Home » සැමරුම් දිනයට සීමා වූ ලංකාවේ ළමයින්ගේ හෙට දවස

සැමරුම් දිනයට සීමා වූ ලංකාවේ ළමයින්ගේ හෙට දවස

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

වත් ලෝක ළමා දින සැමරුමක් අතීතයට එක් විය. ඉකුත් ඔක්තෝබර් පළමු වැනිදාට යෙදුණු ලෝක ළමා දිනයේදී පවා ළමා අයිතිවාසිකම් කඩවූ සිදුවීම් කිහිපයක් රටේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය. “හොඳම දේ දරුවන්ට” කවුරුන් කොතෙකුත් හඬ ගා කීවද මේ ලියන මොහොතේ පවා කොහේ හෝ තැනක දරුවකු හෝ දැරියක කුමනාකාරයේ හෝ පීඩාවකට ලක් නොවේ යැයි කිව නොහැකිය.

විශ්ව ළමා දිනය හා ලංකාවේ ළමා දිනය

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්ව ළමා දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ සෑම වසරකම නොවැම්බර් 20වැනිදාය. එක්සත් ජාතීන්ගේ තේමාවට අනුව බොහෝ රටවල් එම විශ්ව ළමා දිනය සමරන අතර, තම රටේ අවශ්‍යතා අනුව වෙනම ළමා දිනයක් ද සමරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකාව සෑම වසරකම ඔක්තෝබර් මස පළමුවැනිදා ලෝක ළමා දිනය සමරන අතර, එදින වෙනත් රටවල් ලෝක ළමා දිනය සමරන්නේ නැති බව බොහෝ අය නොදන්නා කරුණකි. වැදගත් වන්නේ දිනය කවදාද යන්න හෝ එය සමරන ආකාරය නොව මේ දක්වා එම සැමරීම්වලින් රටේ දරුදැරියන්ට ලැබුණු යහපත් ප්‍රතිලාභ මොනවාද යන්නය.

අපේ දරුවන් ආරක්ෂිතද?

“දරුවන් රැකගමු- සම සේ සලකමු” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාව විය. එහෙත් මෙරට ජනගහනයෙන් සියයට 25ක් වන දරුදැරියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් පිළිබඳ ඇති සහතිකය කුමක්ද? ළමා අපයෝජන සිදුවීම්වල සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ඇති පසුබිමක, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව විසින් දරුවන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන මෙන් රජයට බල කිරීමේ ප්‍රවණතාව ද ඉහළ යමින් තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම

ළමා හිංස­න­යට තිත පද­නමේසභා­පති සහ ළමා ආර­ක්ෂණ
සන්ධා­නයේ සම කැඳ­වුම්කරු
වෛද්‍ය තුෂ් වික්‍ර­ම­නා­යක

ළමා හිංස­න­යට තිත පද­නමේ සභා­පති සහ ළමා ආර­ක්ෂණ සන්ධා­නයේ සම කැඳ­වුම්කරු වෛද්‍ය තුෂ් වික්‍ර­ම­නා­යක

ළමා අයිතිවාසිකම් පිළිබඳ හඬ නඟන සමාජ ක්‍රියාකාරීන් නිබඳව නඟන චෝදනාවක් වන්නේ ළමුන් වෙනුවෙන් කටයුතු කිරීමේ නිත්‍යනුකූල බලය හිමි රාජ්‍ය ආයතනය වන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිද්‍රාශීලිව කටයුතු කරන බවය. ඒ බව මැනවින් හෙළි වූයේ ගත වූ දශකයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යසාධනය ගැඹුරින් ඇගයීමට ලක් කරමින් එළි දැක්වූ වාර්තාවකිනි.

‘ළමා හිංසනයට තිත’ පදනමේ නිර්මාතෘ සහ සභාපති මෙන්ම ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කරු ද වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක විසින් අයිප්‍රෝබෝනෝ සංවිධානයේ නීතිමය සහාය ද ඇතිව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගොනු කරන ලද නඩුවක් එම වාර්තාවට පාදක වී ඇත.

ඒ පිළිබඳ වැඩි විස්තර අප වෛද්‍ය තුෂ් වික්‍රමනායකගෙන් විමසූ අතර ඇය ඒ පිළිබඳ මෙසේ පැහැදිලි කළාය.

“2010 සිට 2021 දක්වා වූ කාලය තුළ ළමා අපයෝජන සිදුවීම්වලට අදාළව ලබා දුන් නඩු තීන්දුවල දත්ත සහ 2020 සිට 2022 දක්වා කාලය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තා සඳහා ප්‍රවේශය ලබා දෙන මෙන් මවිසින් 2023 මැයි මසදී ලිඛිත ඉල්ලීමක් සිදු කළා. නමුත් ඒවා මහජන පරිශීලනය සඳහා ලබා දිය නොහැකි බව පවසමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් එකී වාර්තා ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මට සිදු වුණා.

