2021 ජූලි මාසයේදී එවකට පැවැති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව තැන් තැන්වල ඇති වුණු විරෝධතාව රටපුරා නොයෙකුත් සමාජ තලවල සිටි විවිධ තරාතිරම්වලට අයත් මුළු සමාජය පුරා පැතිරී ගිය අරගලයක් බවට ගොඩනැඟිනි. මෙම පිරිස විශාල පණිවිඩයක් නිකුත් කළේය. “රට බංකොලොත්ය“ යන්න ඒ පණිවිඩයයි. පණිවිඩය ගෙන ආ පණිවිඩකරු එනම් අරගලය එළිවෙන ජාමයේ පහර දී පලවා හැරිණි. ගාලුමෝදර පේන මානෙ ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටා ඇත. එයට අලුතින් පත්වා ආ මහ බැංකු අධිපතිවරයාද පණිවිඩයක් නිකුත් කළේය. “රට බංකොලොත්ය. ගොඩගැසී ඇති ණය කන්දරාව දරා ගත නොහැකිය“ ඒ පණිවිඩයයි. එම පණිවිඩය රැගෙන ආ පසු බැංකු අධිපතිවරයා මහ බැංකු අධිපතීන් අතර A- ශ්‍රේණියට ඇතුළත් කෙරිණ.
මාගේ මිත්‍ර ‘පලි’ නිතරම කියන්නේ ” චන්ද්‍රෙ අපේ රටට වැදගත් වන්නේ පණිවිඩය නෙවෙයි. පණිවිඩය ගෙනා තැනැත්තා කවුද යන්නයි ”
IMF ආධාරයෙන් ඔක්සිජන් ලබා ගැනීම
දෙදෙනාම රැගෙන ආවේ එකම පණිවිඩයයි. රට බංකොලොත්’. පණිවිඩකරුවන් දෙදෙනාට ලැබුණේ අන්ත දෙකක සැලකීමක්. මීට කලෙකට පෙර සිටි මහ බැංකු අධිපතිවරයෙක් ආර්ථිකය මාරාන්තික ලෙඩ ඇඳක සිටින බව පැවසීය. මාරාන්තික ලෙඩකින් පසුවන රෝගියාට හෝ ආර්ථිකයට පළමුවෙන්ම කරන්නේ හුස්ම ගැනීම පහසුවීම සඳහා ඔක්සිජන් සැපයීමය. ඊළඟට රෝග ලක්ෂණවලට පිළියම් යොදන ගමන් රෝග නිධානය සොයා යෑමය. ඉන්පසුව රෝගයට හා රෝග නිධානයට පිළියම් යෙදීම පටන් ගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යාමට හේතුවද මෙයයි. ආර්ථික විද්‍යාඥයන් ආර්ථික අර්බුදය නැතහොත් රෝගය ලෙස හඳුනාගෙන ඇත්තේ දරා ගත නොහැකි තත්ත්වයක තිබෙන අය වැය සහ ගෙවුම් ශේෂ හිඟයද, ණය නොගෙවා පැහැර හැරීම, විදේශ විනිමය හිඟය, උද්ධමනාත්මක (අධික ලෙස මිල ඉහළ යාම) තත්ත්වය හා ජාතික ආදායමේ ඍණ වර්ධනයද වේ. මෙම රෝගයේ මූලික නිධානය හෙවත් හේතුව ලෙස දක්වන්නේ පාලනය කරගත නොහැකි අය වැය හිඟයයි. 2019 වසරේදී හදිසියේ අයබදු අය කිරීම අත්හිටුවීම ආර්ථික අර්බුදයට බලපෑ තවත් හේතුවක් ලෙසද, ඔවුනට පෙනිණ. මෙයින් ඇති වූ අය වැය හිඟය පියවීම සඳහා මහ බැංකුවෙන් හා වාණිජ බැංකුවලින් ණය ලබා ගැනීම නිසා මුදල් සැපයීම වැඩි වී රටේ උද්ධමනාත්මක තත්ත්වයක් ඇති වූ බව ඔවුන්ගේ මතයයි.
