Home » ප්‍රේක්‍ෂකයන් බලා සිටි මනිරත්නම්ගේ ඊළඟ චිත්‍රපටය Thug Life

ප්‍රේක්‍ෂකයන් බලා සිටි මනිරත්නම්ගේ ඊළඟ චිත්‍රපටය Thug Life

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

කමල් හසන් සහ මනිරත්නම් යනු දෙමළ සිනමාවේ දැවැන්තයන් දෙදෙනකු බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. නමුත් මේ දෙදෙනා චිත්‍රපටයක් තුළින් එකට හමුවීම නම් ඉතාම දුර්ලභ කාරණයක්. කමල් හසන් චිත්‍රපට රැසක රඟපා ඇති නළුවකු වුවත්, මනිරත්නම් චිත්‍රපට රැසක් අධ්‍යක්‍ෂණය කර ඇති සිනමාකරුවකු වුවත් ඔවුන් දෙදෙනා චිත්‍රපටයක එකට වැඩ කර ඇත්තේ එකම එක වතාවක් පමණයි. එය ද මෙයට වසර 37කට කලිනුයි. ඔවුන් මේ ආකාරයෙන් එකට වැඩ කළ එකම චිත්‍රපටය වූයේ 1987 වසරේ තිරගත වූ, සුප්‍රකට ‘නායගන්’ චිත්‍රපටය යි.

කෙසේ හෝ වේවා, එයින් දශක තුනහමාරකට පසු නැවතත් මේ දෙදෙනා එකම චිත්‍රපටයක වැඩ කරමින් සිටින අතර එය දෙමළ චිත්‍රපට නරඹන ප්‍රේක්‍ෂකයන් මේ වනවිට බොහෝ බලාපොරොත්තු තබා සිටින සිනමාපටයක් බවට පත්ව තිබෙනවා. මෙම සිනමාපටයේ නම Thug Life.මෙය දාමරික කල්ලි පිළිබඳ කතාවක් රැගත් සිනමාපටයක් බවයි සඳහන් වන්නේ.

ප්‍රේක්‍ෂකයන් පුලපුලා බලා සිටින Thug Life ගැන අලුත් තොරතුරක් මෙයට දින කිහිපයකට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. එනම් මෙම සිනමාපටයේ රූපගත කිරීම් මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවයි. මේ බව නිවේදනය කරමින් චිත්‍රපටයේ නිෂ්පාදකයන් පසුගිය දා විඩියෝවක් ද මාධ්‍ය වෙත මුදා හැර තිබෙනු දැකිය හැකිවුණා. එහි අඩංගු වූයේ චිත්‍රපටය රූගත කරන අතර ගන්නා ලද කැමරාවෙන් පිටුපස දර්ශනයි. මනිරත්නම් අධ්‍යක්‍ෂණ කටයුතු කරන ආකාරය දැක්වෙන රූපරාමු ද එහි දැකිය හැකි වුණා. විඩියෝව අවසන් වන්නේ රූගත කරන කණ්ඩායමේ සියලු දෙනා පෙනී සිටින රූපරාමුවකින්. රූපගත කිරීම් අවසන් බව එතැන දී මනිරත්නම් ප්‍රකාශ කරන අතර කමල් ඔහුට මල් කලඹක් දී ගෞරවය පුද කරන ආකාරය දැකගත හැකියි.

කමල් හසන් සහ මනිරත්නම් දෙදෙනා මෙම සිනමාපටයේ නිෂ්පාදනයටත් සම්බන්ධයි. කමල්ට අයත් රාජ් කමල් චිත්‍රපට සමාගම සහ මනිරත්නම්ට අයත් මැඩ්‍රාස් ටෝකීස් සමාගම තමයි මෙය නිෂ්පාදනය කරන්නේ. මෙහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ දෙමළ සිනමාවේ ජනප්‍රිය නිළියක වන ත්‍රිෂා ක්‍රිෂ්ණන්. ඇය මනිරත්නම් මෙයට පෙර අධ්‍යක්‍ෂණය කළ ‘පොනියින් සෙල්වන්’ චිත්‍රපටවලත් රඟපෑවා. ඒවායේ ඇය නිරූපණය කළේ කුන්දවායි නමැති චරිතය යි.

කමල් සහ ත්‍රීෂා දෙදෙනාට අමතරව දුල්කර් සල්මාන්, සිලම්බරාසන් වැනි ජනප්‍රිය නළුවන් ද Thug Life චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. ඒ. ආර්. රහ්මාන්ගේ සංගීතයත් චිත්‍රපටයට විශාල ආලෝකයක් ඇති කරනු ඇති බවට සැකයක් නැහැ.

මෙම චිත්‍රපටය සැලකෙන්නේ කමල් හසන් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන 234 වැනි චිත්‍රපටය හැටියට යි. ඔහු මෙහි රඟපාන්නේ ශක්තිවේල් නායකර් නමැති චරිතයක්. මෙයට මාස කිහිපයකට පෙර නිකුත් වූ කෙටි පූර්ව ප්‍රචාරකපටයකින් පෙනෙන්නේ මෙය දාමරිකයකුගේ චරිතයක් බවයි. Thug Life ඉතා වේගවත් ක්‍රියාදාම චිත්‍රපටයක් බවත් එම ප්‍රචාරක පටයේ දර්ශනවලින් පෙනෙනවා.

සිනමා ශාලාවල ප්‍රදර්ශනයෙන් පසු Thug Life නෙට්ෆ්ලික්ස් සේවාව ඔස්සේ විකාශය කෙරෙනු ඇති. නෙට්ෆ්ලික්ස් සේවාව චිත්‍රපටයේ හිමිකම් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 150 කට (ලංකා රුපියල් කෝටි 540 කට) ආසන්න ඉතා විශාල මුදලක් ගෙවා ඇති බවත් පැවසෙනවා. දෙමළ චිත්‍රපටයක හිමිකම් සඳහා නෙට්ෆ්ලික්ස් ආයතනය ගෙවූ වැඩිම මුදල මෙය බවත් සඳහන්. මෙයට කලින් මෙම වාර්තාවට හිමිකම් කීවේ දෙමළ සිනමාවේ තවත් දැවැන්තයකු වන විජේ රඟපෑ The Greatest of All Time චිත්‍රපටයයි. එහි ඩිජිටල් ප්‍රදර්ශන හිමිකම් සඳහා නෙට්ෆ්ලික්ස් ආයතනය ඉන්දියානු රුපියල් කෝටි 125 ක් ගෙවා තිබුණා.

Thug Lifeහි රූපගත කිරීම් අවසන්ව ඇති නිසා දැන් එහි පසු-නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙනු ඇති. කෙසේ නමුත් එය ප්‍රදර්ශනය ආරම්භ කරන දිනයක් ගැන තවමත් නිශ්චිතව සඳහන් වන්නේ නැහැ. දැනට අනුමාන කරන්නේ ලබන වසරේ මුල් භාගයේ එය ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණෙනු ඇති බවයි.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division