Home » රක්වානේ ගෙදරකට ආ හොරෙක් පුතුගේ ගෙලට පිහියක් තබා මවගෙන් ඉල්ලූ කප්පම

රක්වානේ ගෙදරකට ආ හොරෙක් පුතුගේ ගෙලට පිහියක් තබා මවගෙන් ඉල්ලූ කප්පම

දීපාල් සමරසේකර

by thanushika
October 12, 2024 12:30 am 0 comment

සොරුන්, කොල්ලකරුවන් ඇතුළු සියලු තරාතිරම්වල අපරාධකරුවන්ට තැනක් නොතැනක් නැත. ඔවුන්ගේ මූලික අරමුණ අහිංසක මිනිසුන්ට හානි, පීඩා සිදුකර ඔවුන් සතු මිල මුදල් වටිනා භාණ්ඩ කොල්ලකෑමයි.

කතුන් ගෙල බඳින රන් මාල කඩාගෙන පලා යන කල්ලි කණ්ඩායම් විශේෂයෙන් ම සිටින්නේ නගර සහ ජනාකීර්ණ ස්ථානවල බවට බොහෝ දෙනා සිතුවත් මුල කී ආකාරයට එවැනි ගණයේ අපරාධකාරයන් ගම්දනව්වල ද ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇත.

ඇතැම් අවස්ථාවල මෙවැනි අපරාධකාරයන් තමන්ගේ අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම සඳහා ළමයින් ද පලිහක් කරගන්නා අවස්ථා ඇත. එවැනි සිදුවීම් පොලිස් පොත්වල ද මීට පෙර සටහන් වී තිබේ. මේ එවැනි සිද්ධියකි. වාර්තා වූයේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් ස්ථානයෙනි.

ඇය රක්වාන, දෙමුවාත, බටහේන ප්‍රදේශයේ පදිංචි තරුණ මවකි. ඇය පසුගිය දිනෙක දහවලේ නිවෙසේ රැඳී සිටියේ පාසල් යන පුංචි පුතු පාසල නිම වී නිවෙසට කැඳවාගෙන ඒමෙන් අනතුරුවය.

මේ තරුණ මව එලෙස නිවෙසේ සිටියදී එහි පැමිණි පුද්ගලයකු නිවෙස් හිමියාගේ නම කියා ඔහු ගැන විමසන්නේ තරුණ කාන්තාවගෙනි. කාන්තාව එම පුද්ගලයා හඳුනන්නේ නැත. ඇය ඔහු ගැන තොරතුරු විමසන විටදී ඔහු කාන්තාවට පවසන්නේ තමා එම ඉඩමේ රබර් ගස් කැපීමට කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති නිසා ඒ ගැන තොරතුරු කතා කරගැනීමට පැමිණි බවයි.

කාන්තාව ඔහු සමඟ ඒ පිළිබඳව විස්තර කතාබහ කරමින් සිටියදී එලෙස නිවෙසට පැමිණි පුද්ගලයා කාන්තාව අමතා විමසන්නේ තමාට පානය කිරීමට වතුර වීදුරුවක් දීමට හැකිද යන්නයි.

කාන්තාව වතුර ගෙන ඒමට මුළුතැන්ගෙට යන්නේ ඒ මොහොතේදීය. මුළුතැන්ගෙයි සිට අමුත්තාට වතුර වීදුරුවක් ගෙනෙන ඇය දකින්නේ පිහියක් ද අමෝරාගෙන දරුවා අසල සිටින අමුත්තාය. මේ දුටු ඇයට කෑගැසෙන්නේ ඉබේටමය.

මේ පුද්ගලයා අපරාධකරුවකු බවට කාන්තාවට තේරුම් යන්නේ ඒ අතරය. ඒ මොහොතේ අමුත්තා කාන්තාවට පවසන්නේ ඇගේ ගෙල බැඳි රන් මාලය ගලවා වහාම තමා අතට පත්කරන ලෙසයි. නොඑසේනම් තමා අතැති පිහියෙන් දරුවා ඝාතනය කරන බව අමුත්තා පවසන්නේ උස් හඬිනි.

