මැදපෙරදිග යුද්ධය දරුණු අතට හැරෙමින් තිබේ. වසරකට ආසන්න කාලයක් ගාසා තීරයේ හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර යුද්ධයට ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයත් යේමනයේ හවුති සංවිධානයත් හවුල්වීමෙන් පසු බරපතළ මුහුණුවරක් ගත් යුද ගැටුම නරක අතට හැරුණේ ඊයේ පෙරේදා ඉරානයත් ඊශ්‍රායලයට පහර දීම හේතුවෙනි. දැන් තත්ත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත් පාලනය කළ නොහැකි තැනකට පත්වී ඇත.
ඇවිළෙන ගින්නට පිදුරු දමන්නා සේ ආරම්භයේ සිටම ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය පළ කරමින් ද, අවශ්‍ය යුදමය ආධාර ලබා දීමෙන් ද ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ දැඩි අප්‍රසාදයට පත්වූ අමෙරිකාවටවත් පාලනය කරගත නොහැකි අයුරින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් සිටී. මධ්‍යස්ථ රටවල් ගණනාවක් විසින් සටන් විරාම ගිවිසුමකට එකඟ කරගැනීමට ගත් සියලු ප්රයත්නයන් අසාර්ථක වී තිබේ. ඊශ්‍රායලයට අමෙරිකාවේ සහාය ලැබෙන්නා සේම හෙස්බුල්ලා සංවිධානයට සහ සෙසු සංවිධානවලට ඉරානයේ සහාය පළ වී ඇත්තේ ද කොන්දේසි විරහිතවය.
පසුගියදා ඉරානය ඊශ්‍රායලයේ ජෙරුසලමට සහ ටෙල් අවීව් නුවරට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිදු කළ අනතුරු ඇඟවීමට ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වූයේ ලෙබනනයට අතිශය දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමෙනි.
ලෙබනන් ප්‍රහාරය
ඊශ්‍රායලයේ ලෙබනන් ප්‍රහාරය ආරම්භ වූයේ පලස්තීනුවන්ට සහාය පළ කරමින් හෙස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයේ දේශසීමාව ආසන්නයේ පිහිටි නගරවලට පහර දීමෙන් පසුවය. මොසාඩ් ඔත්තු සංවිධානයේ සහායෙන් අතිශය සූක්ෂම ලෙස නව තාක්ෂණය භාවිත කරමින් හෙස්බුල්ලා සාමාජිකයන් සතු පේජර් හා වෝකි ටෝකී පණිවුඩ හුවමාරු යන්ත්‍ර එක්වර පුපුරුවා හැර ජීවිත දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ ඊශ්‍රායල හමුදාව අධි බලැති බෝම්බ හෙළා හෙස්බුල්ලා සාමාජිකයන් බහුලව ස්ථානගත වී සිටින දකුණු ලෙබනනය එහෙම පිටින්ම නටබුන් ගොඩක් බවට පත් කළ අතර, සංවිධානයේ නායකයා ද ඝාතනය කළේය.
ඉරානයෙන් ප්‍රති ප්‍රහාර
ඉරානයෙන් බැලැස්ටික් මිසයිල එල්ල වූයේ ඊට ප්‍රතිචාරයක් හැටියටය. ඇරත් සිය රටේහිදීම හමාස් සංවිධානයේ නායකයා ඝාතනය වීමෙන් පසු කුපිත වී සිටි ඉරානය සූදානමින් සිටියේ එවැනි ප්‍රහාරයකටය. එහෙත් එහි ප්‍රතිඵලය අන්තිම දරුණු වූයේ ඊශ්‍රායල හමුදාව ඊට හරියටම දිනකට පසු දකුණු ලෙබනනයේ ගොඩබිම් ආක්‍රමණය කිරීමෙනි. ඉන් නොනැවතී වසර 2006න් පසු පළමු වතාවට බීරුට් අගනුවරට ද ප්‍රහාරයක් එල්ල කළේය. අඛණ්ඩව දෙදිනක් පුරා දකුණු ලෙබනනයටත් බීරුට් අගනුවරටත් පහර දුන් ඊශ්‍රායල හමුදාවේ නවතම ගුවන් ප්‍රහාරයෙන් පෙරේදා මැදියම් රැයේදී බීරුට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙදරා ගියේය. ප්‍රහාරය එල්ල වූයේ ගුවන්තොටුපොළට පිටතින් ඩහියා නගරය ඉලක්ක කරමිනි. බීරුට් අගනුවර හෙස්බුල්ලා බලකොටුවක් වූ ඩහියා නගරයේ අතිශය දරුණු පිපිරීම් කිහිපයක්ම සිදුවූ බව ඒ අවට ස්ථානගත වී සිටින විදෙස් යුද වාර්තාකරුවන් තහවුරු කර තිබිණි. ගුවන්තොටුපොළ අවට තදාසන්න ප්‍රදේශ 20කට අධික ප්‍රමාණයක ජනතාවට වහාම ඉවත්වන ලෙස එම ප්‍රහාරයට පෙර ඊශ්‍රායල හමුදාව නියෝගයක් නිකුත් කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අවට අහස මුළුමනින්ම දැවැන්ත ගිනි වලාවකින් පිරී ගිය බවත්, සිදුවූ හානිය ඒ මොහොතේදී කිසිවකුට සිතා ගැනීමටවත් නොහැකි වූ බවත් යුද වාර්තාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. ඒ වන විටත් බීරුට් ගුවන්තොටුපොළේ මෙහෙයුම් සිදු වෙමින් පැවැති බව ද වාර්තා විය.
