නවීන තාක්ෂණය අපගේ සාමාන්‍ය ජීවිතයේ සෑම අංශයකටම විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරන බව නොරහසකි. ඩිජිටල් යුගයේ ජීවත්වන අපට ඍජුව හෝ වක්‍රව ඉන් ලබන බලපෑම් සමඟින් ජීවත් වීමට සිදුව තිබේ. අප කැමති වුවත් නැතත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT – Information Communications Technology) භාවිතය පෙර නොවූ විරූ ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිත තුළ පුළුල් ලෙස ව්‍යාප්තව පවතී.
අන්තර්ජාලයේ සහ ස්මාර්ට් දුරකතන යෙදුම්වල ආක්‍රමණයෙන් ගිලී ගිය අපගේ ජීවන රටාව දිනෙන් දින වෙනස් වෙමින් තිබේ. ඩිජිටල් සමාජ ජාලකරණය හරහා, මිනිසුන් භෞතික අවකාශයන්හි හමුවීම වෙනුවට අථත්‍ය අවකාශය හරහා වැඩි වැඩියෙන් සමාජීය සම්බන්ධතා ඇති කර ගනී. ජීවිතයට වැදගත් සංවේදී සිදුවීම් පවා බෙදා ගන්නා සමාජ ජාලා තුළින් මිනිසුන්ගේ සැබෑ ජීවිත පිළිබිඹු වීමේ ප්‍රවණතාවක් දැන් තිබේ. එවැනි දේ වැදගත් වුවද, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය යනු රටකට ඊට වඩා සැලකිය යුතු වටිනා සම්පතකි. සංවර්ධිත රටවල් සමඟ සම වීමට නම්, සංවර්ධනය වෙමින් පවතින රටක සිටින අපි ඩිජිටල් පරිවර්තනය කාලෝචිත ලෙස වැලඳ ගත යුතු වන්නෙමු.
•පෙරළිකාර ඩිජිටල් පරිවර්තනය
ඩිජිටල්ගත වීම (Digitizing), ඩිජිටල්කරණය (Digitization) සහ ඩිජිටල් පරිවර්තනය (Digital Transformation) යනු අපට නිතර අසන්නට ලැබෙන වචන කිහිපයකි. මේවායින් අදහස් වන්නේ එකම දෙය නොවේ. ක්‍රම විකාශනයකි. අනෙක් අතට, සාම්ප්‍රදායික ඉගෙනුම මාර්ගගත කිරීමක් ඩිජිටල් පරිවර්තනයකදී අදහස් නොකරයි.
ඩිජිටල් පරිවර්තනයක් යන්නෙන් අදහස් වන්නේ සාමාන්‍ය පරිදි ඩිජිටල්ගත කිරීම සහ ඩිජිටල්කරණය යන දෙකම හරහා දැනට පවතින ක්‍රමවේද සහ පද්ධති තුළ සිදුකෙරෙන සැබෑ වෙනසකි. සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට ඒ හා සමාන ඩිජිටල් කළ ක්‍රම යොදා ගැනීමම නොවේ. සැබෑ ඩිජිටල් පරිවර්තනයේ දී, ඩිජිටල්කරණ තාක්ෂණය විසින් පවතින යල් පැන ගිය අධ්‍යාපනික ක්‍රියාවලීන්හි සම්පූර්ණ වෙනසක් සිදු කරනු ලැබේ. නව ක්‍රියාවලීන් පැරණි ඒවා සමඟ සංසන්දනය කිරීමට දුෂ්කර වන තරමටම එවැනි වෙනස්කම් සිදුවිය හැකිය. අවසාන ප්‍රතිඵලය වනුයේ ඉතා සඵලදායී අධ්‍යාපන ක්රමවේදයකි.