ඒ අනුව ළමා අපයෝජන සිදුවීම් සහ ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බැඳී සිටින බවට නිගමනය කළ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව, 2023 වසරේදී මගේ ඉල්ලීමට නීත්‍යානුකූල අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම අධිකරණ ක්‍රියාවලියට නතුව තිබෙන සියලු ළමා අපයෝජන සිදුවීම්වලට අදාළ දත්ත විනිවිදභාවයෙන් යුතුව ලබා දීම සඳහා පද්ධතියක් සම්පාදනය කරන මෙන් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නියෝග කළා. මෙම නියෝගය ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ 14 (ඌ) වගන්තියට ප්‍රකාරව නිකුත් කර ඇති අතර, ළමා අපයෝජන සම්බන්ධ සියලු විමර්ශන සහ අපරාධ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම බව ද එහි සඳහන්ව තිබෙනවා. මෙම නියෝගයට අනුකූලව කටයුතු කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2024 ඔක්තෝබර් 17 වැනිදා දක්වා කාලය ලබා දී තිබෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවිය, සිංහල, දමිළ, සහ ඉංග්‍රීසි බසින් පරිශීලනය කිරීමේ අවස්ථාව සහතික කරන මෙන් සහ අදාළ දත්ත සහ වාර්තා මහජනයාට පරිශීලනය කිරීමට අවකාශ සපයා දෙන මෙන් එම කොමිෂන් සභාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා. ”

වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසුවේ අයිප්‍රෝබෝනෝ සංවිධානය විසින් ලේඛනගත කළ වාර්තාවෙන් ළමා ආරක්ෂක අධිකාරිය ළමා අපයෝජන සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල පවතින ඵලදායීතාව, එකී අධිකාරිය 1988 අංක 50 දරණ ළමා ආරක්ෂක අධිකාරී පනත හා ප්‍රකාරව කටයුතු කර තිබෙන්නේද යන්න සහ එහි විනිවිද භාවය, වගවීම සහ ළමා ආරක්ෂණය වෙනුවෙන් එකී අධිකාරිය දැරූ කැපවීම මැනැවින් අධ්‍යයනය කළ බවය.

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි

“ඉකුත් දස වසර තුළ ළමා අපයෝජනය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වසරකට දළ වශයෙන් පැමිණිලි 1,990ක් ලැබී තිබෙනවා. වැදගත්ම කරුණ වන්නේ 2011 සහ 2020 අතර කාලය තුළ ලැබුණු පැමිණිලි 40,000කට අධික සංඛ්‍යාවක් නොවිසඳී පැවතීම සහ එම පැමිණිලි ප්‍රමාණය 2021 වන විට 47,136 දක්වා වර්ධනය වී එම වර්ෂය අවසන් වන තුරු ද විසඳී නොමැති වීමයි. මීට අමතරව ගත වූ දශකය පුරාවට මූල්‍ය සම්පත් භාවිතය සම්බන්ධයෙන් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැලකිය යුතු මට්ටමක මන්ඳගාමීත්වයක් පෙන්නුම් කර තිබෙන බව ද මෙම වාර්තාවෙන් අනාවරණය වුණා. ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන සපයා දී තිබියදී එකී අරමුදල් ඵලදායී අන්දමින් වෙන් කිරීමට හෝ වැය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරන්තරයෙන් අසමත් වීම විමතියට කරුණක්. මෙම මූල්‍ය අවකළමනාකරණය, අවදානමට ලක්ව සිටින දරුවන් ආරක්ෂා කිරීම සඳහා කළ යුතු තීරණාත්මක මුල පිරීම් රැසක් ප්‍රමාද කර ඇති බවත් නිරීක්ෂණය වුණා. එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දෝෂ සහිත දත්ත රැස් කරන හා වාර්තාකරන යාන්ත්‍රණය පිළිබඳ තොරතුරු ද මෙම වාර්තාව මඟින් අනාවරණය කර තිබෙනවා.”

ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය වාර්ෂිකව සැමරෙන්නේ මෙවැනි පසුබිමක් යටතේය. එවැනි තත්ත්වයක් යටතේ ලාංකේය දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වේ යැයි විශ්වාස කළ හැකිද? මේ පිළිබඳ ‘ළමා හිංසනයට තිත’ පදනමේ සභාපති සහ ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක වැඩිදුරටත් මෙසේ පැවැසුවාය.

රජයේ වගකීම

“ශ්‍රී ලංකාවේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන බලවත්ම රාජ්‍ය ආයතනය වන්නේ 1988 අංක 50 දරණ පාර්ලිමේන්තු පනත මඟින් ස්ථාපිත කරන ලද ජාතික ළමා ආරක්ෂක අධිකාරියයි. වෙනත් රටවල ළමා ආරක්ෂණය ලෙස සැලකෙන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, දිළිඳුකම තුරන් කිරීම සහ භෞතික ආරක්ෂාව ආදී සියලු කරුණුවල සංකලනයක්. නමුත් අපේ රටේ මේ අධිකාරිය ස්වාධීන නොවීම නිසා දරුවන්ට සිදු වන අසාධාරණකම් සහ අකටයුතුකම් දිනෙන් දින වැඩි වනවා මිසක් අඩු වීමක් නැහැ. අපි ඉල්ලා සිටිනවා දැන්වත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ස්වාධීන ආයතනයක් බවට පත්කරන්න කියලා. පහුගිය අවුරුදු 8ට එයට සභාපතිවරු 7 දෙනෙක් පත්වෙලා තිබෙනවා. 8 වැනි සභාපතිවරයාත් ළඟදීම පත් වේවි. නමුත් රටේ අනාගතය වන දරු පරපුර මේ තරම් අනාථ භාවයට පත්වෙලා තිබෙන්නේ දරුවන් වෙනුවෙන් වගකිව යුතු බලවත්ම රාජ්‍ය ආයතනයේ අකාර්යක්ෂමතාව නිසයි. තිරසර ප්‍රතිපත්තිමය වෙනසක් සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමත් ළමා අපරාධ නඩුවල පාරදෘශ්‍ය භාවය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමට පද්ධතියක් සැකසීමත් අනිවාර්යෙන්ම කළ යුතුයි. ”

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division