Home » මුදල් ඇමැති වුණත් නිල රථ අත්හළ යූ.බී. වන්නිනායක

මුදල් ඇමැති වුණත් නිල රථ අත්හළ යූ.බී. වන්නිනායක

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

සුගියදා පරණ පාර්ලිමේන්තුව අසල හැර ගොස් දමා තිබුණේ අධිමිල නිල රථ සමූහයකි. ඒ සමහර වාහනවල වටිනාකම පිරික්සීමේදී එවැනි කෝටි ගණන් වාහන භාවිත කරන රාජ්‍ය නිලධාරින් හෝ දේශපාලකයන් උපදේශකයන් සිටීදැයි කුකුසක් අපට ඇතිවෙන්නේ නිතැතිනි.

වෙළෙඳපළ ආර්ථිකය තුළ ආදේශ භාණ්ඩ හා ආබද්ධ භාණ්ඩ ලෙස භාණ්ඩ වර්ගීකරණයට ලක්වේ. දේශපාලනයේදී ආබද්ද භාණ්ඩ වන්නේ ඩියුටි ෆ්‍රි, වාහන, බාර් පර්මිට්, වැලි පර්මිට් සහ කොමිස්ය. ඊටත් වඩා මන්ත්‍රී ඇමති විශ්‍රාම දීමනාවය. 1977න් පසු බිහිවූ ධර්මිෂ්ට සමාජයේ නිර්මාතෘ ජූනියස් රිචඩ් ජයවර්ධනගේ යුගයේදී එතෙක් සමාජ සේවාවක් වූ දේශපාලනය වෙනස් වී කලින් කියූ දේශපාලකයන් වරදාන බලාපොරොත්තුවෙන් පොදු මහජනතාව දේශපාලනයට ආයෝජනය කරන්නට විය. තවත් කලක් යන විට පුස්බයික් එකේ කැන්වසින් ගිය අපේක්ෂකයා බලයට පත්වී වසර තුනක් යන විට කෝටි අටේ V8 ජීප්වල යන තරමට දේශපාලනය මෙරට අඩුම ආයෝජනයක් කර උපරිම ප්‍රතිලාභයක් ලැබිය හැකි ව්‍යාපාරය බවට පත්වූයේ නිරායාසයෙනි. එහෙත් කොතරම් වාණිජකරණයට අපේ දේශපාලනය ලක්වුවද කිසිදු බාර් පර්මිට් නොගන්නා, ටෙන්ඩර් කොමිසන් නොගන්නා මෙන්ම තමන්ට තමන්ගේ ධුරයට ලැබෙන වාහන පර්මිට් මෙන්ම රටරටවලින් ලැබුණ ප්‍රතිදාන ලබා නොගත් පිරිසිදු දේශපාලන චරිත ද මෙරට සිටි බව අද පරපුර නම් බොහෝ දෙනා දැනුවත්දැයි සැක සහිතය.

ලස්සාකාර ජයසුන්දර වන්නිනායක මුදියන්සේලාගේ උක්කු බණ්ඩා නොහොත් යූ.බී. වන්නිනායක උපන්නේ 1905 නොවැම්බර් 23 වැනි දිනය. එතුමාගේ දියණිය රංජනී මීට වසර 20ට පෙර පුවත්පතකට පවසා තිබුණේ තමාගේ පියා වූ යූ.බී. වන්නිනායක වසර 5ක් මුදල් ඇමැති වුණත් පවුලේ කිසිවකු කිසිදිනක මුදල් අමාත්‍යවරයාගේ නිල වාහනයේ ගමන් කොට නැති බවය.

එම දියණිය එදා වන්නිනායක නම් දේශපාලකයාට නොතිබුණ ‘රථගාය’ හෝ වාහන පර්මිට් ආශාව ගැන කදිම සටහනක් තබා ඇත. ඇය පවසා ඇති පරිදි මුදල් ඇමැතිවරයාගේ නිල රථය භාවිත නොකළ වන්නිනායක මහතා දිනක් තම රියැදුරු නොසිටි බැවින් අය වැය කතාව පවත්වන්න ගොස් ඇත්තේ පුතු සමඟය. අය වැය රහස් පෙට්ටිය ද එහි විය. පරණ පාර්ලිමේන්තුවට ළඟා වන හන්දියේ වූයේ දැඩි රථවාහන තදබදයකි. එදත් අමාත්‍යවරයකු පාරක ගමන් කරනවා නම් පෙර ගමන් – පසුගමන් රථවලින් අඩුවක් නැත. එදා අය වැය කියවන දිනයයි. මේ කබල් මොරිස් රථයේ යන්නේ අය වැය ඉදිරිපත් කරන්නට යන මුදල් ඇමති යූ. බී. වන්නිනායක බව රාලහාමි දැන සිටියේ නැත. “මේ මේ මෙතනින් හරවනවා මේ කබල් කාර් එක. පේන්නැද්ද ඕයි මෙතැන වාහන හිරවෙලා. හරවල ආපහු යනවා. බැරි නම් බැහැලා යනවා.” රාලහාමි මයිනරේ රියැදුරාට හයිරන් පාන්නට විය.

