සූඩානය සිවිල් යුද්ද තත්ත්වයට පෙර පටන්ම උද්ධමනකාරී ආර්ථික ප්රවාහයන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයට දිගින් දිගටම මුහුණ දුන් රාජ්‍යයක් වශයෙන් මෙවැනි අභ්‍යන්තරික යුද තත්ත්වයක දී එම ආර්ථික දුෂ්කරතා ද කෙතරම් උග්‍ර වී ඇති ද යන්න සිතාගත හැකි වනු ඇත
රාජ්‍යයන් අභ්‍යන්තරයේ පැන නඟින සිවිල් යුද තත්ත්වයන් ඉන් පිටතට යා නොදී ඇතුළාන්තයෙන්ම විසඳා ගැනීමට අවකාශ ලැබේ නම් එය ඉතා අනර්ඝ බව වත්මන් ගෝලීය ඉහළ ආතතිමය දේශපාලනය පිරික්සූ විට පෙනී යන යථාර්ථයයි. රතු මුහුදට මායිම්ව උප සහරා අප්‍රිකානු කලාපයට හා මැදපෙරදිග, අරාබි ලෝකය අතර දකුණු දෙසින් ඊජිප්තුව ද පිහිටි සුඩාන රාජ්‍යය ඉතා සුන්දර ඊසාන දින අප්‍රිකානු රාජ්‍යයකි. අප්‍රිකානු කලාපයේ විශාලතම රාජ්‍යයන් අතරින් එකක් මෙන්ම උපායමාර්ගික වශයෙන් ද ඉතා වැදගත් සුඩාන රාජ්‍යය මේ වන විට අප්‍රිකානු කලාපයේ ස්ථාවරත්වයට අනතුරක් වීමට බොහෝ හැකියාවක් පෙන්නුම් කරන සිවිල් යුද තත්ත්වයකට මැදිව ඇත. දශක 3කට අධික කාලයක් ආඥාදායක පාලක Omar al-Bashirගේ පාලනයට නතු වූ සූඩානය ඉන් මුදවා ගෙන සිවිල් ප්රජාතන්ත්රවාදී රාමුවක ස්ථාපිත වී තිබී නැවතත් අරගලකාරී මාවතකට පිවිසීම ගෝලීය ජාත්‍යන්තර ප්‍රජාව පවා අප්‍රසාදයට ලක් වූ තත්ත්වයකි.
වර්තමානයේ සුඩාන හමුදා බළකායන් (The Sudanese Armed Forces (SAF) & Rappid Support Forces (RSF)) හා මහා පරිමාණ අභ්‍යන්තරික ගැටුමකට අවතීර්ණ වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 අප්‍රේල් සිට සුඩාන වැසියන් මිලියන 12කට වැඩි ප්‍රමාණයක් වාසභූමි හැරදමා ගොස් ඇත. අනෙක් අතින් අතීතයේදී ඉතා සෞභාග්‍යමත් දේශයක් වූ සුඩානය මේ වන විට ලෝකයේ දරුණුතම මානුෂීය ආධාර අවශ්‍ය රාජ්‍ය ගොන්නට වැටී ඇති අතර, කුසගින්න පැතිරුණු ලෝකයේ බරපතළම රාජ්‍යයන් අතර ද ඉහළම ස්ථානයේ රැඳී සිටී. සුඩානය මේ ආකාර අර්බුදයකට මැදි වූයේ ඇයි?
සුඩාන සිවිල් යුද්ධයේ පසුබිම
30 වසරක ආඥාදායක පාලනය නිම කරමින් 2019 අප්‍රේල් මසදී සුඩාන SAF හා RSF කණ්ඩායම් ප්රජාතන්ත්රවාදී සිවිල් පරිපාලනයට නායකත්වය දෙමින් ආඥාදායක පාලක Omar al-Bashir ධුරයෙන් පහකරන ලදී. ඊට සමඟාමීව සිවිල් කණ්ඩායම් වෑයම් කරනු ලැබුවේ සංක්රාන්ත්රික ස්වෛරී කවුන්සිලයක් (Transitional Sovereign Council) ස්ථාපිත කර ඒ හරහා ප්රජාතන්ත්රවාදය ප්‍රවර්ධනය කිරීමය. ඒ අරමුණින් 2019 සැප්තැම්බර්වලදී අල් බහරින් (Al-Burhan) හා Hemedti ගිවිසුමකට ප්‍රවේශ විය.
