මම ඉන්නේ මානව ඉතිහාසය පුරා ජනීජනයා එහාට මෙහාට ගිය මංමාවත් ජාලයක් එකතු වෙන හන්දියකය.
එහෙන් සේද මාවතේ බලසම්පන්න කේන්ද්‍රස්ථානයක්. අනෙක් පැත්තෙන් අධිරාජ්‍ය බර ගාණක අගනුවරක්. දැන් වුණත් ගුවන් ගමන්වල, දුම්රිය ගමන්වල ආසියාව හා යුරෝපය යා කරන කාර්යබහුල මංසන්ධියක්.
මම කරන රස්සාවටත් සම්බන්ධ නිසා කෝච්චි පාරවල් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා. මට නිතර හම්බවෙන යාළුවෝ ගොඩක් වෙලාවට ඒවා සම්බන්ධ රාජකාරි කරන අය නිසා මේ තත්ත්වය තවදුරටත් බරපතළ වෙනවා.
ලෝකයේ දෙවැනියට භූගත දුම්රිය මාර්ගයක් හෙවත් සබ්වේ එකක් හදලා තියෙන්නේ තුර්කියේ. ඒ ඔටෝමාන් අධිරාජ්‍යය කාලේ 1875දී. ලෝකයෙන්ම පළමු සබ්වේ එක ලන්ඩන් නුවරදී හදලා යන්තම් අවුරුදු 13කදී. තුර්කියේ කිලෝමීටර් 12,500කට වැඩි කෝච්චි පාරවල් තියෙනවා. එයිනුත් සියයට විස්සකට වැඩිය විදුලි දුම්රිය.
තුර්කියේ ඉඳල කෝච්චියේ නැඟල යුරෝපයේ ඕන රටකට යන්න පුළුවන්. ඉස්තාන්බුල් නුවරින් කොටසක් තියෙන්න භූගෝලීයව යුරෝපයේ. ලෝක ප්‍රසිද්ධ අන්තර් මහද්වීපික සුඛෝපභෝගී දුම්රිය ඔරියන්ට් එක්ස්ප්‍රස් 1979වනතුරු ඉස්තාන්බුල් නුවරට ආවා. මේ දුම්රිය පුරාවෘත්තයක්. චිත්‍රපට හා නවකතා බර ගාණක පසුබිමේ දිවෙන්නක්. එය ඉස්තාන්බුල් ඇවිත් ගිමන් හැරපු පරණ ඉස්ටේෂම බලන්න ළඟදී අපි යනවා. ඒ ගියාම ඒ ගැන ලියන්නම්.
ඒ විතරක් නෙවෙයි; රුසියානු කලාපයේ බොහොමයක් රටවලට ඉස්තාන්බුල් නුවර ඉඳල කෝච්චියේ යන්න පුළුවන්. ඒත් ඉස්තාන්බුල් ඉඳන් යුරෝපෙට කෝච්චියේ යනකොට වගේ නෙවෙයි; රුසියානු කලාපයට යනකොට අලි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ඒ පැත්තට යනකොට මෙහෙන් යන කෝච්චි පාරේ පළල නෙවෙයි; ලෝකෙට එක සම්මුතියක් හදා ගන්න බැරි වෙච්ච දේවල් ගොඩක් තියෙනවා ඉන් එකක් තමයි කෝච්චි පාරවල පළල.
