Home » දිලිත් සැලුන් දොර අරී

දිලිත් සැලුන් දොර අරී

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්තම පෙරළිය සිදු වී සති දෙකක් ගෙවී ගොස් ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ කුඩාම කැබිනට් මණ්ඩලය මේ වන විට දැඩි කාර්යය බහුලතාවයකට පත්ව සිටී.

විරුද්ධ පක්ෂය පුළුල් සන්ධානගත වීමක් ගැන කතා කළද, මේ වන විට එකිනෙකාගේ යම් යම් කොන්දේසි හේතුවෙන් එවැනි පුළුල් සන්ධානගත වීමක් මේ දක්වා සිදු වී නොමැත.

ජනපති කාර්යාලය කාර්ය බහුලයි

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව මේ ගෙවන්නේ දෙවන සතියයි. මේ දිනවල ජනාධිපති ලේකම් කාර්යාලය කාර්ය බහුල වී ඇත්තේ ජනාධිපතිවරයා සහ රාජ්‍යතාන්ත්‍රිකයින් අතර සිදුවන මුණ ගැසීම් නිසයි. විවිධ රටවල තානාපතිවරුන් විශාල පිරිසක් මේ වන විටත් ජනාධිපතිවරයා හමුවී ශූභාශිංසන පළ කර තිබෙන අතර දෙරට අතර සහයෝගිතාවය පළකරමින් ඉදිරියට කටයුතු කිරීමට ප්‍රතිඥා ලබාදී තිබේ.

ජනපති අනුර හමුවීමට අමුත්තෙක්

මේ අතර ජනාධිපතිවරයා හමුවට පැමිණ විශේෂ අමුත්තෙක් ගැනද සඳහන් වේ. ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක ශ්‍රීදරන්ය. පසුගිය පළමුවැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ඔහු මල් කළඹක් දී වැලදගනිමින් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර තිබේ. “මේ අවුරුදු පහ ඔබතුමාගේ වැඩ කටයුතු වෙනුවෙන් මාගේ පූර්ණ සහයෝගය ලබාදෙනවා. අපේ ජනතාවත් මට කිව්වා මේ වෙලාවේ ජනාධිපතිවරයාට සම්පූර්ණ සහයෝගය ලබාදන්න ඕනෑ කියලා. ඒ නිසා මේ වසර පහ සහයෝගය ලබාදෙනවා. මම සහයෝගය ලබා නොදුන්නත් දෙමළ ජනතාව ඔබතුමාගේ වැඩපිළි‍වෙළට සහයෝගය ලබාදෙනවා කියලා මට විශ්වාසයි. “ හිටපු මන්ත්‍රීවරයා සිනාසෙමින් කියා සිටියේය.

“අපේ බලාපොරොත්තුවත් එහෙමයි. අපිට ඡන්දේ දුන්න නොදුන්න සියලු දෙනා රට සංවර්ධනය කිරීමේ අපේ වැඩපිළිවෙළ වෙනුවෙන් දායක කර ගැනීම තමයි අපේ එකම අරමුණ.’ ජනාධිපතිවරයා එහිදී කියා තිබේ. මෙම අවස්ථාවට හිටපු මන්ත්‍රී බිමල් රත්නායකද එක්ව සිටියේය.

ජනපති රාජ්‍ය සේවකයන්ට දුන් සහතිකය

මේ අතර ජනාධිපතිවරයා තමන්ට අයත් අමාත්‍යාංශවල වැඩ භාර ගන්නා අවස්ථාවලටද සහභාගි විය. පසුගිය 3 වැනිදා පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ බාරගන්නා අවස්ථාවට ඔහු එක්ව සිටියේය. එහිදී අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන ලදි. ඒ ඉදිරි මැතිවරණයෙන් පසු සුදුසු ඇමැතිවරයෙක් වෙත අමාත්‍යාංශ භාරදෙන තුරු රාජ්‍ය පාලනය බිඳ නොවැටී පවත්වාගෙන යෑම සඳහා උපරිම දායකත්වය තමන්ට ලබාදෙන ලෙසයි.

