Home » පොහොට්ටුවේ ඡන්ද මාලිමාවට ගියේ හිටපු පාක්ෂිකයන්ගේ කලකිරීම නිසා

පොහොට්ටුවේ ඡන්ද මාලිමාවට ගියේ හිටපු පාක්ෂිකයන්ගේ කලකිරීම නිසා

පොදු ජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

එදා 69 ලක්ෂයක ඡන්ද පදනමක් තිබුණු පක්ෂයකින් කැඩී ඔබ ඇතුළු පිරිසක් හිටපු ජනාධිපතිට සහාය දැක්වුවා. නමුත් අපේක්ෂිත ඡන්ද ප්‍රමාණය ලැබුණේ නැහැ?

ජනාධිපතිවරණයෙන් ඡන්ද පදනම වැඩිකරගත් කණ්ඩායම් දෙකයි ඉන්නේ. ඒ ජාතික ජන බලවේගය හා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන් පොහොට්ටුවේ කණ්ඩායම. මෙවර ජාතික ජන බලවේගය 3% සිට 42% දක්වා ඡන්ද පදනම වැඩිකර ගත්තා. නමුත් ලියාපදිංචි ඡන්දවලින් ඔවුන් අරගෙන ඇත්තේ 33% යි. රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහමැතිවරණයේදි ගත් ඡන්ද ලක්ෂ දෙකේ සිට ලක්ෂ 23 ක් මෙවර ගත්තා. ඒ වුණත් වැඩි ප්‍රමාණයක් ගත් පොහොට්ටුවේ ඡන්ද පදනම මෙවර 2.5% දක්වා අඩුවෙලා වගේම සජබයේ ඡන්ද ප්‍රමාණයත් අඩුවෙලා තියෙනවා.

මැති ඇමැතිවරු පක්ෂ අතහැර ප්‍රධාන පක්ෂ දෙකට එකතු වුණාට අපේක්ෂිත වැඩි ඡන්ද ප්‍රමාණයක් නොලැබුණු බවට සහතිකයි නේද?

හිටපු ජනාධිපතිවරයාගේ ඡන්ද පදනම වැඩිවුණේ පොහොට්ටුවේ ඡන්ද නිසයි. එතුමා වේදිකාවේ කිව්වේ මේ කණ්ඩායම නැතිනම් මට රට ගොඩගන්න බැහැ කියලයි. මේ නිසයි අපි විශ්වාස කළේ ඉතුරු කාලයත් රට ගොඩ දාන්න නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බව. ආණ්ඩුවට සහයෝගය දුන් අපේ මන්ත්‍රීවරු එකතු වෙලා රට ගොඩ ගන්න කටයුතු කිරීම ගැන අපි ඇත්තටම සතුටු වෙනවා.

බොහෝ දෙනා පවසනවා මෙවර ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම වැඩි වීමට පොහොට්ටුවේ කැඩුණු ඡන්ද හේතුවක් වූ බව?

පොහොට්ටුවේ ඡන්ද ප්‍රමාණයක් මාලිමාවට ගියා. ඒ හිටපු පාක්ෂිකයන්ගේ කලකිරීම නිසා. ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම 3% සිට 42%ක් දක්වා වැඩි වන්නේ පාවෙන ඡන්ද නිසා. ඔය රැල්ලම තමයි අනිත් පැත්තටත් යන්නේ. රටේ ජනතාවගේ හැසිරීම සම්බන්ධව අපිට පූර්වාදර්ශ පවතිනවා. අරගලයෙන් ඇති වූ කලකිරීම ජනතාව අතර තිබුණා. අරගලයේ උපරිම ප්‍රයෝජන ගත්තේ ජාතික ජන බලවේගයයි.

හිටපු ජනාධිපතිවරයාට නිසි කෘතගුණ සැලකීමක් නොදැක්වූ බවට චෝදනා එල්ල වෙනවා?