තුර්කියේ භාවිත වෙන්නේ යුරෝපය පුරා හා ලෝකයේ සියයට පනහකට වඩා කෝච්චි පාරවල භාවිත කරන ස්ටීවන්සන් ගේජ් එක. ජෝජ් ස්ටීවන්සන් ගැන අපි අහලා තියෙන්නේ ලෝකයේ පළමුවරට මගී ප්‍රවාහන දුම්රිය නිපදවපු ඉංජිනේරුවා හැටියට. ඔහු සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. නවීන දුම්රිය ගමනාගමනයේ පියා හැටියට හඳුන්වන්නේත් ඔහු. ඒත් ඇත්තටම ඔහු සම්මානයට පාත්‍ර වෙන්න ඕන; ලෝකය පුරා සම්මුතියකට එන්න බැරිවෙලා තිබුණ කෝච්චිපිළී දෙකක් අතර ඇතුළෙන් ඇතුළ දුර සඳහා සම්මුතියක් හදලා දුන්න එකට. අදටත් යුරෝපයේ, තුර්කියේ,චීනයේ, අමෙරිකාවේ, කැනඩාවේ හා ඔස්ට්‍රේලියාවේ භාවිත වෙන්නේ ස්ටීවන්සන් ගේජ් එක හෙවත් අඩි හතරයි අඟල් අටහමාරක් වන ගේජ් එක . ඒත් තාමත් මේ රටවලම වුණත් සමහර පාරවල ගේජ් අතර ඇතැම් වෙනස්කම් තියෙනවා.
පුදුමයකට වගේ ලංකාව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා සමහර ලතින් අමෙරිකානු රටවල පමණක් වෙනම ම ගේජයක් භාවිත වෙනවා. මේක ස්ටීවන්සන් ගේජ් එකට වඩා පළලින් වැඩියි . අඩි පහහමාරයි. කැලණිවැලි දුම්රිය මාර්ගයේ විතරක් 1992 වෙනකම් ඉතා කුඩා අඩිදෙක හමාරක් පළල ගේජයන් පාවිච්චි වුණා.
ඉස්සර සෝවියට් සමූහාණ්ඩුවට අයත් වෙලා තිබ්බ රටවලට විශේෂිත වූ වෙනමම ගේජයක් තියෙනවා. මෙය අඩි පහකට ආසන්නයි.
මෙන්න මේ හේතුව නිසා තමයි මම අර මුලින්ම කිව්වා වගේ එකම කෝච්චියේ යුරෝපෙට යනවට වඩා කරදරකාරියි ඉස්තාන්බුල් ඉඳන් රුසියානු කලාපයට යන්න. ඒත් යනවා. මේ කෝච්චි පීලි අතර පරතර වෙනසට මුහුණ දෙන්නේ කොහොමද ?
ඉස්තාන්බුල් සිට පැරණි සෝවියට් කලාපයට ඇතුළු විය හැකි මාර්ග කිහිපයක් තිබෙන අතර සෑම දුම්රියක්ම පළමුව බල්ගේරියාවටත් ඉන්පසු රුමේනියාව හරහාත් යා යුතු වෙනවා. රුමේනියාවේ සිට මොල්දාවියා පැත්තෙන් යනවා නම් ඒ දේශ සීමාවේදීත් යුක්රේනය පැත්තෙන් යනවා නම් ඒ දේශ සීමාවේදීත් මේ ගේජ් වෙනසට අනුව වෙනත් යාන්ත්‍රික චැසියකට දුම්රිය එහෙම පිටින් මාරු කිරීම හෝ මගීන් බස්සවා වෙනත් දුම්රියකට මාරු කිරීම සිදු කරනවා.
මෙන්න මේ ක්‍රියාවලිය අවුරුදු එකසිය ගණනක් තිස්සේ නිතිපතා සිදු වෙමින් තිබෙනවා. ළඟදීම මේ මාර්ගයේ ගමනක් යන්නට බලාපොරොත්තු වෙන නිසා තව ටිකක් සවිස්තරව ලියන්න පුළුවන් වෙයි.
මේ රේල් ගේජ් ගැන කතා කරමින් සිටිද්දී නැඟෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසන්ටින් අධිරාජ්‍යයේ අගනුවර වෙච්ච පරණ කොන්ස්තන්තිනෝපල් නගරය ගැන නොකියම බැහැ. චිර ප්‍රසිද්ධ කොන්ස්තන්තිනෝපලය කියන්නේ වත්මන් ඉස්තාන්බුල් නගරයෙන් කුඩා කොටසක. මෑත දශක කිහිපයේදී ඉස්තාන්බුල් නගරය නොසෑහෙන්න ව්‍යාප්ත වෙලා තියෙනවා.