ගෝලීය ප්‍රජාව ද වසර 30ක සුඩාන ආඥාදායක පාලනය නිමවීම පිළිබඳ මහත් සතුටට පත්විය. මෙම නව ප්‍රතිසංස්කරණය ඔස්සේ අගමැති අබ්දුල්ලා හැම්ඩොක් ගේ නායකත්වයෙන් සුඩානයට ජාත්‍යන්තර සංවිධානවල අනුග්‍රහය ලැබීමට පටන්ගනු ලැබීය. ලෝක බැංකුව ද සුඩානය තුළ ස්වකීය ආර්ථික ව්‍යාපෘති දියත් කිරීමට අවශ්‍ය වපසරිය නිර්මාණය කොට දශක ගණනාවක පටන් අර්බුදයට ලක් වූ සුඩාන ආර්ථිකය පණ ගැන්වීමට අවශ්‍ය විධිවිධාන සංවිධානය කරනු ලැබීය. විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සුඩානය වෙත දැක්වූ හුදෙකලා ප්‍රතිපත්තියෙන් බැහැරව ජනපති ජෝ බයිඩ්න් ප්‍රථම වරට සුඩානයට අ. එ. ජනපද තානාපතිවරයෙකු පත්කිරීමට ද පියවර ගනු ලැබීය. (1995 සිට). සුඩානය ප්රජාතන්ත්රවාදී මාවතට පිවිසීමත් සමඟ ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් අමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම සුඩානයට අනුග්‍රහය දැක්වීමට එක්රොක් විය.
මෙවැනි සාධනීය වටපිටාවක පැවති සුඩානය නැවත අර්බුදයකට මතු වූයේ ඇයි ද යන්න පුළුල්ව විමසිය යුතුය. ඒ 2021 ඔක්තෝබර් වන විට සිදු වූ අවාසනාවන්ත ක්‍රියාමාර්ගය නිසාවෙනි. එනම්, SAF හා අල් බහරින් කුමන්ත්රණයකින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට වෑයම් කිරීම නිසාවෙනි. අනපේක්ෂිත මොහොතක හමුදා කුමන්ත්‍රණ උද්ගත වී පවතින සාමකාමී පාලනය බිඳවැටීම මහා අභාග්‍යයකි. අල් බහරින් ප්රමුඛ SAF, සුඩාන සිවිල් පාලනයේ ප්‍රධාන සාමාජිකයන් අත්අඩංගුවට ගත් අතර, මෙයට Hamdok හා සෙසු සිවිල් නායකයන් අයත් විය. ඉතාම දුෂ්කර මාවතක් ඔස්සේ ආඥාදායක පාලනය නිම වුවද අවසානයේදී සිදු වූයේ ප්රතිසංස්කරණවාදී සිවිල් පරිපාලනය තුළ ද ගැටුමක් ඇතිවූ SAF හා RSF අතර දරුණු සිවිල් යුද්ධ තත්ත්වයක් උද්ගත වීමයි. සුඩාන හමුදා රජය බලපෑමෙන් (Effectively) රාජ්‍ය බලය අල්ලා ගත් බව පැවසුවහොත් එය නිවැරදිය. සුඩාන වැසියන්ගෙන් හා ජාත්‍යන්තර පාත්රවර්ගයන් ලෝක බලවත් රාජ්‍යයන් මේ තත්ත්වය වැළක්වීමට පියවර ගත්ත ද එය සාර්ථක නොවූ අතර, ඇරඹි සිවිල් යුධ තත්ත්වය දරුණු වී 2023 වන විට උච්ච විය.