අධ්‍යාපන ක්ෂේත්රය තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යනු ජංගම දුරකථනයේ සිට අන්තර්ක්‍රියාකාරී වයිට්බෝඩ් දක්වා පැතිරුණු, ක්රමාන්විතව තොරතුරු හසුරුවන සහ සන්නිවේදනය කරන මෙවලම් සහ සේවාවන්ය. ඉගෙනුම් පරිසරයකට අවශ්‍ය මෙවැනි ඩිජිටල් මෙවලම් ඒකාබද්ධ කිරීමෙන් ඉගැන්වීමේ සහ ඉගෙනීමේ අත්දැකීම් වැඩිදියුණු කිරීම මඟින් අධ්‍යාපනයේදී ICT තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එය බහුමාධ්‍ය (multimedia) ඉදිරිපත් කිරීම්, අධ්‍යාපනික යෙදුම් (Apps) මෙන්ම ඩිජිටල් පෙළපොත් දක්වා විහිදෙයි. අප විසින් ප්‍රධාන කොට දැනගත යුත්තේ අධ්‍යාපනයට ICT යොදාගැනීම යනු අධ්‍යාපනය සම සේ බෙදාහැරීම සහ සඵලතාවය වැඩි දියුණු කිරීම සඳහා නවීන තාක්ෂණය ආධාරකයක් සේ භාවිත කිරීම බවයි.
අධ්‍යාපනයට තාක්ෂණය ඇතුළු වීම අලුත් දෙයක් නොවුණ ද, අධ්‍යාපන ක්ෂේත්රය තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් නවීකරණය වීම තවමත් නොවිසඳුණු ප්රවේශයකි. බොහෝ කල් ගත් වුව ද, මේ තත්ත්වය එලෙසින්ම පවතින්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සීමා කිහිපයක් අධ්‍යාපනයට බලපාන බැවිනි. සෑම දරුවකුටම සමසේ ඉලෙක්ට්‍රොනික උපාංග නොමැති වීම එකකි. මාර්ගගත ක්‍රියාකාරකම් සඳහා නිසි අන්තර්ජාල සබඳතා නොමැති වීම තව කරුණකි. අධ්‍යාපනික පාඩම් සහ තොරතුරු වෙතට ක්‍රමවත් සහ සමාන ප්‍රවේශයක් සහතික කිරීමට ඉන් බාධා එල්ල වේ.
සුවිශේෂී කරුණ වන්නේ අද පාසල් පන්ති කාමරවල සිටිනුයේ ඩිජිටල් යුගයේ පරම්පරාවක් වීමයි. ඔවුන් ජානමය වශයෙන් සුහුරුය. ඔවුන් එදිනෙදා ජීවිතයේදී වඩාත් සුහුරු ලෙස තාක්ෂණික මෙවලම් භාවිත කිරීමට පුරුදු වී සිටින සිසුන්ය. ICT මෙවලම් පන්ති කාමරයට ඇතුළත් කිරීමෙන්, වඩාත් ආකර්ෂණීය සහ ඵලදායී ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට ඉන් පිටිවහලක් ලැබේ.
කරුණු මෙසේ වුවද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ ඇයි දැයි සොයා බැලීම වටිනේය.
•සැමට එක සමාන අධ්‍යාපනයක්
ඇති නැති මෙන්ම වෙනත් නොයෙකුත් සමාජ-දේශපාලනික බෙදීම්වලින් ස්වායත්තව එක සේ ඉගෙනීමේ හැකියාවක් රට පුරා සිටින සියලු සිසුන්ට ලැබීම ඉන් ලබන ප්‍රමුඛතම දායාදයකි. සිසුන්ගේ පාඨමාලාවන්ට අදාළ සියලු ඩිජිටල් පාඩම් ආධාරක එක තැනකින් නිර්මාණය වී බෙදා හැරෙන නිසා රට පුරා කොතැන සිටියත් සිසුන් සියල්ල භුක්ති විඳින්නේ එක හා සමාන සම්පත්ය. පාසලේදී ගුරුවරයකුගේ සහායෙන් ඉගෙන ගන්නා දේ වෙත පාසල්වලින් පිටතදී ද ප්‍රවේශ වීමේ හැකියාවක් තිබෙන නිසා ස්වයං ඉගෙනුමකට මඟ පෑදේ. විශේෂයෙන්ම මන්දගාමීව වටහා ගන්නා හෝ ඉගෙනීමේ ආබාධ සහිත සිසුන්ට මෙවැනි ප්‍රවේශයක් ඉතාමත්ම ප්රයෝජනවත්ය.