මහ බැංකු පොලී අනුපාතය පහළ දැමීම හා විනිමය අනුපාත අධි තක්සේරුගතව පවත්වාගෙන යාම නිසා මෙරට ආයෝජනය කර තිබූ ප්‍රාග්ධනය රටින් බැහැරට ගලා ගිය බවද, මෙයින් ගෙවුම් ශේෂ අර්බුදයක් හටගත් බවද ඔවුන්ගේ ඇදහීම විය. IMF ආධාරය මඟින් හුස්ම ගැනීම පහසු කිරීම සඳහා ඔක්සිජන් ලබා ගත හැකි බවත් එමඟින් ආර්ථිකය නිසි මඟට ගැනීමටත් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව කෙරේ ඇති ප්‍රතිරූපය ගොඩනැංවීමට හැකි බවත් එමඟින් නොගෙවා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකිවන බවත් මෙම ආර්ථික වෛද්‍යවරු තරයේ පවසා සිටියහ.
ඉහත විග්‍රහය කියවූ මට රටේ ආර්ථික අර්බුදය නිවැරදිව හඳුනා ගත්තේ දැයි කුකුසක් ඇති විය. මාගේ මතය නම් අප ආර්ථික අර්බුදය හා ඊට හේතු කාරණා වූ නිදන් ගත ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇත්තේ මතුපිටට පෙනෙන රෝග ලක්ෂණ විනා මුල්බැස ගෙන ඇති රෝග නිධානය නොවන බවයි.
මෙම රෝග ලක්ෂණ දිස්වන්නේ මතුපිටින් පෙනෙන මුදල් ආර්ථිකය තුළය. නිදන් ගත රෝග ලක්ෂණ හඳුනා ගැනීමට අප ගැඹුරින් පිහිටා ඇති මූර්ත (සැබෑ) ආර්ථිකය තුළට කිඳා බැසිය යුතුය. මූල්‍ය ආර්ථිකය සැබෑ ආර්ථිකය වසා ඇති සළුපිළිය. අප මෙතෙක් කල් මෙම සළුපිළිවල ඉරුණු තැන් මසමින් සිටියා මිසක් රෝග නිධානය ඇති සළුපිළිවලට යටින් පිහිටා ඇති සැබෑ ආර්ථිකයට පිළියම් කර නැත. සමහර ආර්ථික විශ්ලේෂකයන් අදහස් කරන්නේ IMF ආධාරය අපට ලබා දී තිබෙන්නේ ගෙවා ගත නොහැකිව ගොඩගැසී ඇති ණය කන්දරාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බවය. එහෙත් මෙම ඔක්සිජන් ප්‍රමාණය අපට ලබා දී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් ඔබ්බට ගොස් සමස්ත ආර්ථිකයම ප්‍රතිව්‍යුහගත කිරීමට ය.
ආර්ථික න්‍යාය නිතරම මිහිමත ඇති යථාර්ථයම නොවේ. ශ්‍රී ලංකාවේ මිහිමත ඇති යථාර්ථය පහත සඳහන් දර්ශක තුළින් දැකගත හැකියි.
ජනගහනයෙන් 30%කට වැඩි පිරිසක් දරිද්‍රතාවෙන් – ලෝක බැංකුව
ජාතික ආදායමෙන් අඩකට උරුමකම් කියන්නේ රටේ ධනවත්ම 20% ක පිරිසය. දුප්පත්ම 20% උරුම වන්නේ 6% කි.
ඉහළම 1% ට රටේ ධනයෙන් 31% ක් උරුම වන අතර පහළම 50% ට අයිතිය ඇත්තේ 4% කටය. ජාතික ආදායමෙන් 40% කට වඩා උපයන්නේ බස්නාහිර පළාතය. ඉතිරි 60% ට වඩා අඩු ප්‍රමාණය අනෙක් පළාත් ඉතිරි පළාත් අට අතර බෙදී යයි.
2023 මැයි මාසය වන විට ලක්ෂ 39 ක ජනතාවට නිසි ආහාර වේලක රසවිඳීමට ඇති අවස්ථාව අහිමි වී ඇත. පවුල් 10,000 කට වැඩි ප්‍රමාණයක් දැඩි ආහාර අහේනියකින් පෙළෙති. පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි ළමුන් සංඛ්‍යාව ලක්ෂ 29 කි. මොවුන් මන්දපෝෂණයෙන් පෙළෙයි. සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, පානීය ජලය, සනීපාරක්ෂාව මොවුනට අහිමිය. මේ කියන්නේ UNICEF ආයතනයයි. 2023 දී කළ අධ්‍යයනයක ප්‍රතිඵල මත පිහිටාය.