අමුත්තාගේ මේ කතාව ඇසූ කාන්තාවට උන්හිටි තැන් අමතක වන්නේ දරුවාට අත්වීමට යන ඉරණම ගැන සිහිපත් වීමෙනි. මේ අපරාධකාරයා තමන්ගේ දරුවා මරා දමාවියැයි බියට පත්වන ඇය තම ගෙල බැඳි රන් මාලය ඔහු අතට පත්කරන්නේ බියෙන් ගැහෙමිනි.

කාන්තාව දුන් රන් මාලය ගත් අමුත්තා නිවෙසේ තිබුණ ජංගම දුරකතනය ද රැගෙන පලා යන්නේ ක්ෂණිකවය.

මේ සිද්ධිය ගැන පොලිස් විමර්ශන ආරම්භ වන්නේ රක්වාන පොලිසියට කාන්තාව සිදුකරන ලද පැමිණිල්ලෙන් අනතුරුවය.

කාන්තාවගෙන් ප්‍රශ්න කරන පොලිස් නිලධාරින් අපරාධය සිදුකළ පුද්ගලයාගේ රූප විස්තර ද කාන්තාවගෙන් අසා දැනගෙන සිද්ධිය වූ ස්ථානයට ද ගොස් විමර්ශන ආරම්භ කරන්නේ මේ ගැන කිසියම් හෝඩුවාවක් හෙළිකර ගැනීමේ අරමුණෙනි.

රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සෝමසිරිගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජී.වී. වික්‍රමපාල ඇතුළු කණ්ඩායමක් මේ ගැන විමර්ශනය කරන්නේ තොරතුරුකරුවන්ගෙන් තොරතුරු ලබා ගනිමිනි.

ඒ අතර පොලිසියට තොරතුරක් ලැබෙන්නේ මේ රන් මාල කොල්ලය සිදුකළ කොල්ලකරු ත්‍රිරෝද රථයක නැගී පලා ගොස් ඇති බවය. ඒ ගැන සොයා බලන පොලිස් කණ්ඩායම හෙළිකර ගන්නේ එම තොරතුරේ කිසියම් සත්‍යතාවක් ඇති බවයි.

ඒ අනුව පොලිසිය කළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවන්නේ කොල්ලකරු අදාළ ත්‍රිරෝද රථයේ නැඟී රත්නපුර මාදම්පේ දක්වා ගොස් එතැන් සිට බසයකින් පිටත්ව ගොස් ඇති බවය. ලද තොරතුරු අනුව සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනෙන්නේ අනතුරුවය. එහිදී හෙළි වන්නේ කිසිවකු බලාපොරොත්තු නොවූ කතාවකි.

පොලිස් අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරු සහ කතගේ රන් මාලය ලබාගෙන පලා ගිය පුද්ගලයා කිසියම් වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී මිතුරන් වී අති බව හෙළිවන්නේ එහිදීය.

ඒ අනුව පොලිසිය සොයා ගන්නේ මේ දෙදෙනා බන්ධනාගාරයෙන් එළියට පැමිණි අවස්ථාවකදී හමුවී කතා කරගෙන මේ රන් මාල කොල්ලය සිදුකර ඇති බවකි. එහිදී හෙළිවූ අන්දමට මේ කොල්ලය සැලසුම් කර ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන ත්‍රිරෝද රථ රියැදුරුය.

එලෙස සැකපිට අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරු සහ සෙසු පුද්ගලයාගෙන් දීර්ඝ කටඋත්තර සටහන් කර ගත් රක්වාන පොලිස් නිලධාරින් සැකකරුවන් දෙදෙනා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ රන් මාල කොල්ලයට ආධාර සහ අනුබල දීමේ චෝදනාව යටතේය. සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සෝමවීරගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජී.වී. වික්‍රමපාල, සැරයන්වරුන් වන (32292) විජේරත්න, (38838) නන්දන යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division