සාම්ප්‍රදායික පන්ති කාමර තුළ අද සිදුකරන සුදු හෝ කළු ලෑල්ල උපයෝගී කරගන්නා ක්‍රමයට වඩා ශ්‍රාව්‍ය දෘශ්‍ය නිරූපණයෙන් උසස් ආධාරක පාඩම් ද්‍රව්‍ය පන්ති කාමරයට ගෙන ඒමේ හැකියාවක් ICT සලසා දෙයි. මෙයට හේතුව අපගේ මොළයට, පොතක හෝ ලෑල්ලක තිබෙන අකුරුවලට වඩා වේගයෙන් පින්තූර සහ වීඩියෝ විශ්ලේෂණය කිරීමටත් මතකයේ රඳවා තබා ගැනීමටත් පෙලඹීමක් තිබීමය. ICT ශ්‍රව්‍ය දෘශ්‍ය ඉගැන්වීම් ක්‍රමය එතරම්ම ප්රබලය. එය ඉගෙන ගන්නන්ගේ දැනුම මනා සේ රඳවා තබාගෙන වර්ධනය කිරීමටත්, උනන්දුව ඉහළ නැංවීමටත් මඟ පාදයි. ICT මත පදනම් වූ අධ්‍යාපනික ක්‍රීඩා සහ අතථ්‍ය විද්‍යාගාර පහසුකම් වැනි අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් අත්දැකීම් තුළින් මනා අධ්‍යාපනයක් සම සේ බෙදාහැරීමට ඉඩ සැලසේ.
•කාර්යක්ෂම ගුරු පුහුණුව
ඩිජිටල් පරිවර්තනයක වාසිය සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටත් එක සේ අදාළ වේ. ගුරුවරුන්ගේ දැනුවත්භාවය පුළුල් කරන නිරන්තර ගුරු පුහුණු වැඩසටහන් සහ උපදේශන, මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සැලසුම් සහගතව ලබා දීමට ICT උපකාරී වේ. තමන්ට රිසි ඕනෑම වේලාවක ප්‍රවේශ විය හැකි මාර්ගගත පුහුණු මොඩියුල ඔස්සේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක නිරත වීමට ගුරුවරුන්ට හැකියාවක් ලැබෙන අතර, එය පාසල් වේලාවේ කෙරෙන ඉගැන්වීමේ වගකීම්වලට බාධා නොවෙන සේ සිදුකෙරෙන යාවත්කාලීන වීමක් සඳහා මඟ පාදයි.
•ඉගැන්වීමේ නව ක්‍රම
ඩිජිටල්කරණයකදී නව ඉගැන්වීම් ශිල්පීය ක්‍රම අනුගමනය කිරීමට ඉඩ සැලසේ. නිදසුනක් ලෙස සිසුන් තම පාඩම් නිවෙසේදී හදාරමින් පන්තියේ දී ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීම හරහා ඒවා වැඩිදුර පුහුණු කිරීම පෙන්වා දිය හැකිය. ශ්‍රව්‍ය-දෲශ්ය වීඩියෝ අධ්‍යාපනික වැඩ සටහන් තමන්ට රිසි සේ නරඹමින්, නිවෙස තුළ තමන්ටම ආවේණික පරිසරයක වඩාත් ඵලදායී ලෙස ඉගෙනීමට සිසුනට ඉන් පහසුවක් ලැබේ. පාසලේදී ඊට වෙනස් සාමූහික ක්‍රියාකාරකම්වලට යොමු කළ හැකිය. විවිධ නව ඉගෙනුම් ශිල්පීය ක්‍රම අත්හදා බැලීමට ගුරුවරුන්ට හැකියාවක් ලැබෙන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හරහා සිසුන්ගේ ශ්‍රේණි නිරීක්ෂණය කිරීමෙන් ඒවායේ බලපෑම සෘජුව පරීක්ෂා කළ හැකිය. මාර්ගගත ඉගැන්වීම් සඳහා අතථ්‍ය ඉගැන්වීම් ක්‍රම භාවිතය අත්‍යවශ්‍ය සාධකයකි. අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයක ප්‍රධාන භූමිකාවන්ගෙන් එකක් වන්නේ සිසුන්ගේ පැමිණීම, සහභාගීත්වය, සහ ශ්‍රේණිගත කිරීම වැනි පරිපාලන කටයුතු විධිමත් කිරීමයි. මෙම ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමෙන් ගුරුවරුන්ට, සිසුන්ට සහ දෙමාපියන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විනිවිද පෙනෙන වාර්තා පවත්වා ගැනීමට පාසල්වලට හැකියාවක් ලැබේ. යම් සිසුවකුගේ ශ්‍රේණි අඩුවීම හෝ පාසල් නොපැමිණීම හෝ මාර්ගගත අධ්‍යාපනය සඳහා සහභාගී නොවීම වැනි ඕනෑම ගැටලුවක් නිවැරදි දත්ත ඇසුරෙන් වහා ආමන්ත්‍රණය කිරීම මෙවවැනි විනිවිදභාවයකින් සහතික වේ.
