ඒ එක්දහස් නවසිය අනූ තුන වසරේ සෙනසුරාදා දිනකි. ඔහු මට මුලින්ම හමුවූයේ එදිනය. ඊට පෙර කිිසිම දිනෙක දැක නොතිබූ ඔහුව දැක තිබුණේ නවයුගය, සිළුමිණ ආදි පුවත්පත්වලට ලියූ ලිපිවලිනි.
එකල පළවූ නවයුගය පුවත්පතේ සතිපතා පළවූ කවි පිටුවේ මගේ කවියකට ද ඉඩ වෙන්වී තිබිණ. එකල නවයුගයේ කවි පිටුවට මසකට වරක් හෝ දෙවරක් එහි සංස්කාරක සටහනක් තිබිණ. බොහෝවිට මගේ කවියකට ද එහි ඇගැයීමක් ලැබිණ. ඒ ඇගැයීම මහා පොතක් තරමට වටින්නට විණි.
පාඨමාලාව අවසන් වී වසර කිහිපයක් ගතවිය. යළිත් මට ඔහු හමුවූයේ පත්තර මහගෙදර ලේක්හවුසියේදීය. ඒ එක්දහස් නවසිය අනූ අට වසරේ සැප්තැම්බර් මාසයේ දිනෙකය. ඒ වන විට සිළුමිණ රසඳුන අතිරේකයට වසර දෙකක් පමණ ගතවී තිබිණ. එවිට සතියකට වරක් හෝ ඔහු හමුවන්නට අවස්ථාව ලැබිණි. ඉනුත් බොහෝ කලකට පසු ධර්මසිරි ගමගේ නම් වූ සොඳුරු මානව හිතවාදී මිනිසා විසින් ආරම්භ කළ රසඳුන පුවත්පතේ ලියන්නට ලැබීමම මහත් සතුටකි.
කවදත් දුහුනන්ට අතදුන් ඔහු සොඳුරු මිනිසෙකි. 1939 ඔක්තෝබර් මස 04 වැනි දින උපන් ධර්මසිරි ගමගේ කලාවට, මිනිසුන්ට අපමණ ආදරය කෙරූවෙකි. එක්දහස් නවසිය හැටේ වසරේ මාර්තු 01 වැනිදා ලංකාදීප පුවත්පතට එක්ව පසුව ඉරිදා ලංකාදීප පුවත්පතේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කරන්නේය. ඔහු ලංකාදීපයේ 1977 දක්වාම සේවය කරන්නේය. පසුව 1977 වසරේදී ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතට එක්වන ධර්මසිරි ගමගේ කෙටි කලකින් ලේක්හවුස් නිවෙසින් එළිදක්වන යොවුන් ජනතා පුවත්පතේ කතුවරයා ලෙසද කටයුතු කරන්නට පටන් ගනී.
ඔහු ගිය මඟ යමින් නව නිර්මාණකරුවන් රැසකට තම මාවත සකස් කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඒ සමඟය. ඒ එකල ආධුනික නිර්මාණ ශිල්පීන් වූ යමුනා මාලනී, බණ්ඩාර ඇහැලියගොඩ, රංජිත් අමරකීර්ති පළිහපිටිය, ප්‍රණීත් අභයසුන්දර, සුනිලා විජේසිංහ, අනුර බී. සෙනෙවිරත්න, දේ.වී ගාල්ලගේ, විපුල හේවාවලිමුනි ආදී වූ නිර්මාණකරුවන් රැසට නව මාවතක් විවෘත කරමිනි. යොවුන් ජනතා පුවත්පත හරහා බිහිවන යොවුන් පහන් වැට නිර්මාණ කේන්ද්‍රය හරහා මෙරට තවත් නිර්මාණකරුවන්ගේ සංවිධානවලට පාර කැපෙන්නේය.
ටික කලකින් යොවුන් ජනතා පුවත්පතින් ජනතා පුවත්පතට යන ධර්මසිරි යළිත් සිළුමිණ පුවත්පතට මාරුවන්නේය. ඇතැම් මාරුවීම් සිදු වූයේ ඔහුගේ කැමැත්තට ද නොවන බව දන්නේ ඔහු ළඟින් ඇසුරු කළ අය පමණි. කවදත් අන්‍යයන් වෙනුවෙන් යහපතක් කිරීමටම කටයුතු කළ ධර්මසිරි ගමගේ පාඨක සිත් නිවී සැනැහෙන අයුරින් ලිපි ලිවීමේ සමතෙකි.