2023 අප්‍රේල් වන විට සුඩාන අගනුවර වූ Khartoumවලට ද පැතිරුණු මෙම අර්බුදය එතැන් පටන් නව ස්වරූපයකින් සුඩාන දේශසීමාව තෙක් මිලියන ගණනින් සුඩාන වැසියන් පලවාහරින අවතැන්ව අසරණ වන තත්ත්වයකට පත්විය. ලෝකයේ යම් රාජ්‍යයක් ප්රජාතන්ත්රවාදී මාවතකට අවතීර්ණ වී තිබියදීත් අතීත අමිහිරි පාලන තන්ත්රයන්වල සෙවණැලි මකා දමමින් නව මඟකට පැමිණ තිබියදීත්, ස්වකීය රාජ්‍යයන්, සිවිල් වැසියන් අඳුරේ හෙලීම මහා අපරාධයකි. මේ වන විට සුඩාන රාජ්‍යයේ RSF ස්වකීය බලය බටහිර කොටසේ ස්ථාපිත කොට ඇති අතර, අල් බහරින්ට හා ඔහුගේ රජයට Khartoum සිට ඊසානදිග සුඩානයට යාමට සිදුවී ඇත. Al-Burhan හා Hemedti ගේ බල අරගලය සුඩාන රාජ්‍ය පසුබැස්මක් හා නැවතීමක් මෙන් ම මහා අර්බුද රාශියකට රැගෙන ගිය බව පැවසුවහොත් එය නිවැරදිය.
සුඩානය අප්‍රිකානු කලාපයේ ඉතා බලාත්මක උපාය මාර්ගික රාජ්‍යයක් වශයෙන් ද එය අප්‍රිකානු කලාපය හා මැදපෙරදිග කලාපය අතර පිහිටීම හේතුවෙන් ද එහි ඇති වන අභ්‍යන්තරික අර්බුදයක් දේශසීමාවන් ඔබ්බට විහිදී ගියහොත් එය සෙසු අසල්වැසි රාජ්‍යයන්ට ද මහත් ගැටලුවකි. මේ වන විටත් ඉතාම දැඩි මානුෂීය ආධාර අවශ්‍ය රාජ්‍යයන් ගොන්නට වැටී ඇති සුඩානය 2023 පටන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටු, රතුකුරුස සංවිධානය තුළ ඉහළින්ම සේවා සැපයුණු රාජ්‍යයකි. සුඩාන වැසියන් මිලියන 5.9ක් අභ්‍යන්තරිකව අවතැන් වී ඇති අතර, මිලියන 1.4ක් පමණ සරණාගතයන් බවට පත්ව ඇත. කොලරාව, පාචනය, විවිධ වසංගත රෝග ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සුඩානය ළදරු මරණ අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය ඉතා ඉහළ අගයක් පෙන්නුම් කර ඇත.
මිලියන 15.8ක ජනතාවක් මානුෂීය ආධාර අවශ්‍යතාවයෙන් පෙළෙන අතර, මිලියන 50ක් පමණ වන සුඩාන වැසියන්ගෙන් භාගයක් පමණ රට හැර යාමේ ප්‍රවණතාවක් මතු වී ඇත. සුඩාන Darfur පළාෙත් සිදුවන ජන සංහාරයක් (Ethnic cleansing) පිළිබඳව ද විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. සුඩානය සිවිල් යුද්ධ තත්ත්වයට පෙර පටන්ම උද්ධමනකාරී ආර්ථික ප්රවාහයන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයට දිගින් දිගටම මුහුණ දුන් රාජ්‍යයක් වශයෙන් මෙවැනි අභ්‍යන්තරික යුධ තත්ත්වයක දී එම ආර්ථික දුෂ්කරතා ද කෙතරම් උග්‍ර වී ඇති ද යන්න ඔබට සිතාගත හැකි වනු ඇත.
