කොළඹ කොටුවෙන් උදේ 6.55ට බෙලිඅත්ත බලා යන දුම්රියට අපි ගොඩවුණෙමු. උදේ 9.30 ගාල්ලට ළඟා වූ දුම්රිය හරියටම උදේ10.10 වන විට තල්පේ දුම්රිය ස්ථානයට ළඟා විය. තද හිරු රැස් පතිත නොවූ හෙයින් පයින්ම පිය මැන ආ අපි කොළඹ මාතර පාර පසු කරගෙන මඳ දුරක් ගොස් මුහුදු වෙරළ ආසන්නයට ළඟා වීමු. ඒ වන විටත් නවතා තිබූ මෝටර් රථ ඇතුළු වාහන කිහිපයකින් පැමිණ සිටි සැලකිය යුතු පිරිස් වෙරළ තීරයට පිවිස විනෝද වෙමින් සිටියහ.
අප පැමිණ සිටියේ දකුණේ සංචාරය කරන බොහෝ දෙනා නොදන්නා එහෙත් යා යුතුම වෙරළ තීරයකටය. හමා ආ සුළං පහරේ වේගය නිසාම අප අත තිබූ ගමන් බෑගයන් පවා එහාට මෙහාට පැද්දෙන්නට විය. වෙරළ තීරයේ සිට බලද්දී පැති කිහිපයකින්ම අලංකාරත්වයක් එහි දකින්නට තිබිණි.
ඉමක් කොනක් නොපෙනෙන සමුදුර රළ පහර ගසාගෙන වෙරළ සමීපයට පැමිණෙන්නේ දැඩි ආවේගයෙන් වුවද වෙරළේ ඇති ගල්පරයේ වැදී එහි සැර බාල වනු පෙනුණි. වෙරළේ ඇති දැවැන්ත හිරිගල් පර්වතයේ පැරැන්නන් විසින් නිමවා ඇති තටාකයන් මුහුදු ජලයෙන් පුරවා ආපසු සමුදුරටම ගලා යන්නේය.
කුඩා තටාකයන් බදු හිරිගල් පර්වතයේ පිහිටි ඇතැම් තටාකයන්හි පතුළ පෙනෙන තරමටම ඒවා පිරිසිදුය. ගල් ටැංකියක් බදු එහි මුහුදු ජලය විනාඩි කිහිපයකින් යළි අලුත් ජලයෙන් පිරවේ. මේ සියලු තටාකයන් ගත් කළ එක්වර 50කට 60කට හෝ ඇතැම් විට ඊටත් වඩා වැඩි පිරිසකට වුවද ඒවායේ බැස සිටිය හැකිය.
තලපේට නුදුරු ගුරුබැබිල මුහුදු තිරයේද ස්වභාවික නාන තටාකයක් ඇතත් මේ ලෙසින් තටාක රැසක් එක්ව ඇති ස්ථානයක් ලංකාවේ වෙනත් මුහුදු තීරයක දක්නට නොමැත. එසේ වුවත් තල්පෙ වෙරළ තීරය සංචාරකයන් අතර එතරම් ජනප්‍රිය නොවීමට හේතුවක් ඇත. ඒ තල්පේ වෙරළ තීරයේ පාරම්පරිකව දශක ගණනාවක් ස්වයං රැකියා කර්මාන්තයකට උපකාරී වීමය.
තල්පේ මුහුදු තීරයේ මේ නාන තටාකයන් ස්වභාවිකම ඇති වූ තටාකයන් නොවේ.
වසර 60කට 70කට පමණ පෙර හෝ ඇතැම් විට ඊටත් පෙර සිට ස්වභාවික මෙම වෙරළ තීරයේ හතරැස් කොටු කපා ඒවා පොල් ලෙලි පල් කිරීම පිණිස යොදා ගෙන ඇත. එහෙත් මීට වසර 10කට 12කට පමණ පෙර සිට එම කර්මාන්තය තල්පේ ප්‍රදේශයෙන් තුරන්වී යාමෙන් පසු මේ පොල්ලෙලි කොටු වලවල් සංචාරකයන්ගේ නෙත ගැටී ඇත. එම පොල්ලෙලි වළවල් නිරතුරුවම රළ පහරින් පිරිසිදු වී නාන තටාකයන් ලෙස ආරම්භයේදී තල්පේ කොලු ගැටයන් අතර ජනප්‍රිය වු අතර පසුව ක්‍රමයෙන් දකුණු පළාතේත් එයින් පසුව දිවයින පුරාත් මේ වන විට විදෙස් සංචාරකයන් අතර ප්‍රකට වී ඇත.