රසඳුන අතිරේකය ආරම්භ කිරීමත් සමඟ සොඳුරු ගමන් යෑමටත් ඒ ගමනවලට පාඨකයන් ද සහභාගි වනවාක් මෙන් පාඨකයාට සිතෙන හැඟෙන අයුරින් ලිවීමේ ද ඔහු සමතෙක් විය. (අද වන විට බොහෝ ලේඛකයන් ඔහු අනුගමනය කරමින් ලිපි ලියන්නට පෙලඹි ඇතැයි කීම ද වරදක් නැතැයි සිතේ.)
කියන දෙය පැහැදිලිව, නිරවුල්ව මෙන්ම සොඳුරු ලෙස ලියමින් පාඨකයා ද රැගෙන ගියාක් මෙන් චාරිකා සටහන් ලීවීමට එතුමා බෙහෙවින් දක්ෂ විය.
හේ නව ලේඛක පරපුරකට පුවත්පත මඟින් පාර කපාදුන් බව අප හා පැවසුවේ එකල ධර්මසිරිගේ ගෝලයා ලෙස කවුරුත් ඇමැතු ජ්‍යෙෂ්ඨ පුවත්පතකලාවේදී අනුරබණ්ඩාර රාජගුරුය.
“ඒ කාලේ ඒ කියන්නේ යොවුන් ජනතා පත්තරය ආරම්භ කළ කාලේ එතුමා අපේ අංකුර නිර්මාණකරුවන්ට ලෝකයට විවර වෙන්නට මාවත තනා දුන්නා. ඒ යොවුන් පහන් වැට නිර්මාණ කේන්ද්‍රය හරහා. තරුණ නිර්මාණකරුවන්ට මතුවී එන්නට අවස්ථාවක් නොතිබුණ කාලයේ තමයි ගමගේ මහත්තයා යොවුන් ජනතා පත්තරය හරහා තරුණ නිර්මාණකරුවන්ට අවස්ථාව හදලා දුන්නේ.
එතුමා නිසා අද වන විට මේ ක්ෂේත්‍රයේ නමක් හදාගත්ත චිත්‍ර ශිල්පීන්, ලේඛකයන්, කවියන් බොහෝ දෙනකු ඉන්නවා. මගේ ලේඛන දිවියටත් මූලික අඩිතාලම වැටෙන්නේ එතුමා නිසා. එතුමා තුළ තිබූ ඉවසීම, මිනිස්කම, අන්‍යයන්ට ගරුකිරීම ආදී මානව ගුණධර්ම උපරිමයෙන් තියෙන කෙනෙකු අපට අද සමාජයෙන් සොයා ගන්නට බැරි තරම්.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධර්මසිරි ගමගේ කියන්නේ මානවවාදී ලේඛකයෙක් මෙන්ම ගුරු උතුමෙක්. මට ජීවිතේ කිසිම දිනෙක එතුමා වන් කෙනෙකු යළි හමුවන්නේ නෑ.“
පුවත්පත් ලේඛකයකු පමණක් නොව මතකයේ රැඳෙන ගී රැසක් ලියූ ඔහු මතකයේ රැඳෙන චිත්‍රපට ද නිර්මාණය කළ නිර්මාණකරුවෙකි.
ආදර සුවද, සිත්තර සිතක්, දවල් හීන, අළුයට ගිනි, සංසාර දර්ශන, සිත නිවෙන තැන්, මරුසිරා, සිරිපාල හා රන්මැණිකා, වැලිකඩ හිරගෙදර, සුජානිගේ කතාව, සුළං කුරුල්ලෝ, ආදි කෘති ගණනාවක් ලියා පළකර ඇත. සිරිපාල හා රන්මැණිකා, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලය ආදී සිනමා නිර්මාණවල තිර පිටපත් රචකයා වන්නේ ද ධර්මසිරි ගමගේය. යස ඉසුරු සහ පූජා චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා ද වන ඔහු නිරන්තරයෙන් හොඳ නිර්මාණයක් පාඨකයන්ට දීමට උත්සාහ කළ නිර්මාණකරුවෙකි.
ඉකුත් දා එනම් සැප්තැම්බර් 19 දිනට එතුමන් වියෝ වී විසිවසරක් සපිරිණි.
1939 දී උපත ලැබූ එතුමන්ට ඔක්තෝබර් 04 දිනට වසර අසූපහක් සපිරේ.
සිය මාධ්‍ය ජීවිතයේ අනුන්ට අතහිත දෙමින් සැමවිටම කාට හෝ යහපතක් කිරීමේ අරමුණින් දිවි ගෙවූ ඔහු වැනි මිනිසුන් මේ සමාජයේ විරලය.
නමුදු තවත් සියවසක් ගියතැනදී වුවද ධර්මසිරි ගමගේ යන සොඳුරු පුවත්පත් කලාවේදීයා, නිර්මාණකරුවාගේ නම මේ සාහිත්‍ය ලෝකයේ රැඳී තිබෙනු නොඅනුමානය.
ඉනෝකා සමරවික්‍රම