උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දියේ සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මඟෙහි දුම්රිය සංඥා ස්ථාපිත නොකිරීම නිසා දුම්රිය ධාවනය කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
උතුරු දුම්රිය මඟ පූර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ එම දුම්රිය මඟ ජනවාරි මාසයේ සිට මාස 10ක කාලයක් වසා දමා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ අතර මේ වන විට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ වැඩ අවසන් කළද දුම්රිය ධාවනයට අත්‍යවශ්‍ය සංඥා පද්ධතිය ස්ථාපිත නොකිරීම නිසා දුම්රිය ධාවනය කළ නොහැකිව ඇත.
අමෙරිකානු ඩොලර් මිලියන 91.27ක අතිවිශාල මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ මහව සිට ඕමන්තේ දක්වා වූ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 66.4ක දුරකින් යුක්ත මහව සිට අනුරාධපුරය දක්වා වන කොටසේ දුම්රිය සංඥා පද්ධතිය ස්ථාපිත කර නැත.
එම දුම්රිය මාර්ගයේ මීට පෙර භාවිත කළ බ්‍රිතාන්‍ය සමයේ සිට පැවැති සැමෆෝ හා ටැබ්ලට් සංඥා පද්ධතිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුත් සමඟ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. මේ නිසා ටැබ්ලට් සංඥා ක්‍රමයට අනුවද දුම්රිය ධාවනය කළ නොහැකිව ඇත.
පළමුව දුම්රිය මාර්ගයට පමණක් ගිවිසුම් අත්සන් කිරීම නිසා සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට නොහැකිවී ඇති අතර මේ තත්ත්වය නිසා දුම්රිය ධාවනයට සංඥා නොතිබීම පමණක් නොව මහව හන්දියේ සිට අනුරාධපුරය දක්වා සියලු දුම්රිය හරස් මාර්ගද අනාරක්ෂිත වී ඇත. නිරතුරුවම බස් රථ ධාවනය වන ප්‍රධානතම හරස් මාර්ග 7ක් මේ මාර්ග කොටසේ ඇති අතර ඊට අමතරව හරස් තවත් මාර්ග 50කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත.
මේ තත්ත්වය නිසා කොළඹ සිට යාපනය දක්වා ධාවනය කළ සියලු දුමිරිය මාස 10ක් තිස්සේම අතිහිටුවා ඇති අතර අනුරාධපුරය දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන් ඇතුළු සියලු මගීන්ද දැඩි අපහසුතාවන්ට පත්ව තිබේ. සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය මුහුදුබඩ දුම්රිය මාර්ගය මාස 2ක් තුළදී යළි දුම්රිය ධාවනයට එක් කළ අතර, කොවිඩ් සමයේ හෝ මෙතරම් කාලයක් දුම්රිය ධාවනය නොකළ අවස්ථාවක් නොමැති බව දුම්රිය වෘත්තීය සමිති විසින්ද පෙන්වා දී ඇත.
ජනාධිපතිවරණයට පෙර සතියේ මේ මාර්ගයේ දුම්රිය අනාරක්ෂිතව සංඥා නොමැතිව ධාවනය කරන ලෙස දුම්රිය හිටපු ප්‍රවාහන ඇමැතිවරයා විසින් ලබා දුන් උපදෙස් අනුව දුම්රිය ධාවනය කිරීමට බලධාරීන් උත්සාහ කළද දුම්රිය සේවකයන් විසින් මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් අනුව දුම්රිය ධාවනය කිරීම කොමිසම විසින් අත්හිටුවන ලදි.
සංඥා ස්ථාපිත නොකර මේ මාර්ගයේ දුම්රිය පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගමන් කරවීමට මේ වන විට දුම්රිය සැලසුම් කර ඇති අතර සංඥා වෙනුවට ටෝකන් පතක් ලබා දී සියලු දුම්රිය ස්ථානවල මෙන්ම දුම්රිය හරස් මාර්ග අසලද දුම්රිය ධාවනය කරන ලෙස දුම්රිය කාර්ය මණ්ඩල වෙත දැනුම් දී ඇත.
එහෙත් දුම්රිය ලොකොමොටිව් ඉංජිනියරින් (රියදුරු සංගමයේ ) සභාපති චන්දන ලාල් මහතා පැවැසුවේ මඟී බස් රථ පවා ගමන් ගන්නා මාර්ග දුම්රිය මාර්ග හරහා යෙදී ඇති බවත් ටෝකන් ක්‍රමය මඟින් දුම්රිය ධාවනය කළත් අවම වශයෙන් ප්‍රධාන හරස් මාර්ග ආරක්ෂිත කරන තෙක් දුම්රිය ධාවනය කළ නොහැකි බවයි. එසේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේද මාර්ගය සකස් කිරීමේදී ටැබ්ලට් සංඥා ක්‍රමය භාවිත කළ හැකි සේ සිදු කළේ නම් මේ ගැටලුව සිදු නොවන බවයි. ආරක්ෂාකාරී නොවන ලෙස දුම්රිය ධාවනයට තම සංගමයද එකඟ නොවන බවත් අවසානයේ නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ සේවකයන්ට බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ සංඥා පිළිබඳ ගැටලුවක් ඇති බවත් එය ව්‍යාපෘතිය ආරම්භයේදී සංඥා අංශය හා අමාත්‍යාංශයේ ඇති වූ කරුණු නිසා අඩුවක් සිදුව ඇති බවයි.
කෙසේ හෝ මඟී අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් යාල්දේවි දුම්රිය ආරම්භ කිරීමට කටයුතු යොදමින් තිබෙන බවත් පසුව ක්‍රමයෙන් දුම්රිය සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු යොදන බවයි. කෙසේ වුවත් සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම කඩිනමින් කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
තාරක වික්‍රමසේකර