඇතුළත් කරමින් කුඩා වියේ සිට මද්‍යසාර පිළිබඳ අදහස් දරුවන්ගේ සිත්වලට ඇතුළු කිරීමට මද්‍යසාර සමාගම් උත්සාහ දරයි. එහෙත් ඒ අදහස් සත්‍ය නොවන අතර මද්‍යසාරවලින් තොරව ජීවිතයේ සතුට ලැබිය හැකිය යන සුබවාදී ආකල්පය කුඩා වියේ සිට දරුවන්ට ඒත්තු ගැන්වීමෙන් අනාගතයේදී ඔවුන් මද්‍යසාර භාවිතයට පුරුදු වීමෙන් වළක්වා ගත හැකිය. එය මවුපියන්ගේ වගකීමකි.
lසුරේකා නිල්මිණි ඉලංකෝන්