සුනාමි ව්‍යසනයෙන් පසුව මේ තටාක වඩාත් ඔපමට්ටම් වී ඒවා අලංකාරත්වයෙන් වැඩි වී සංචාරක ආකර්ෂණය ද වැඩිපුර දිනාගෙන ඇත. එහෙත් අපි පෙර කීවාක් මෙන් දකුණේ මිරිස්ස, උණවටුන පොල්හේන, ගුරුබැබිල වෙරළ තීර තරමටම තල්පේ වෙරළ තීරය බොහෝ දෙනාගේ ඇස ගැටී නැත. තල්පේ වෙරළ දැන් සංචාරකයන් අතර ජනප්‍රියව ඇත්තේ නාන තටාකයන් ලෙසිනි.
එම නාන තටාක නිරන්තරයෙන් රළ පහර වැදීමෙන් ස්වභාවිකව තැනුණු තටාක මෙන් දිස්වේ. එහි බැස විනෝද වීමට ඕනෑම වයසක අයකුට හැකියාව ඇතත් ඇතැම් තටාකයන් ගැඹුරින් වැඩි නිසා කුඩා දරුවන් ගැන අවධානයෙන් පසුවිය යුතුය. ඒ වැඩිහිටියකුගේ ඉන ළඟට මෙන්ම කරවටක් දක්වා ජලය පිරෙන තටාකයන් ද මෙහි ඇති නිසාය.
වරින් වර රළ පහරින් පිරිසිදු වන තටාකයන්ගේ ජලයේ බැස පැය ගණනාවක් සිටින්නට බොහෝ සංචාරකයෝ ඇල්ම දක්වති. ගල් තලාව මත එහාට මෙහාට පැයක් පමණ ඔබ බොබ ඇවිදීමට ඇතැම්හු පෙළඹෙති. මුහුදේ රළ පැදුම් ක්‍රීඩාවන් හැර සෙසු සියලු ක්‍රීඩාවන්ට කදිම තෝතැන්නක් ලෙසින් ද තල්පේ වෙරළ තීරය පෙන්වා දිය හැකිය.
එමෙන්ම දකුණු වෙරළ තීරයේ බොහෝ තැන්හි දිස්වන්නා සේ පස්වරුවේ බැස යන හිරුගේ අලංකාර දසුන් දැක ගැනීමට ද වෙරළ තීරයේ සිට හැකියාව ඇති හෙයින් ඇතැම් සංචාරකයන් තල්පේට පැමිණෙන්නේ හවස් වරුවේය.
විවිධ ප්‍රමාණයෙන් යුත් තටාක 22කින් තල්පේ වෙරළ තීරය සමන්විතය. එම තටාකයන්ට නිරතුරුව මුහුදු ජලය ගලා ආවත් එම තටාකයන් ආරක්ෂිතය. පෙරළෙන රළ විනෝද වීමට රුචිකත්වය ඇති කරයි.
කෙතරම් අලංකාර තැනක වුවද අවදානමක් තිබිය හැකිය. එවන් අවදානම් කරුණු දෙකක් ගැන තල්පේ වෙරළට යන සංචාරකයන් දැනගත යුතුමය. එහිදී අවධානය යොමු කළ යුතු එක් කරුණක් වන්නේ වෙරළ තීරයේ රතු කොඩි දමා ඇති ස්ථානවලින් ඔබ්බට යාම අනතුරු සහිත බවය. ඇතැම් දේශීය සංචාරකයන් එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීමට උත්සාහ දරන අවස්ථා ද නැතුවාම නොවේ.
එමෙන්ම තවත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ ‘ඉකිරි ‘ය.