ILO ආයතනය පවසන ආකාරයට ශ්‍රම බලකායෙන් 6.4% කට රැකියා අවස්ථා නොමැත. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේදී කරන ලද සමීක්ෂණයකට අනුව ජනගහනයෙන් 54.9% පවුල් සංඛ්‍යාවක් ණය ගැතිභාවයෙන් පෙළෙති. සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වඩා මුදල් අපහසුතාවට ගොදුරු වී ඇත.
මහා බොරුවලට දෙවැනි සංඛ්‍යා ලේඛන
ශ්‍රී ලංකාව 1948 දී නිදහස සමඟ උරුම කරගන්නා ලද්දේ අඩු ආදායම්ලාභී එහෙත් ආසියාවේ ආදර්ශවත් ආර්ථිකයකි. අපි අපේ අසල්වැසියන් රැසකට වඩා ඉදිරියෙන් සිටියෙමු.
අවුරුදු 76 ක් තිස්සේ නිදහස භුක්ති විඳි අප අදත් අඩු ආදායම්ලාභී, ලෝකය පුරා ණයගැති, ආනයන මත යැපෙන,අපේ අසල්වැසියන් සියල්ලටම පසුපසින් ගාටන අසාර්ථක බංකොලොත් ආර්ථිකයකට උරුමකම් කියන්නෙමු. ලෝක බැංකුවට අනුව අපේ අසල්වැසි පකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා ඇෆ්ඝනිස්තානය සමඟ සසඳන විට අපට හිමි තැන පහතින් දැක්වේ.
උපතේදී අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77
වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය 0.7%
මානව ප්‍රාග්ධන අනුපාතිකය 0.6
විදුලිබල පහසුකම් ඇති පවුල් සංඛ්‍යාව 100%
මධ්‍යම ආණ්ඩුව ගෙන ඇති ණය අනුපාතිකය
සමස්ත දළ දේශීය නිෂ්පාදයෙන් 73.5%
අපේ අසල්වැසියන් සමඟ සංසන්දනය කරන විට අප ඉහළම තැනක සිටින බව මේ සංඛ්‍යා ලේඛන කියා පායි. මීට අමතරව දකුණු ආසියාවේ මුලින්ම ආර්ථිකය නිදහස් කළ රට ලංකාවයි. ආණ්ඩුවේ ණය අනුපාතිකය හැර සියලුම සමාජ/ ආර්ථික දර්ශකයන් ලංකාවට ඉතාම වාසිදායකය. ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් අතරින් ඉතාම සාර්ථක ආර්ථිකයක් ලෙස හුවා දැක්වීමට ආර්ථික විශ්ලේෂකයන් නොමඟ යවන ලද්දේ මෙම දර්ශකයන්ය.
මහා බොරුවලට පමණක් දෙවැනි ලෙස හඳුනන සංඛ්‍යා ලේඛන කොයි ආකාරයෙන් දැක්වුවත් ශ්‍රී ලංකාව අදත් සංවර්ධනය වන නැතහොත් ඌණ සංවර්ධිත ආර්ථිකයකට හිමිකම් කියයි. ඌණ සංවර්ධිත ආර්ථිකයකට සාධාරණ පිළිගත හැකි ජීවන මට්ටමක් සමාජයේ සෑම ජන කොට්ඨාසයකටම ලබාදීමට අපොහොසත් වේ. එවැනි ආර්ථිකයක් එයට ළඟාවිය හැකි උපරිම මට්ටම කරා ළඟාවීමට අපොහොසත් වෙයි.