ඉතින්; මේ නැඟෙනහිර රෝම අධිරාජ්‍යය සෞභාග්‍යයෙන් උතුරන සමයේ අශ්ව රේස්වලට ප්‍රසිද්ධයි. ඒ තරග පැවැත්වූ ක්‍රීඩාගාරවල නටබුන් අදටත් තියෙනවා. මෙන්න මේ අශ්ව කරත්ත ගල් අතුරාපු වීථි දිගේ ගිහින් හැදිච්ච රෝද සලකුණු අතර දුර තමයි පසු කලක දුම්රිය ගෙජ්වලට ගත්තේ කියලා කතාවක් තියෙනවා. ඒක බොරුවක් කියල කියන පිරිසකුත් ඉන්නවා. මොකද මෙච්චර තාක්ෂණය, සන්නිවේදනය දියුණු කාලෙත් දුම්රිය පීළි දෙකක් අතර පරතරයට එක සම්මුතියක් නැතිකොට අශ්ව කරත්තවලට එහෙම සම්මුතියක් තියෙන්නේ කොහොමද? එහෙම සම්මුතියක් තිබ්බා කියන්නට කිසිම සාක්ෂියක් තාම හම්බ වෙලා නැහැ . ඒත් සමහර එකඟතා එන්නේ භාවිතයෙන්. කතා කර ගත්තේ නැති සම්මුති තියෙන්න පුළුවන්.
මේ කතාව ඇත්ත කියල පිළිගන්න මගේ මිත්‍රයෙක් කියන්නේ රෝම අශ්ව කරත්තවල රෝද අතර දුරට අභ්‍යවකාශ යානාවලත් සම්බන්ධයක් තියෙනවා කියල.
ඒක වෙන්නේ මෙහෙමයි . අභ්‍යවකාශයට යවන නවීන රොකට් ප්‍රමාණයෙන් සෑහෙන්න දිගයි. මේවා හදන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානේ ඉඳන් සෑහෙන දුරක පිහිටි කර්මාන්ත ශාලාවල. මේ කර්මාන්ත ශාලාවල ඉඳන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කොටස් වශයෙන් ගෙනියන්නේ කෝච්චිවල. ඉතින්; ඒ පාරේ ප්‍රමාණයට හරියන්න තමයි රොකට්වල ප්‍රමාණය සැලසුම් කරන්නේ. මෙන්න මේ හේතුව නිසා තමයි රෝමන් අධිරාජ්‍යයේ අශ්වකරත්ත, නවීන අභ්‍යවකාශයානා අතර නෑකමක් ඇති වෙන්නේ .
මේ කතාව සහසුද්දෙන්ම ඇත්ත වුණත් නැති වුණත් අතීතය රෝම අධිරාජ්‍යය හරහා ඉස්තාන්බුල් නගරයට ඇවිත්,බල්ගේරියාව,රුමේනියාව හරහා රුසියානු කලාපයට දිව යනවා විතරක් නෙවෙයි; අඟහරු ග්‍රහයා වෙත වුණත් යන්න පුළුවන්. අනෙක් අතට මුලින්ම රෝදය සොයාගත් බැබිලොනියන්වරු හිටි මෙසපොෙත්මියන් ශිෂ්ටාචාරය පැතිරුණේ යුප්‍රටීස් ටයිග්රීරිස් ගංගා නිම්න ආශ්‍රිතව. මේ ගංගා දෙකේ උපත සිදුවන්නේ තුර්කියේ දකුණුදිග කොටසේ. එහෙව් රටේ පුරාණ අගනුවර ඉඳන් ලියන මේ දිනපොත අතීතය, වර්තමානය හා අනාගතය යා කරන සටහන් පෙළක් කරන්නයි මම සැරසෙන්නේ .