ඉදිරි මහමැතිවරණයට මාලිමාව සූදානම්ද?
මේ රටේ ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී පැහැදිලි පණිවුඩයක් ලබා දුන්නා. රට පාලනය කරපු දූෂිත කණ්ඩායම්වලට විරුද්ධව ජනතාවගේ විරෝධය ඉතා පැහැදිලිව ජනාධිපති මැතිවරණයේදි අපි දැක්කා. ඒ අනුව පසුගිය 21 වැනිදා අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිධූරයට පත්වෙන්නේ. අපි ඉදිරිපත් කරපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන වැඩපිළිවෙළ ජනතාව අනුමත කර තියෙනවා. අපිට ඡන්දය දීපු ජනතාව පමණක් නොවෙයි; අපි මේ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළ දිහා බලලා තවත් බොහෝ පිරිසක් අපිට ඡන්දය දීමට සූදානමින් ඉන්නවා. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජනාධිපති ධූරය ප්රමුඛ කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අපිට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.
ඡන්ද ප්රතිඵලවලදී අපි දැක්ක කාරණාවක් තමයි ඇතැම් ප්‍රදේශවල මාලිමාවේ නායකත්වය පිළිගෙන තිබුණේ නැහැ. ඔබේ පක්ෂය එම ප්‍රදේශවල ජනතාවට නිසි ආමන්ත්‍රණයක් සිදුකර නැති බවක් අපි දකිනවා?
සමහර ප්‍රදේශ අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. ඒ ජනතාව ඒ මොහොතේදී අනෙක් අපේක්ෂකයන් දුන් පොරොන්දුවලට රැවටුණා කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් ඒ ජනතාවට දැන් අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදීමක් තියෙනවායි කියා අපි විශ්වාස කරනවා.
ඒ ජනතාව දැනුම්වත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවාද?
ඒ මිනිසුන්ගේ විශ්වාසය තහවුරු වන හොඳ කණ්ඩායමක් මහමැතිවරණයේදී අපි ඉදිරිපත් කරනවා. ජනාධිපතිවරණයේදී අපට ඇහුම්කන් නොදුන් ජනතාව අපේ ප්‍රධානතම වගකීම බවට පත්වෙලා තියෙන්නේ; සමහරවිට අපේ ප්‍රතිවාදියා විසින් අප ගැන හදපු බිය එයට බලපාන්න ඇති. ඒ ප්‍රතිවාදියා කියපු දේවල් අද වන විට සුනු විසුනු වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ මැතිවරණයේදී ජනතාව තීන්දු කරයි ; කළ යුතු සුදුසුම දේ කුමක්ද කියලා.
තුන්දෙනකුගෙන් රටක් ගෙනියනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මෙය අසීරු කාර්යයක්. මේ කර්තව්‍ය පිටුපස සිටින පිරිස ගැන කිව්වොත්?
අපගේ කැබිනට් මණ්ඩලය තුන්දෙනෙක් වුණාට ඒ අයත් සමඟ රට ඉදිරියට ගෙනයාමට විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ කණ්ඩායම මහන්සි වෙලා වැඩ කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට හැම අමාත්‍යාංශයකටම ඒ දායකත්වය ලැබෙනවා. ඒ නිසා එය නිලභාවයට පත් කරගැනීමයි මහමැතිවරණයේදී සිදුවෙන්නේ. එය ජයග්‍රහණය කර කැබිනට් මණ්ඩලය විසිපහකින් නියෝජ්‍ය ඇමැතිධුර විසිපහකින් පත් කර ගැනීමෙන් පසුව ස්වේච්ඡාවෙන් වැඩ කරන පිරිසත් සමඟ මේ කටයුතු ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. දේශීය විදේශීය ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ තමන්ගේ දායකත්වය ලබාදීලා තියෙනවා.
ජනාධිපතිවරයා බලයට පත්වී ඉතාම කෙටි දිනයි ගත වුණේ; විදෙස් සංචිත වැඩිවෙලා තියෙනවා. මේ වෙනස ගැන ඔබ දකින්නේ කොහොමද?