“මම අනෙක් අය වගේ මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැහැ. මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය සේවයකයින් ප්‍රශ්න කරලා අපහසුතාවයට පත් කරලා වැඩ කරන්න මම කැමති නැහැ. අපි බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා වන ඔවුන් තෘප්තිමත් වෙන රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන්නයි. ඒ වෙනුවෙන් අපේ ආණ්ඩුවක් ඉදිරියේදී කැපවෙනවා“ ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දුන් ආකාරයටම අමාත්‍යංශවල වැඩ භාරගැනීම්ද ඉතා සරල හා චාම් උත්සව බවට පත්විය. එම ආයතනවල නිලධාරීන්ටද එම අවස්ථා ඉතා සැහැල්ලු සාමාන්‍ය රාජකාරි බවට පත්විය.

නවීකරණය කරලා සති දෙකයි

මේ දිනවල ඇතැම් අමාත්‍යාංශවලින් යම් යම් තොරතුරු වාර්තා වෙමින් පවතී. මෙහි අවසන්වරට සිටි අමාත්‍යවරයා වියලේන්ද්‍රන්ය. වියලේන්ද්‍රන් පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පැමිණි පසු අමාත්‍යාංශයේ පිහිටි තම කාර්යාල කාමරය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමට උපදෙස් ලබාදී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

කාපට් ඉවත් කර අලුතින් කාපට් අතුරා තවත් නවීකරණ කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දුන්නද එහි නවීකරණය කිරීමෙන් පසුව ඔහුට රාජ්‍ය අමාත්‍ය ධුරයේ සිටීමට සිදු වුයේ සති දෙකක් පමණි. ඊට හේතු වූයේ මැතිසබය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීමයි.

ලෙටර් හෙඩින්ග්ස් 5000ක් ගහපු ඇමැති කවුද?

නසීර් අහමඩ්ද පසුගිය ආණ්ඩුව සමයේ සිටි තවත් කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු ඉසිලූයේ පරිසර අමාත්‍ය ධුරයයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වූ නිසා නසීර් අහමඩ්ට අමාත්‍ය ධුරය අහිමි විය.

පරිසර අමාත්‍ය ධූරය භාරගත් පසුව නසීර් අහමඩ් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ අමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂ (Letter Head) 5000ක් මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලෙසයි.

“සර්, මීට කලින් හිටපු පරිසර ඇමැති මහින්ද අමරවීර මහත්තයත් ගැහුවේ ලෙටර් හෙඩින් 500යි. 5000ක් වැඩි නැද්ද” යනුවෙන් නිලධාරියෙකු විසින් පෙන්වා දෙන ලදි.

නමුත් නසීර් අහමඩ් එවකට සිටි අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙන්නේ ලෙටර් හෙඩින්ස් 5000ක් මුද්‍රණය කරන ලෙසයි.

මෙම ඕඩරය ලැබුණු පසුව රජයේ මුද්‍රණාලයෙන් අමාත්‍යාංශය වෙත විමසීමක් කර ඇත්තේ ලෙටර් හෙඩින්ස් 5000 ද: 500 ද කියාය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශය, අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දැනුම් දී ඇත්තේ ලෙටර් හෙඩින්ග්ස් 5000ක් මුද්‍රණය කරන ලෙසයි.

එම ලෙටර් හෙඩින්ග්ස් විශාල ප්‍රමාණයක් නසීර් අහමඩ් එවකට සිටි අමාත්‍යවරයා මඩකලපුවේ සිය කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර, එමඟින් ලබාගත් ප්‍රයෝජනයක් ගැන තොරතුරක් තවම දැනගැනීමට නොහැකිය.

මීට අමතරව කෙහෙළිය රඹුක්වැල්ලද පරිසර අමාත්‍යවරයා වශයෙන් සිටින කාලයේදී විශාල වියදමක් ලියුම් කියුම් හා මුද්‍රණ කටයුතු වෙනුවෙන් සිදුකළ බවට පරිසර අමාත්‍යාංශයේ සේවකයින් පිරිසක් විසින් පෙන්වා ‍දී ඇත.