පොලිස් නිලධාරියාගේ කතාව අසා මුදල් ඇමැති වන්නිනායක මෙසේ පවසා ඇත.

“පුතේ අපි නීතියට ගරු කරන්න ඕන. අපි වාහනය හරවමු. කොටුවෙ වෙන පැත්තකින් වාහනය පාර්ලිමේන්තුවට යමු.” වන්නියාක තම පුතුට පැවසීය.

යූ.බී. වන්නිනායක වරක් ශ්‍රී ලංකා මුදල් ඇමතිවරයා ලෙස ඇමෙරිකාවේ වරක් ලෝක බැංකු සමුළුවේ මුලසුන දැරීය. එම සමුළුවේදී යූ. බී. වන්නිනායකට ත්‍යාගයක් ලෙස වටිනා මෝටර් රියක් ලැබුණි.

එහෙත් මුදල් ඇමති යූ. බී. වන්නිනායක උපදෙස් දුන්නේ ත්‍යාගය වෙන්දේසි කොට එම මුදල් මහා භාණ්ඩාගාරයේ ගිණුමට බැර කරන ලෙසය. ලක්රජය වෙනුවෙන් ත්‍යාග ලෙස වටිනා වාහනය භාරගත් නිලධාරීන් යූ. බී. වන්නිනායකට කරුණු පැහැදිලි කර දෙන්නට විය.

“මෙම ත්‍යාගය යූ. බී. වන්නිනායක කියන පුද්ගලයාට පෞද්ගලිකව ප්‍රදානය කරපු තෑග්ගක්. ඒ තෑග්ග ප්‍රදානය කරල තියෙන්නේ ලංකා ආණ්ඩුවට නෙමෙයි.”

බලධාරීන්ගේ කතාව හොඳින් අසා සිටි යූ. බී. වන්නිනායක තම මතය ඍජු ලෙස ප්‍රකාශ කර සිටියේය.

“ලෝක බැංකු සමුළුවේ මුලසුන ගත්තේ ලංකාවේ මුදල් ඇමති මිසක් යාපහුවේ ඉන්න වන්නිනායක කියන ගැමියා නොවෙයි. ඒ නිසා මේ වාහනය ශ්‍රී ලංකා ආණ්ඩුවට ලැබුණ එකක්. වහාම ඒක වෙන්දේසි කරල එම මුදල් ශ්‍රී ලංකා ජනරජයේ භාණ්ඩාගාරයේ ගිණුමට බැර කරන්න.” මුදල් ඇමති වන්නිනායක තම දැඩි ස්ථාවරය කිසිසේත් පස්සට ගත්තේ නැත. යූ. බී. වන්නිනායක වැනි ජනතා මුදලින් නඩත්තු නොවු දේශපාලකයන් ආශ්‍රය කළ දේශපාලන චරිත නිරීක්ෂණයේදීම රට වෙනුවෙන් ඔහු දැරූ ස්ථාවරය පැහැදිලි කොටගත හැකිය. යූ. බී. වන්නිනායක ආශ්‍රය කළ දේශපාලඥයන් වන්නේ සර් ජෝන් කොතලාවල, ඒ. රත්නායක, ඇම්.ඩී. බණ්ඩා, ඩඩ්ලි සේනානායක සහ ගාමිණී ජයසූරිය වැනි උදවියයි.

මේ අතින් ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍ය ධුරයේ සමුගත් දිනට පසුදිනක දුටු දර්ශනයක් අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා තිබුණේ මෙසේය.

“ඩඩ්ලි මහත්තය අගමැති ධුරයෙන් සමුගත්ත දිනට පසු දින අපි අපේ එවකට නායක ස්ථවිරයන් එක්ක බණකට නුවර පළාතකට වැඩියා. එහෙම යනකොට ඩඩ්ලි මහත්තය තනියෙන්ම තමන්ගේ පර්ජෝ 404 රථය එලවගෙන ඇවිල්ල නවත්තලා තමන්ගේ Box කැමරාවෙන් කඳුකරේ තියෙන මල්වල පින්තූර ගනිමින් හිටියා.”