විදේශගත ලාංකිකයන් තුළ රට පිළිබඳව විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ අය අපේ බැංකු පද්ධතිය හරහා මුදල් එවමින් පවතිනවා. ඇත්ත වශයෙන්ම විදෙස් සංචිත තවත් ශක්තිමත් වෙයි. බලයට පත්වී දින කිහිපයකින් සංචිත ශක්තිමත් වෙලා තියෙන්නේ ඒ අයට අපි ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා. එය තව ශක්තිමත් වෙයි. ඒ අතරෙම සංචාරක ව්‍යාපාරය හරහා ලැබෙන මුදල් සහ විදෙස් ප්‍රේෂණ තව ඉහළ යාවි. ඒවගේම අපි බලාපොරොත්තු වෙනවා; ආයෝජන වැඩි වෙයි කියලා.
පසුගිය රජය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ කොටස් විකිණීමට සහ එසේ නොමැති නම් විකුණා දැමීමට සූදානම් කර ගෙන තිබූ ඇතැම් ආයතන විකුණා නොදමන බව නව පාලනය කියනවා. එවැනි පියවරක් ගැනීමට හේතුව කුමක්ද?
කලින් හිටපු පාලකයන්ට තිබුණ සරල පිළිතුර තමයි විකිණීම. ඔවුන් ඒ ආයතන පවත්වාගෙන යාමෙදීත් ගසා කෑවා. විකිණීමෙදිත් ගසා කන්න සූදානම් වුණා. ඒ වෙනුවට මේ ආයතන රටට ඵලදායි ආයතන බවට පත්කරන්න අපේ කණ්ඩායම විශාල වෙහෙසක් දරමින් ඉන්නවා. විකිණීම කියනදේ උත්තරයක් නොවෙයි. මේ ආයතනවල වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට ගෙනයාමයි කළ යුත්තේ. එයට සුදුසු විදිහට පාලනයක් ඒ ආයතනවලට පත්කරලා තියෙනවා. ඒ අය ඒ ආයතන ආරක්ෂා කරගනිමින් ලාභ ලබන තැනකට පත් කරාවි. විකිණීම වෙනුවට ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමයි වැදගත් වෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති බලයට පත්වූ කාලයේදී මෙන් ජනතාව රට ගොඩනැඟීමට පෙළ ගැහිලා ඉන්නවා නේද? මේ ප්‍රසාදය අඛණ්ඩව පවත්වා ගැනීමටට වැඩපිළිවෙළක් තියෙනවාද?
සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවකින් අලුත් ජනාධිපති කෙනෙක් බලයට පත්වූ පසුව ජනතාව අලුත් බලාපොරොත්තු ඇති කරගැනීම සහ කැපවීම් කරනවා. ඒත් බලයට පත්වූ කිසිදු කෙනෙක් රට වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. නමුත් අනුර කුමාර ජනාධිපතිවරයා ඒ සියලු දෙනාගෙන්ම වෙනස්. ඔහු සාමූහිකව මේ රට ඉදිරියට ගෙනයාමේ පොරොන්දුව මත රට ගෙනියනවා. එතුමා ජනතාවට කිව්වා අපිට ඡන්දය දෙන ජනාධිපතිවරයෙක් පත් කරන්න; එතැන් සිට ආදර්ශයෙන් අනෙක් අය රට පාලනය කරයි කියලා. ජනතාව ඒ දේ අද කළා. පසුගිය කාලයේ මේ රට පාලනය කළ ජනාධිපතිවරුන් වගේ නොවෙයි; මේ රට පියවරින් පියවර අද ඉදිරියට යනවා. ජනතාවගේ කැමැත්ත වැඩිවෙලා නැවත මේ රට ගොඩනැඟීමේ අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. ජනතාවගේ විශ්වාසය ජනතාව හිතනවටත් වඩා ආරක්ෂා කරන්න අපිට පුළුවන්.
අපිට පුද්ගලික අභිලාෂයක් නැහැ. රට ඉදිරියට ගෙනයාමේ අභිලාෂය පමණයි අපිට තියෙන්නේ. ජනාධිපතිවරයා කටයුතු කරන්නේ සාමූහිකව ඒ ප්රයත්නය වෙනුවෙනුයි. ජනතාවට එය දැනෙනවා. ඡන්දය නොදුන් පිරිස පවා මෙය සාධනීයව භාරගෙන තියෙනවා.
ජාතික ජන බලවේග පාලනය යටතේ IMF සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාද?