කබඩ් විවෘත කරමින් මෙම ලිපිද්‍රව්‍ය එම සේවකයින් විසින් පෙන්වා දී ඇති බව වාර්තා වෙයි.

රථගාය නැත්තේ කාටද?

මෙවර බොහෝ අමාත්‍යාංශවල රථවාහන සංචිතවල වාහන තවමත් තිබෙන බවත් නව අමාත්‍යවරුන්ගේ කාර්යය මණ්ඩල තවම එම වාහන ලබානොගෙන ඇති බවත් දැනගැනීමට ඇත.

ජනාධිපති ලේකම්වරයාද තවම ඔහුට හිමි නිල රථය ලබාගෙන නොමැත.

නමුත් මීට පෙර ආණ්ඩුව වෙනස් වන විට අමාත්‍යවරුන් වැඩ භාරගැනීමටත් පෙර ඔවුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩල අමාත්‍යාංශ වාහන සංචිතවලට පැමිණ හොඳම රථ වාහන ලබාගැනීමට දැඩි උනන්දුවකින් කටයුතු කළ බවත්, මෙවර එවැනි තත්ත්වයක් දක්නට නොලැබීම විශේෂත්වයක් බවත් බොහෝ අමාත්‍යාංශවල කාර්යය මණ්ඩල අතර කතාබහ වෙමින් පවතී.

අනුර කුමාරගේ ගෙදර පොලිසියෙන් වටලයි

ජාතික ජන බලවේගයේ නායක ජනපති අනුර කුමාර දිසානායකගේ තඹුත්තේගම පිහිටි නි‍ෙවස වෙත පසුගිය දිනයක පොලිස් කණ්ඩායමක් හදිසියේ පැමිණියේ එම ‍නි‍ෙවස වටකරගෙන සිටි සෙනඟ හේතුවෙනි.

අනුර කුමාර දිසානායක ජනාධිපති වීමෙන් පසුව තම මව බැලීම සඳහා තඹුත්තේගම නිවෙසට පැමිණෙන බවට යම් යම් ප්‍රචාරයන් ගිය නිසා විශාල පිරිසක් එම නි‍ෙවස වෙත පැමිණ සිටියහ.

ඒ සමගම ඒ අවට පොලිසිවලට ද මෙම රාවය ගිය නිසා පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණියේ සේනාධිනායකයාගේ ආරක්ෂාව ගැන සොයා බැලීමටය. එය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියයි.

ජනාධිපතිවරයා දැඩි කාර්යය බහුලතාවයක පසු වූ නිසා ඔහුට තඹුත්තේගම යාමට නොහැකි විය.

ඒ බව හරිහැටි ‍දැනගත් ජනතාව ක්‍රම ක්‍රමයෙන් විසිර ගිය අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිටියේ හදිසියේ හෝ ජනාධිපතිවරයා පැමිණෙතැයි සිතාය.

නමුත් පසුව ඉහළ පොලිස් නිලධාරියෙකුගේ උපදෙස් මත නි‍ෙවස අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාද ඉවත් කොට තිබුණි.

අලුත්ම සැලුන් දොර

දේශපාලන ක්ෂේත්‍රයේ සැලුන් දොරවල් පිළිබඳ කතාකරන විට අමතක කරන්නට බැරි චරිතය ශ්‍රී ලංකා පොදු ජන‍ පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයායි.

සැලුන් දොර වැඩි අවස්ථා ප්‍රමාණයක් විවෘත කොට තැබුවේ මහින්ද රාජපක්ෂයි.

සාමාන්‍යයෙන් ඕනෑම ඡන්දයකින් පසුව සැලුන් දොරවල් ගැන කතාබස් නිතර නිතර අසන්නට ලැබේ.

පොහොට්ටුවේ තවත් පිරිසක් දිලිත් ළඟට

අලුතින්ම සැලුන් දොර විවෘත කොට ඇත්තේ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීරයි.

මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිස් පමණක් ‍‍නොව දිලිත් සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂකයින්ද සැලුන් දොරන් ඇතුළුවීමට පටන් ගෙන තිබේ.