අනෙකුත් ඕනෑම ජාතියක් මෙන්ම ශ්‍රී ලංකාවේද එකම අරමුණ සංවර්ධනය වූ ජාතියක් ලෙස නැඟී සිටීමය. සංවර්ධන ක්‍රියාවලියක් තුළ වර්ධනයක් සිදුවේ. එහෙත් එම ක්‍රියාවලිය තුළ ඇති එකම උපාංගය වර්ධනය පමණක් නොවේ . සංවර්ධන ක්‍රියාවලිය තුළ ද්‍රවාත්මක හා මූල්‍යමය කරුණුවලට වඩා බොහෝ දෑ අඩංගු වී ඇත. සමස්ත සමාජ හා ආර්ථික ක්‍රියාදාමයම ප්‍රතිසංස්ථාපනය හා ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සංවර්ධිත ක්‍රියාවලිය තුළ සිදුවේ. ආදායම හා නිෂ්පාදනය වර්ධනය වීමට අමතරව සංවර්ධන ක්‍රියාවලිය තුළ සමස්ත ආයතනික පරිපාලන රාමුවම විශාල වෙනස්කම්වලට භාජනය වේ. සමස්ත ආර්ථික දාමය තුළම පරිවර්තනයක් සිදුවේ.
ආර්ථික සංවර්ධනය මඟින් ආර්ථිකයේ පදනම ශක්තිමත් කරයි. දුර්වල පදනමක් මත ගොඩනැඟුණු ආර්ථිකයක් නිතර නිතර අලුත්වැඩියා කළ යුතුවේ. ශ්‍රී ලංකාවට 17 වරක් IMF කරා වන්දනා ගමන් යාමටත්, පුද පූජා පැවැත්වීමටත් සිදුවූයේ මේ දුර්වල පදනම මත ගොඩනැඟුණු ආර්ථිකයක් වූ නිසයි.
ලෝකයේ ආර්ථිකයන් සංසන්දනය කිරීමට යොදාගන්නා මිනුම් දණ්ඩ ඒක පුද්ගල ආදායමයි. මෙය මූල්‍ය දර්ශකයකි . ඒක පුද්ගල ආදායම එක් පුද්ගලයකුට සමස්ත ජාතික ආදායමෙන් හිමිවන සාමාන්‍ය කොටස පෙන්නුම් කරයි. එය සාමාන්‍ය අගයක් පමණකි. එයින් සම්පූර්ණ කතන්දරය නොකියවේ. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අපේ අසල්වැසි රටවලට වඩා ඉහළ අගයක් ගනී. 1960 වර්ෂයේදී අෙමරිකානු ඩොලර් 144 ක් වූ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 2023 වන විට අමෙරිකානු ඩොලර් 3828 දක්වා වැඩි විය. එහෙත් අපේ අසල්වැසියන් සංවර්ධනය අතින් අප හඹා ගෙන ගොස් ඇත.
අප ආර්ථිකය ඉදිරියට ගෙනයාමේ ක්‍රියාවලිය තුළ වෙළඳපොළ කෙරෙහි මහත් විශ්වාසයක් තබා ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ භාණ්ඩ වෙළෙඳපොළ ද, නිෂ්පාදන සාධක වෙළෙඳෙපොළ ද, ආමන්ත්‍රණය ඒවා මිල වෙනස් වන ආකාරයට වෙනස් වීමට හැඩ ගැසී ඇත. ඒවා තරගකාරී නොවෙයි. පාරිභෝගිකයන්ට මෙන්ම නිෂ්පාදකයින්ටද, වෙළඳපොළ හා එහි හැසිරීම ගැන නිසි තොරතුරු නොලැබේ. වෙළඳපොළ කරා ළඟාවීමටද, බාධා පවතී. වෙළඳපෙළ කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී ඇත.
ආර්ථික වර්ධනය තනි සරල රේඛාවක් දිගේ ගමන් කරන අංක ගණිත ඒකකයක් පමණකි. ආර්ථික සංවර්ධනය තුළ ආර්ථික වර්ධනයද ඊට අමතරව එහි සංයුතිය ද එය බෙදී යන ආකාරයද ඇතුළත් වෙයි. ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ ආර්ථික, සංස්කෘතික, දේශපාලන මෙන්ම සමාජ අවශ්‍යතාවන් අඩංගු වේ. එමඟින් සමස්ත සමාජ දාමය තුළම ආයතනික හා ව්‍යුහාත්මක පෙරළියක් සිදුවෙයි. එමඟින් සමස්ත සමාජයටම සංවර්ධනයේ පලය සමානුපාතිකව භුක්ති විඳීමට අවකාශ සැලසේ. සංවර්ධනය තුළින් රැකියා හා ආදායම් ඉපැයීමේ අවස්ථා ජනිත කරයි.