සාමය උදා කිරීමට මැදිහත් වන්නෝ
මේ වනවිටත් ජාත්‍යන්තරයේ කතාබහට ලක්වී ඇත්තේ මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බලවත් රටවල් මෙතෙක් සමත් නොවීම ගැනය. සැබෑව නම් මැදපෙරදිගට නැවත සාමය උදා කිරීමට දැඩි උත්සාහක නිරත වන්නේ අමෙරිකාව ඇතුළු ලොව ප්රබලතම රටවල් නොව කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග මධ්‍යස්ථ රටවල්ය. එම රටවල මැදිහත්වීමෙන් ගාසා තීරයේ යුද්ධයට වරින් වර මානුෂීය සහනාධාර සැපයීමට කෙටිකාලීන සටන් විරාම ප්‍රකාශයට පත්වූවද, හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගත් ඊශ්‍රායල – ලෙබනන් යුද ගැටුම් සම්බන්ධයෙන් මෙතෙක් එවැනි පියවරක් ගැනීමට ඊශ්‍රායලය එකඟ කර ගැනීමට කිසිදු පාර්ශ්වයක් සමත් වී නැත. මැදපෙරදිග යුද ගැටුම් සමථයකට පත් කිරීමට දැඩි උත්සාහයක නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නවත්වන ලෙසත් වහාම සටන් විරාමයක් කැඳවන ලෙසත් ඊශ්‍රායලයෙන් කරනු ලැබූ ඉල්ලීම් ගණනාවකට ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වමින් සිටින්නේ ලෙබනනයට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමෙනි.
අමෙරිකාවේ නිහඬ සහාය
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානය අතර ඇවිළෙන දරුණු සටන වහාම නවත්වා සාමය සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමට පසුබිම සකස් කිරීමට දින 21ක සටන් විරාමයක් කැඳවන ලෙස අමෙරිකාව ඇතුළු රටවල් 12ක් ද පසුගියදා ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබිණි. අමෙරිකාවේ නිව්යෝක් නුවර පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ රැස්වීමකදී එම ඉල්ලීම කර තිබූ අතර, ඊශ්‍රායලය ඊට ද අවනත වන බවක් පෙනෙන්නට නැත. ඇතැම් වාර්තාවලට අනුව ප්‍රසිද්ධියේ සටන් විරාමයක් ඉල්ලා සිටියද, ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයට ප්‍රහාර එල්ල කිරීමේදී අමෙරිකාවෙන් ඊශ්‍රායලයට ‘නිහඬ සහායක්‘ ලැබෙන බවට ද තොරතුරු වාර්තා වේ.
ඉන් පැහැදිලි වන්නේ අමෙරිකාවේ දිගුකාලීන පසමිතුරා වන ඉරානයේ හිතවාදී හෙස්බුල්ලා සංවිධානයට විවේකයක් ලබා දීමේ අවශ්‍යතාවක් අමෙරිකාවට නැති බවකි. එහෙත් ඊශ්‍රායල ප්‍රහාරයෙන් හෙස්බුල්ලා සාමාජිකයන් පමණක් නොව සිය ගණනාවකින් සිවිල් වැසියන් ද ඝාතනයට ලක්වීම පිළිබඳ අමෙරිකාවේ හා සෙසු බටහිර රටවල අවධානය යොමු විය යුතු බව මැදපෙරදිග මධ්‍යස්ථ රටවල් ප්‍රකාශ කර තිබේ.
ෆවුස් මොහොමඩ්