දිලුම් අමුණුගම, රාජිකා වික්‍රමසිංහ, මිලාන් ජයතිලක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විටත් දිලිත්ගේ පක්ෂයට එක්වී ඇත.

මීට අමතරව ජනාධිපති අපේක්ෂක හිටපු ක්‍රීඩා හා ‍යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහද දිලිත්ට එක්වූ අතර ඔහු මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයට පත් කර තිබේ.

රොෂාන් දිලිත්ට එක්වන විට පොලොන්නරුවේ තවත් දේශපාලන නායකවරයෙක් වන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේනද මෙසේ දිලිත්ට එක්වීම විශේෂත්වයකි.

දිලිත් සැලුන් දොරෙන් පිරිස් ගන්නා විට මේ දෙස මහත් ඕනෑකමකින් දිලිත්ගේ පිටුපසට වී බලා සිටින්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ගෙවිදු කුමාරතුංගයි.

විමල්, ගම්මන්පිලට කුමක් වෙයිද?

තමන්ගෙන් නොවිමසා මේ ආකාරයෙන් ඕනෑම කෙනෙකුට දිලිත්ගේ සැලුන් දොර විවෘත කිරීම ගැන විමල්, ගම්මන්පිල සිටින්නේ තරමක කනස්සල්ලෙනි.

විමල්, ගම්මන්පිල, ගෙවිදු‍ගේ ඇතැම් ජාතිවාදී අදහස් දිලිත්ගේ ඡන්ද ව්‍යාපාරයට හිතකර නොවූ බව කිහිපදෙනෙකුම දිලිත්ට ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.

මේ අනුව විවෘත වී ඇති සැලුන් දොරෙන් විමල්, ගම්මන්පිල පිටව යයිද? එසේත් නැතහොත් ඔවුන් තවදුරටත් මව්බිම ජනතා පක්ෂයේ රඳවා ගැනීමට දිලිත් ජයවීර කටයුතු කරයිද? කියා ඉතා ඉක්මනින්ම දැනගත හැකි වනු ඇත.

සජිත්ගෙන් රනිල්ට කොන්දේසි

එජාපය ප්‍රමුඛ පොදු සන්ධානය මහ මැතිවරණයට තරග කරන ආකාරය ගැන සාකච්ඡා ඉකුත් බ්‍රහස්පතින්දා අවසන් වූයේ ගෑස් සිලින්ඩරයෙන් තරග කළ යුතුය යන එකඟතාවයට පැමිණීමෙන් අනතුරුවය. ඉකුත් සතිය පුරාම එම සාකච්ඡා එජාප සිරිකොත මූලස්ථානයේ මෙන්ම කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි.

සමගි ජන බලවේගය එජාපය ඇතුළු විපක්ෂයේ සියලු බලවේග එක්ව තරග කළහොත් මන්ත්‍රී ආසන සියය ඉක්මවා ලබා ගත හැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබිණි. කෙසේ වුවද අවසානයේ සමගි ජන බලවේගය එජාපය ප්‍රමුඛ බලවේගයෙන් වෙන්ව තරග කරන්නට තීරණය කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීමට නම් සියලු දෙනා ටෙලිෆෝනයෙන් තරග කළ යුතු බවත් රනිල් එජාප සන්ධානයෙන් ඉවත් විය යුතු බවත් සජිත් කොන්දේසි පනවා තිබිණි.

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයට රැස්වූ එජාප නායකයන්ගේ ප්‍රධාන මාතෘකාවක් වූයේ මෙයයි.

” ටෙලිෆෝන් එකෙන් තරඟ කරන්න අපේ අය වගේම පොහොට්ටුවේත්, ශ්‍රීලනීප අයත් කැමති නෑ. පොදු ලකුණක් අවශ්‍යයි” අනික මේ වෙලාවේ සර්ට ලොකු ජනප්‍රසාදයක් තියෙනවා. සර්, නැති සන්ධානයක් ගැන කතා කරන එකම විහිළුවක්. “වජිර කීවේ රනිල්ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනි.

රනිල් ඉවත් වෙයිද?