කිසියම් සිසුවකුගේ ඉගෙනුම් අත්දැකීම ඔහුටම ආවේණික පුද්ගලාරෝපිත එකක් බවට පත්වන නිසා සෑම සිසුවකුටම ඔවුන්ට අවශ්‍ය සහාය ලැබීම ඉන් ලැබෙන ප්රයෝජනයකි. ඒ සඳහා කෙරෙන ගුරුවරයාගේ මැදිහත්වීම ද විනිවිද පෙනේ.
•ඩිජිටල් සූදානම
කෙසේ වුවද අධ්‍යාපන හෝ වෙනත් ක්ෂේත්රයක ඩිජිටල් පරිවර්තනයකට අත්‍යවශ්‍ය සාධකයක් වන ඩිජිටල් සූදානම ඒ සදහා රටේ පවතින තත්ත්වයෙන් පරිබාහිරව නොපිහිටයි. නවීන තාක්ෂණය වේගයෙන් සමාජගත වීම අතින් අප රට සංවර්ධිත රටවලට සමාන වුව ද යටිතල පහසුකම් සමානව බෙදීයාම ප්‍රශ්නගතය.
ඩිජිටල් සූදානම යන්නෙන් අදහස් කරන්නේ කිසියම් රටකට ඩිජිටල්අවකාශයට පිවිසීමට ඇති හැකියාව සහ සූදානමයි. ඒ සඳහා ඇති පරිණතභාවය සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ රටේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) යටිතල පහසුකම් සහ තිරසර සංවර්ධනයක් වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ධනාත්මක බලපෑම් භාවිත කිරීමට එහි රජයට සහ පුරවැසියන්ට ඇති හැකියාව මඟිනි. එනිසා ඕනෑම ක්ෂේත්රයක ඩිජිටල් පරිවර්තනයක් අර්ථ ගැන්වෙන්නේ පුළුල් සවිබල ගැන්වීමකිනි.
එය එක රැයකින් හෝ කෙටි කලකින් අත් කරගත හැකි තත්වයක් නොවේ. නිසි සැලැස්මක් අනුව නිශ්චිත කාලරාමුවකට යටත්ව කළ යුත්තකි. අපේ රටටත් අධ්‍යාපන ක්ෂේත්රයටත් එවැනි සැලැස්මක් ඇති බව සාමාන්‍ය ජනතාව හැටියට අප දැනුවත් කිරීම බලධාරීන්ගේ වගකීමකි.
අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව සැලකීමේදී අධ්‍යාපන පරිපාලනයත්, ගුරු ප්රජාවත් මෙන්ම සිසු ප්රජාවත් කෙතරම් සූදානමක සිටීදැයි කල්පනාවට ගත යුතුය. සැමට එකසේ පරිගණක තිබීම, මාර්ගගත ක්‍රමවේද පැවතීම මෙන්ම ඇති නැති පරතරයකින් තොරව කාටත් පරිහරණය කළ හැකි මිලකට ඒවා ලැබීම අත්‍යවශ්‍ය වේ.
ඩිජිටල් ඉගැන්වීම සඳහා පරිවර්තනීය වෙනසකට තුඩු දෙන බහු මාධ්‍ය පාඩම් විධිමත්ව නිර්මාණය කිරීම මේ සියල්ලටම වඩා වැදගත්ය. අධ්‍යාපනයේ සාම්ප්‍රදායික ක්‍රමවේද මෙන්ම ඩිජිටල් ක්‍රමවේද ගැන විශේෂඥ දැනුමක් ඇති අධ්‍යාපනඥයන් ඒ සඳහා යොදාගත යුතු වේ. අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය යනු සාම්ප්‍රදායික ලෙසම අධ්‍යාපනය මාර්ගගතව ලබාදීම නොවන බව අවසානයේදීත් අවධාරණය කිරීමට කැමැත්තෙමි.