සුඩාන හමුදාව මේ වන විට Khartoum අගනුවර ඉතා දරුණු ප්‍රහාරයක් පැරා මිලිටරි පිරිසට එරෙහිව දියත් කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මේ දිනවල පැවැත්වෙන සැසියේදී සුඩාන හමුදා ප්‍රධානි ප්‍රකාශ කොට ඇත්තේ පැරා මිලිටරි පාලනය කර සූඩානයේ මානුෂීය තත්ත්වය නඟා සිටුවීමට මේ ප්‍රහාර එල්ල කරන බවයි. එක්සත් ජාතීන්ගේ සැසියේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් සුඩානය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ, (World biggest humanitarian crisis) ලෙසත් පැරා මිලිටරි හා සූඩාන හමුදාව යන දෙපාර්ශ්වයට පවතින තත්ත්වය සමථයකට පත්කර සුඩානය සාමකාමී මාවතකට කඩිනමින් ගෙන ආ යුතු බවයි. එක්සත් ජාතීන්, ආරක්ෂක මණ්ඩලයට දැඩිව දන්වා ඇත්තේ මෙවැනි සාගත (Famine) තත්ත්වයක් සුඩානයේ ඇතිවීම වැළැක්වීමටත් ඔවුන්ට ආයුධ සැපයීම වැළැක්වීමත් ගෝලීය වගකීමක් බවත්ය.
අෙමරිකා එක්සත් ජනපදය ප්රමුඛ රාජ්‍යතාන්ත්‍රික පිරිස් මේ දක්වා සුඩාන අර්බුදය වැළැක්වීමට ගනු ලැබූ සියලු වෑයම් අසාර්ථක වීම මහා ඛේදවාචකයක් බව ද නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මේ දිනවල පැවැත්වෙන සැසියේදී අවධාරණය කරනු ලැබීය. සුඩාන සිවිල් යුද තත්ත්වයට අසල්වැසි රාජ්‍යයන් ද සම්බන්ධ වුවහොත් එහි බලපෑම දැඩිව එල්ල වන්නේ, චාද් (Chad) හා ඊජිප්තු හා රාජ්‍යයන්ට වන අතර නැඟෙනහිර අප්‍රිකානු කලාපය ද මෙහි නිශේධනීය ප්රවාහයට හසුවීමට ඉඩකඩ ඇත. වත්මන් ලෝක සාමය මැදපෙරදිග ඊශ්‍රායල – හමාස්, ලෙබනන් හිස්බුල්ලා හවුතීන් ගැටුමින් කැළඹී ඇති මොහොතක අප්‍රිකානු කලාපයන් ද එවැනි තත්ත්වයකට ඈඳා නොදැමීමට සමස්ත ගෝලීය ප්‍රජාව එක්සත් විය යුතුය. ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය සුඩාන සිවිල් යුද්ධය තුළ යම් පාර්ශ්වයකට වැඩි සහයෝගයක් පළකළ හොත් එය ද පවතින ගැටුම තව තවත් සංකීර්ණ වනු නොඅනුමානය.
මේ අතර ඉකුත් දා සුඩානයේ Khartoum අගනුවර පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති නිල නිවාසයට එල්ල වූ ගුවන් ප්‍රහාරයේ වගකීම මුළුමනින්ම සුඩාන හමුදාව භාරගත යුතු බව, මැදපෙරදිග රාජ්‍යයන්ගේ විදේශ සබඳතා අමාත්‍යාංශය ප්රකාශනයක් නිකුත් කරමින් පවසා ඇත. නමුත් සුඩාන හමුදා රජය ප්‍රකාශ කොට ඇත්තේ, තමන් ප්‍රහාරයේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කරන බවත් එම ප්‍රහාරය Paramilitary Rapid Support Forces (RSF) ප්‍රහාරයක් විය හැකි බවය. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ප්‍රහාරය රාජ්‍යතාන්ත්‍රිකභාවයේ මූලික මූලධර්මයන් උල්ලංඝනය වීමක් ලෙස දක්වා ඇත.
පී. ආර්. දුෂාන්ති සිල්වා