දැනටමත් අපි සාකච්ඡා කරලා තියෙනවා. අපේ ආණ්ඩුවත් සමඟ ඉදිරියට යන්න ඒ අය කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අය ලංකාව පැමිණෙනවා. ඊළඟ වාරිකය ලබා ගැනීම මෙන්ම රටේ ආර්ථික කළමනාකාරීත්වයේදී එහි දායකත්වය ගැන මෙන්ම ජනතාව මත පටවා තිබෙන පීඩාව අඩු කිරීම ගැන අපි සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ පාසල් උපකරණ සම්පූර්ණයෙන් බද්දෙන් නිදහස් කරනවා කිව්වා නේද? කවදද මේ දේවල් සිදුවෙන්නේ?.
දැනටමත් ජනතාවට යම් සහනයක් ලබා දීලා තියෙනවා. දැනටමත් අපි තෙල් මිල බස් ගාස්තු අඩු කර තියෙනවා. විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. මේ සමඟම වෙළෙඳපොළ භාණ්ඩවල මිල අඩු වෙයි කියලා අපි හිතනවා. ඒ වගේ ම මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයට වැට් බදු අඩුකර සහනයක් ලබා දීමට කටයුතු කරනවා. මේ ජනතාවගේ පිට පැටවී ඇති බර අඩු කරමින් ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ලබාදීම අපේ අපේක්ෂාවයි.
අපනයන ක්ෂේත්රය දියුණු කිරීමට ඉදිරියේදී ගනු ලබන තීන්දු මොනවාද?
තවමත් පත් කර ගත්තේ ජනාධිපතිවරයෙක් පමණයි. මේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි. නොවැම්බර් 14 පැවැත්වෙන මහමැතිවරණයේදී අපට ශක්තිමත් ආණ්ඩුවක් ලැබේවි. ඉන්පසුව ඉදිරියේදී අමාත්‍යාංශ යටතේ එක් එක් ක්ෂේත්රවල වැඩකටයුතු විධිමත්ව සිදුකිරීමට අපි කටයුතු කරනවා. දේශීය හා විදේශීය ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ගොඩනැඟී තිෙබනවා. ඒවගේම ලෝකයේ ආයෝජකයන් සහ වෙනත් රටවල් ලංකාව කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. ජනතාව විසින් සිදුකරන ලද වෙනස ලෝකය විසින් සාධනීය ලෙස භාරගන්නා ආකාරයක් පෙන්නුම් කරනවා. ආසියානු සංවර්ධන බැංකුවත්, ලෝක බැංකුවත් පසුගිය කාලයේ නතර කළ ජපන් ව්‍යාපෘති එකොළහක ගිවිසුම් ඔක්තෝබර් මාසයේදි අත්සන් කෙරෙන අතර ඉන්දියාවත් සමඟ සිදු කෙරෙන ආයෝජන කිහිපයක් පිළිබද සාකච්ඡා කරනවා. තානාපති කාර්යාල බොහෝමයක් සමඟ අපි සාකච්ඡා කළා. ඒවා සියල්ල අපි සමග තාක්ෂණිකව හෝ වෙනත් ආයෝජන කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තියෙනවා.
ලෝකයේ බොහෝ රටවල පාලනය මේ වනවිට වාමාංශික දේශපාලන ප්රවාහයකට ගමන් කරමින් පවතිනවා. මේ වෙනස අපේ රටෙත් ඇතිවෙමින් පවතිනවා නේද? එයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
ජනතාවාදී ප්රගතිශිලී පිළිවෙතක් කරා ලෝකය ගමන් කරමින් පවතිනවා. කොවිඩ් වසංගතයත් සමඟ ඇති වූ තියෙන ආර්ථික අර්බුදයත් සමඟ මීට කලින් ඒ රටවල පැවැති ආණ්ඩු ප්‍රතික්ෂේප වීමට ලක්වුණා. ඒ සමඟම ආර්ථික අර්බුදය ලෝකයේ ප්රමුඛ මාතෘකාවක් බවට පත්වුණා. ඒ සමඟ ඒ අභියෝගයට මුහුණ දීමට හැකි ප්රගතිශීලි ආණ්ඩු තමයි ලොකයේ බලයට පත්වෙන්නේ. ලංකාවත් එහි ආසන්න උදාහරණයක්. වෙනවෙන ප්‍රශ්නවලින් යට කරලා තිබුණ ලෝක දේශපාලන සංදර්භය ආර්ථික ප්‍රශ්නයත් සමඟ වෙනස්කම් වලට භාජනය වුණා; එයයි මේ වෙනස්කම්වලට හේතුව වී තියෙන්නේ
සුභද්‍රා දේශප්‍රිය