ආර්ථික වර්ධනය තුළින් දළ ජාතික නිෂ්පාදිතය හා ඒක පුද්ගල ආදායම වැඩිවන නමුත් අසමානතාව දුරු නොවේ. වර්ධනය කරා ළඟා වූයේ කෙසේද? වර්ධනයේ ප්‍රතිඵල බෙදා හැරෙන්නේ කෙසේද යන්න ආමන්ත්‍රණය කරනු නොලැබේ. තරගකාරි නොවන වෙළෙඳපොළක් මඟින් සංවර්ධනයේ ප්‍රතිඵල පහළට කාන්දුවීම සිදු නොවෙයි. සෑම අංශයක් අතරද, ” ජනකොටස් අතරද, “විවිධ සමාජ තල අතරද,” විවිධ ප්‍රදේශ අතරද, ප්‍රතිඵල සමානුපාතිකව බෙදී යාම තහවුරු කරන්නේ සංවර්ධනයයි.
වර්ධනයේ ප්‍රතිඵල
ඒක පුද්ගල ආදායම කොතරම් වැඩි වුවද ආර්ථිකය තුළ අසමානතාව, රැකියා හිඟය, දරිද්‍රතාව දිගටම පවතී නම් එය සංවර්ධනය ලෙස හැඳින්විය නොහැකිය. එක් එක් ජන කොටස්, විවිධ සමාජ ස්තර විවිධ ප්‍රදේශ අතර සාධාරණ ආකාරයකට වර්ධනයේ ප්‍රතිඵල බෙදී නොයන විට ප්‍රතිපත්ති සම්පාදකයින්ට හා ආණ්ඩුවට වර්ධනයෙන් අත්හැරෙන නැත්නම් හැලෙන අංශ සඳහා වෙන්වෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිදුවේ.
කාන්තා වැඩසටහන්, දුප්පතුන් සඳහා විශේෂ වැඩසටහන්, ළමා අභිවෘද්ධිය අරමුණු කරගත් වැඩසටහන්, මන්දගාමී කලාප සහ ප්‍රදේශ ආර්ථික ප්‍රවාහයට සම්බන්ධ නොවී ඇති ප්‍රදේශ හා වරප්‍රසාද අහිමි සමාජ කොටස් සඳහා විශේෂ එකිනෙකට සම්බන්ධයක් නොමැති තනිවුණු වැඩසටහන්, එක් එක් සමාජ කොට්ඨාසයන්ගේ ප්‍රශ්න මුල් කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ වර්ධනයේ ප්‍රතිඵල මේ කොටස් වෙත ගලා නොයන බැවිනි.
ආර්ථික සංවර්ධනය සඳහා රටකට වර්ධනය අවශ්‍යය. එනමුත් එය පමණක් ප්‍රමාණවත් නැත. වර්ධනයේ තිරසාර බව තහවුරු කරන්නේ සංවර්ධනයයි.
ඇත්ත වශයෙන් අප පුළුල්ව සාකච්ඡා කරන්නේ වර්ධනයේ, ස්ථායිතාව, ජාතික ආදායම හා ණය, අය වැය ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය ගැනය. රාජ්‍ය ණය හා ජාතික ආදායම අතර අනුපාතය වෙනස් කිරීම, අය වැය හිඟය අඩු කිරීම, විදේශීය ණය සේවාකරණය, ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ ඇති හිඟය අතිරික්තයක් බවට පරිවර්තනය කිරීම, අය වැය ලේඛනයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීම අප නිතර කතා කෙරුණු විෂයයන්ය. අපේ ආර්ථිකය ලබා ඇති බංකොලොත්භාවයෙන් මිදීමට මෙම කරුණු ගැන සැලකිලිමත් විය යුතු බව අප විසින් පුන පුනා කියනු ලැබේ. මෙම සියලුම කරුණු මූල්‍ය කරුණු නොවන්නේ ද? මේවායින් හැඟෙන්නේ අංක ගණිතයට සම්බන්ධ ඉලක්කම් නොවේද?
චන්ද්‍රසේන මාලියද්ද