වන්නිනායකගේ තවත් මිතුරකු වූයේ හෝමාගම ගාමිණී ජයසූරියයි. ඔහු හෝමාගමට බාර් ලයිසන් නොගත් පුද්ගලයකු ලෙස ද ප්‍රකටය. ජීවිතයේ අවසන් කාලයේ වන්නිනායක නම් වූ අව්‍යාජ දේශපාලකයා බරපතළ ලෙස රෝගාතුර විය.

අද මෙන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඔහුව ඇතුළු කරන්න වන්නිනායකගේ දරුවන්ට වත්කමක් තිබුණේ නැත. ඔවුන් වන්නිනායකව ඇතුළු කළේ කුරුණෑගල රජයේ ඉස්පිරිතාලයටය. එහෙත් එවක රටේ පාලකයා වූ ජනපති ජේ. ආර්. ජයවර්ධන වන්නිනායකව කොළඹට ගෙනවිත් ගෙවන වාට්ටුවකට ඇතුළු කරන ලෙස දැන්වූ නමුත් යූ.බී. වන්නිනායක එය ප්‍රතික්ෂේප කරන ලදි.

“මාව පින් වාට්ටුවට ඇතුළු කරන්න. අනික ගෙවන වාට්ටුවට යන්නේ ලස්සනට බිත්ති තීන්ත ගාලා, ෆෑන්දාලා තියෙනවා බලන් ඉන්නද? මට නම් සැපයි පින් වාට්ටුවේ මිනිසුන් එක්ක ඉඳල මැරෙන එක.” ඒත් කනගාටුදායක ලෙස දියවැඩියා රෝගය උත්සන්නවී වන්නිනායක මිය පරලොව යන ලදි. යූ. බී. වන්නිනායක මියැදෙන විට බිරියටත් දරුවන්ටත් යැපෙන්නට තරම් ආදායමක් නොවීය. අන්තිමට බිරිය චන්ද්‍රා තම සැමියාගේ පැන්ෂන් එක හදාගන්න සූදානම් විය. එනම් දේශපාලනයට එන්නට පෙර කුරුණෑගල මලියදේව විදුහලේ විදුහල්පතිවරයා විය. වන්නිනායකගේ බිරිය චන්ද්‍රා තම සැමියාගේ විශ්‍රාම වැටුප සකස් කරගන්නට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගියේ තම දරුවන් ද කැටිවය.

“ඉතා කනගාටුයි මිසිස් වන්නිනායක, මහත්තයා වැන්දඹු අනත්දරු අරමුදලට වැටුපෙන් මුදල් කපා යවන්න අත්සන් කරල නෑ. ඒ නිසා පැන්ෂන් එක දෙන්න විදිහක් නැහැ.” විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියා වන්නිනායකගේ බිරියට දන්වන ලදි.

අන්තිමේදි රටට සේවයක් කළ වන්නිනායකගේ අඹු දරුවන්ට පිහිටට ආවේ ජේ.ආර්. ජයවර්ධනගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් සංකල්පයයි. අප කොතරම් මන්ත්‍රී විශ්‍රාම වැටුපට විරුද්ධ වුවත් මුළු රට වෙනුවෙන් සබ්බ සේසතම වැයකොට මියැදෙන විට එම අඹුදරුවන් රැකගන්නට ප්‍රයෝජනවත් වන මන්ත්‍රී විශ්‍රාම වැටුප මහෝපකාරී වූ අවස්ථා ද අපට දැකගත හැකිවී තිබේ. බොහෝදෙනා විරුද්ධ වන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නා කාලය තුළ ජාවාරම් කොට කෝටිපතියන් වී මන්ත්‍රී ධුරයෙන් විශ්‍රාම යන විට විශ්‍රාම වැටුපට හිමිකම් කියනා බඩගෝස්තරවාදී දේශපාලකයන්ටය. මන්ත්‍රී වාහන පර්මිට් එකට, පාර්ලිමේන්ත කැන්ටිමේ කෑමට, ටෙන්ඩර් කොමිස් ගැසූ බඩගෝස්තරවාදී දේශපාලකයන්ට නොහොත් හාල්පාරුවන් යූ.බී. චරිතය අධ්‍යයනය කළ යුත්තේ ඒ නිසාමය.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division