” කොහොමත් මම මැතිවරණයට තරඟ කරන්නෙත් නෑ. ඔබලා සුදුසු තීරණයක් ගන්න. අවශ්‍ය නම් මට දේශපාලනයෙන් ඉවත් වෙන්නත් පුළුවන්.“ රනිල් ස්ථිර හඬින් පැවසීය.

” ඒක සුදුසු තීරණයක් නෙමෙයි. ඔබතුමා මේ වෙලාවේ නායකත්වයේ සිටිය යුතුයි.අනික ජනපතිවරණයෙන් ඡන්ද ලැබුණේ ඔබතුමාගේ නමට. ඔබතුමා මේ වෙලාවේ ඉවත් වුණොත් ඒ ඡන්ද ටික අපට නැති වෙනවා” රුවන් පැවසීය.

කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයා එම කාරණය හිස වනා අනුමත කළේය.

“ආණ්ඩුවේ ඇත්තෝ දැන් විපක්ෂ නායක සජිත්ට පහර ගහන එක නවත්තලා රනිල්ට මඩ ගහන්න පටන් අරගෙන. කුඩ ඉල්ලුවාලු ,ඇල්ගී කෑවලු” මහින්දානන්ද කීවේ සභාවේ කතාව වෙන පැත්තකට හරවමිනි.

” දැන් දේශපාලනය නොකරන මිනිහට නේ ඒ අය බය වෙලා තියෙන්නේ” රනිල් කීවේ උපහාසයක් මතු කරමිනි.

බබත් එක්කම නර්ස්ලත් එයි

” ජනාධිපති මාරු වුණා කියලා උපදේශකලා මාරු වෙලා නෑ නේද? ඉතින් වෙනස මොකක්ද කියලා මිනිස්සු අහනවා“ ශෙහාන් කීය.

මේ සංවාදය දෙස සාවදානව කන් යොමා සිටි රනිල් ” බබා දෙන කොට නර්ස්ලත් දුන්නා” යැයි කීවේ මුළු සභාවම සිනාවේ ගිල්වමිනි.

“ආණ්ඩුව වාහන ප්‍රශ්නයක් මේ දවස්වල ඇදගෙන යනවා. මං හිතන්නේ හැම ආණ්ඩුවක්ම මාරු වෙනකොට නිලධාරීන් පාවිච්චි කරපු වාහන ගෙනත් භාර දෙනවා. ඒක තමයි ඔය සිද්ධවෙලා තියෙන්නේ “ ආශු කීවේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තියට අනුව ජනාධිපතිවරයා නීත්‍යානුකූලව කටයුතු කරල තියෙනව එච්චරයි. නිලධාරීන්ට වැඩ කරන්න වාහන දෙන්න ඕනැනේ, ඕවා ඉතින් ආපු අලුත කරන රඟපෑම් විතරයි “වජිර පැවසීය.

චන්ද්‍රිකා, මහින්ද ගැන රනිල් කියු දේ

“ජනාධිපති මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද නැවත සලකා බලන්න කැබිනට් කමිටුවක් පත් කරලා තියෙනවා. “රුවන් පැවසූයේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ අදහස දැනගැනීමේ අටියෙන් මෙනි.

” ඔය කාරණේ දෙපැත්තක් තිබෙනවා. චන්ද්‍රිකා ජනාධිපතිනිය ප්‍රභාකරන්ට විරුද්ධව වැඩ කරලා ඇසක් නැති කර ගත්තා. මහින්ද කොටි සංවිධානය පරාජය කළා. ඔහු අගමැති ලෙස ආර්ථිකය වට්ටන්න දායක වුණා කියන කතාව වෙනම එකක්. කොහොම වුණත් මේ අයගේ ආරක්ෂාව ඉවත් කරන්න පුළුවන්ද?“ හිටපු ජනපති රනිල් පැවසීය.

ගෑස් සිලින්ඩරය ආපහු වැඩට බහී

ඉදිරි මහමැතිවරණයකට සාර්ථකව මුහුණ දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පුළුල් බලවේගයක් ගොඩනඟමින් ගෑස් සිලින්ඩරය ලකුණින් මෙම පිරිස මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇත.