අද මාලිමාවේ නායකයෝ පවා රනිල් වික්‍රමසිංහ මහතා කළ කාර්යභාරය අගය කරනවා. බුද්ධිමත් අය මැතිවරණයේදි කෘතගුණ දැක්වූවා. ආර්ථිකය ගැන නොදන්නා අය වෙනසක් ඇති කිරීමට අනිත් පැත්තට ඡන්දය දුන්නා. අපි සන්තෝස වෙනවා ජනාධිපතිතුමා කළ කාර්යයේ කොටස්කාරයෝ වීම ගැන.

දෙපැත්තම එකට එකතු වී ඡන්දය ඉල්ලුවා නම් මීට වඩා ජයග්‍රහණයක් ලැබිය හැකිව තිබුණා නොවේද?

අරගලයෙන් පසුව ඇති වූ තත්ත්වය තුළ පොහොට්ටුවත් සමඟ ජනතාව තුළ වෛරයක් ඇතිවුණා. පොහොට්ටුවට තිබුණා ජනාධිපතිවරණයේදි කැමති අයට කැමති පක්ෂයකට සහයෝගය ලබාදීමට ඉඩදී නිහඬව සිටින්න. 2022 ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියපු දේ කරලා පෙන්වුවේ නැතිනම් අපිටත් විකල්පයකට යන්න තිබුණා. නමුත් එතුමා කියපු දේ කරලා පෙන්වුවා.

ඉදිරියේදි මහමැතිවරණයට මුහුණ දෙන්නේ සන්ධාන ගතවද? හිටපු ජනාධිපති රනිල්ගේ නායකත්වය යටතේ එය සිදුවෙයිද?

අපි මේ වන විට සාකච්ඡා කරනවා එයට මුහුණ දෙන්නේ කෙසේද කියා. ළඟදීම අවසන් තීන්දුවක් ගනියි. අපි බලාපොරොත්තු වෙන්නේ සන්ධානගත වීමකට. අපි මේ රටේ ප්‍රබල විපක්ෂයක් හැදිය යුතුයි. එවිටයි ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිය හැක්කේ. ආණ්ඩුව කරන හොඳ දේවලට එකඟ වෙන්නත් නරක දේවලට විරුද්ධ වන්නටත් එවිට හැකියි.

පොදු ජන පෙරමුණ මහ ලේකම්වරයා පැවැසුවා පක්ෂය හැර ගිය පිරිස් නැවත එක්කර නොගන්නා බව? මේ පිළිබඳ මතය පැවැසුවොත්?

පොහොට්ටුවට මේ අවස්ථාවේ ගිහින් වැඩක් නැහැනේ. පොහොට්ටුවේ 2.5% ඡන්ද ප්‍රතිඵලය අඩු වෙනවා මිස වැඩි වෙන්නේ නැහැනේ. ඊට වඩා අපේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මේ වන විට තරුවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. තරුව අලුත් පක්ෂයක් හා අලුත් දර්ශනයක් සමඟ යන පක්ෂයක් නිසා එතැනට යන්න කැමැතියි.

ඔබ පවසන්නේ දිලිත් ජයවීර මහතාගේ පක්ෂයත් සමඟ සන්ධානගත වන බවද?

අපිට පොහොට්ටුව කෙරේ විශ්වාසයක් නැහැනේ. ඔවුන් යොදන පිරිස්වලට ඇති පිළිගැනීම අඩුයි. පොහොට්ටුව ලැබූ ඡන්ද පදනමට අනුව ජාතික ලැයිස්තුවෙන් හෝ කිසිදු මන්ත්‍රීවරයෙක් පත්වීමට ඉඩක් නැහැ. අපි මේ වන විට කුසලානය නැමැති පක්ෂයක් සාදා තියෙනවා. පක්ෂයක් ලෙස අපි තනිව තරග කළොත් එයට ශක්තියක් නැති වෙනවා. ඒ නිසා අපි සන්ධානගත විය යුතුයි. ඒ සඳහා පොදු එකඟ වන සලකුණක් හරහා තරග කළ යුතුයි. අපි සියල්ලටම තරග කළ හැකි වේදිකාවක් සකස් විය යුතුයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division