මුහුදු ජීවීන් විශේෂයක් වන ඉකිරියන් රංචු පිටින් මෙන්ම තනි තනිව ද මේ වෙරළ තීරයේ සැලකිය යුතු ලෙසින් දැකගත හැකිය. කුඩා ටේබල් ටෙනිස් බෝලයක් වටා කුඩා ඉත්තෑකූරු ඇලවූවාක් මෙන් වන ඉකිරිගේ කූරු විෂ නැතත් ඉකිරි පෑගුණහොත් හෝ අතේ පයේ වැදුණත් තුවාල සිදු වනු ඇත.
මීට කලකට පෙර නම් ඉකිරියන් සෑහෙන පිරිසක් මේ නාන තටාක අසල ගැවසුණද මේ වන විට තටාක පිරිසිදු කරන්නන් විසින් ඉකිරියන් පැමිණීමට බාධා පමුණුවා ඇත. එහෙත් එහෙන් මෙහෙන් හෝ පැමිණෙන ඉකිරි නැතුවාම නොවේ. ඒ ගැන අවධානය යොමු කළ යුත්තේ එහෙයිනි.
විශේෂයෙන්ම කුඩා දරුවන් ගැන අවධානය යොමු කළ යුතුය. ඉකිරි අතට ගෙන වුවද බැලිය හැකි වුවද අතට ගත් සැණින් තම ආරක්ෂාව වෙනුවෙන් කූරු දැඩිව ශක්තිමත්ව තබා ගැනීමට ඉකිරි කටයුතු කරන නිසා එම කූරක් ඇනුණහොත් අනිවාර්යෙන්ම තුවාල සිදු වනු ඇත. එම නිසා මඟ පෙන්වන්නකුගේ සහායක් නොමැතිව ඉකිරි සමඟ සෙල්ලම් නොකළ යුතුය.
තල්පේ වෙරළ තීරයේ නාන තටාකයන්හි විනෝද වීමට හෝ වෙනත් ක්‍රීඩාවන්ට හෝ යොමු විය යුතු හොඳම වේලාව උදෑසන 11ට පෙර වන අතර පස්වරුවේද අලංකාර දසුන් දැකගත හැකිය. එහෙත් පස්වරු කාලයේ තටාකයන්හි විනිවිද පතුල පියවි ඇසින් දැකීම අපහසුය.
තල්පේ වෙරළ තීරයට යා යුතු හොඳම කාල වකවානුව වන්නේ ලෙස පෙබරවාරි හෝ මාර්තු මාසයය. මුහුද රළු කාලයන්හිදී මෙන්ම වඩදිය කාලයන්හි තල්පෙ වෙරළ තීරයට පැමිණීමෙන් එහි සොබා සෞන්දර්යය නිසි ලෙසින් විඳගත නොහැකිය.
තල්පේ වෙත ළඟාවීමට පෞද්ගලික වාහනයකින් කොළඹ සිට යන්නේ නම් අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් පිට වී මාතර දෙසට පැමිණ තල්පේ වෙරළට ළඟා විය හැකිය. දුම්රියෙන් පැමිණෙන්නේ නම් තල්පේ දුම්රිය ස්ථානයෙන් බැස මීටර් 500ක පමණ දුරකින් ළඟා විය හැකිය. එය උදෑසන දුම්රියෙන් ගොස් පස්වරු දුම්රියෙන් පැමිණිය හැකි කදිම සංචාරයකි. පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් ඇතත් ඒ සඳහා මෝටර් රථයකට නම් රුපියල් 400ක පමණ මුදලක් අය කෙරේ. එම අය කිරීම නම් සාධාරණ නොවන බවත් එය අධික මුදලක් බව වාහන හිමියෝ පවසති. අසල ඇති වෙළෙඳසල් නිසා ආහාර ඇතුළු අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගත හැකි අතර පහසු මිලට නවාතැන් පවා සපයා ගැනීමට හැකියාව ඇත.
දකුණේ තවත් එක් සුන්දර වෙරළ තීරයක් මෙන්ම සොබා දහම මැවූ ගල් පරයකින් සොබා දහමට හානි සිදු නොකර සකසා ගත් විනෝද වීමට සුදුසුම වෙරළ තීරයක් ලෙස තල්පේ නාන තටාක හැඳින්විය හැකිය.
තාරක වික්‍රමසේකර