මේ සඳහා ශ්‍රිලනිපය සහ නව සන්ධානයේ මන්ත්‍රී පිරිසද ජනාධිපතිවරණය සඳහා වික්‍රමසිංහ සමඟ එක්ව කටයුතු කළ සියලු දේශපාලන පක්ෂද එක්ව තිබීම විශේෂත්වයකි.

පසුගිය දින කිහිපයේදීම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම මන්ත්‍රී කණ්ඩායම කොළඹ මල් පාරේ පිහිටි මෙහෙයුම් කාර්‍යාලයේදී රැස්වුණේ මෙහි ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කිරීම සඳහාය.

මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් විපක්ෂයේ සෙසු පක්ෂ සමඟද සාකච්ඡා කර පුළුල් සන්ධානයක් සැකසිය යුතු බවද මෙහිදී සාකච්ඡා වූ අතර සමගි ජන බලවේගය කලින්ම මෙම එකතුවීම ප්‍රතික්ෂේප කළේය.

මේ අතර හිටපු මැති ඇමැතිවරුන් පිරිසක් මල් පාරේ දේශපාලන කාර්‍යාලයේ දී රැස්වූ අවස්ථාවේ වත්මන් දේශපාලන කරුණු කාරණා මෙන්ම ආගිය තොරතුරු කතාබහ කළහ.

රනිල්ම ඕන බවට ගාල්ලෙන් යෝජනාවක්

එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය සති අන්තයේ ගාල්ල දිස්ත්‍රික්කය පුරා විශේෂ රැස්වීම් මාලාවක් සංවිධානය කර තිබුණි. ඒ මෙවර පැවැති ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පක්ෂවල ක්‍රියාකාරීන්, පාක්ෂිකයින් සහ ජනතාවට ස්තුති කිරීම සඳහායි.

එසේම මෙම රැස්වීම් මාලාව සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාලත් සම්බන්ධ වී තිබුණි.

ආසන වශයෙන් සංවිධානය කර තිබුණු මෙම රැස්වීම් මාලාවේ ගාල්ල, හබරාදූව, අක්මීමන සහ බද්දේගම ආසන කේන්ද්‍ර කොට පැවැති රැස්වීම් ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ආසන වශයෙන් පැවැත්වුණු මෙම රැස්වීම් මාලාවේදී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් විසින් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කරගෙන තිබුණි.

ඒ දැනට එක්සත් ජාතික පක්ෂයේ නායක වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටිය යුතු බවට වන යෝජනාවයි.

වජිරගෙන් සජිත්ට දෝස්මුරයක්

මේ අතරතුරදී මාධ්‍යවේදීන් පිරිසක් වජිර අබේවර්ධන ළඟට මයික්‍රෆෝන උස්සගෙන සමීප වූයේ වර්තමානයේ විපක්ෂයේ භූමිකාව ගැන විමසීමටය.

එහිදී වජිර කියා සිටියේ විරුද්ධ පක්ෂයේ වගකීම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නිසි පරිදි ඉටු නොකිරීම නිසා අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති ධුරයට පත්වූ බවයි.

“ විපක්ෂ නායකයා හා ප්‍රධාන පක්ෂය සිය කාර්ය භාරය සාර්ථකව ඉටු නොකළ නිසා 3%ක බලයක් රැඳී කුඩා පක්ෂයක් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් පරදවා රටේ විධායක බලය අද අතට අරගෙන තියෙනවා. මේ තත්ත්වයට පත් වුණේ දුර්වල විපක්ෂ නායකත්වයක් හා කණ්ඩායමක් කේන්ද්‍රීය කරගෙන ක්‍රියාත්මක කළ අසාර්ථක වැඩපිළිවෙළ නිසයි. එසේ නම් අසමත් වූ එම කණ්ඩාමයක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නේ කරන්නේ කොහොමද? . විපක්ෂයට බැරි වුණු ඒ අභියෝගය ජයගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට මනා පෞරුෂයක් සහ හැකියාවක් තිබෙනවා. ඒ බව එතුමා පසුගිය කාලයේ මැනවින් ඔප්පු කළා. “ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවැසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division