Home » මිදිගම ඉබ්බාවලදී පොලිසිය දැක පැන්නේ අයිස් ජාවාරමුන් ද?

මිදිගම ඉබ්බාවලදී පොලිසිය දැක පැන්නේ අයිස් ජාවාරමුන් ද?

by thanushika
October 12, 2024 12:30 am 0 comment
ටී. කේ. මහින්ද - වැලිගම සමූහ

මෙරට අපරාධවලට නම් දරා ඇති ප්‍රදේශයක් ලෙස වැලිගමට ආසන්නයේ ඇති ගම්මාන කිහිපයකම නම් කියැවෙන්නේ අද ඊයෙක පටන් නොවේ. ඉන් එක් ගම්මානයක් බවට පත් වී ඇත්තේ ඉබ්බාවලය. ඉබ්බාවලට ආසන්නයේ ඇති තවත් ගම්මානයක් වන්නේ මිදිගමය. එය ද අපරාධවලට නම් දරා ඇත්තේය. මේ වන විට අත්අඩංගුවේ පසුවන පාතාල නායකයෙකු වන හරක්කටාගේ උපන්ගම වූයේ ද මිදිගමය. ඔහුගේ ගෝලබාලයන් කිහිපදෙනෙකුද මේ ගම්මානවලම පදිංචිකරුවෝය. හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය පවා මේ ගම්මානයෙන් ඉකුත් කාලයේ හමු වූයේය. එහෙත් මේ වන විට ඒවායේ අඩුවක් පැවතියද පසුගිය සතියේ යළිත් මේ ගම්මානය ගැන කතාබහට ලක්වූයේ අයිස් මත්ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් එම ගමෙන් සොයා ගත් නිසාය.

එහි ප්‍රමාණය කිලෝ එකයි ග්‍රෑම් අටසිය තිස්අටකි. අයිස්වල වටිනාකම කෝටි දෙකකට ආසන්නය.

මේ මත්ද්‍රව්‍ය හමු වූයේද ද ඉබ්බාවලින්ය. ඉබ්බාවල සුන්දර ගම්මානයකි. මේ ගම්මානයේ ඇති ගැමි බව අව්‍යාජත්වය පැවතුණද ඇතැම් නොමනා ජාවාරම්කරුවන්ගෙන් ඒවා වැසී ඇත්තේය. ඒ නිසා ඒ අයගේ නොමනා ක්‍රියා මර්දනයට ගම්මුන්ටද ඇත්තේ දැඩි වුවමනාවකි.

පසුගිය 02 වනදා පෙරවරුවේ මිදිගම පොලිසියේ බුද්ධි අංශ නිලධාරින්ට ඔත්තුවක් ලැබිණි. ඒ ඉබ්බාවල පාසල ආසන්නයේ රැඳී සිටි සිවුදෙනෙකු පිළිබඳවයි. බුද්ධි අංශ නිලධාරින් වහා ක්‍රියාත්මක විය. මේ ගැන මිදිගම පොලිස් ස්ථානාධිපති අශෝක අබේවර්ධන දැනුම්වත් කළේ ඉන් අනතුරුවය. ඔහුගේ මෙහෙයවීමෙන් මිදිගම පොලිසියේ කොස්තාපල් ගමගේ, විශේෂ කාර්ය බළකායේ ජයසූරිය ඇතුළු පිරිස ඉබ්බාවල බලා පිටත් වූහ.

පොලිසිය එහි යන විටත් ජාවාරම්කරුවන්ට ඒ ගැන සැලවී තිබෙන්නට ද ඇත. ඔවුන්ගෙන් තිදෙනෙකු පලා ගියේ පොලිසියට නොදැනෙන ලෙසයි. මෙහි සිටි එක් අයෙකු පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු සතුවූ ස්කූටි වර්ගයේ යතුරුපැදිය ගැන පොලිසියට සැක පහළ විය. යතුරුපැදිය පරික්ෂා කිරීමේදී එහි ඩිකියේ සූක්ෂ්ම ලෙස සඟවා තිබු මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක් හමුවිය. ඇතැම් විට මේ පාර්සල් දෙක ඔහු දැනුවත්ව සැඟවූයේද? එසේත් නැතිනම් නොදැනුවත්ව සැඟවූයේද යන්න තවමත් හෙළිවී නැත. මේ මත්ද්‍රව්‍ය කොහෙන් ලැබුණේද? මේ ජාවාරම්කරුවන් කවුද? යන්න පොලිසියට හඳුනා ගැනීමට වැඩි කාලයක් නොයනු ඇත.

සැකකරු පෙර වැරදි ඇති අයෙකු ද නොවේ. තවමත් 20 හැවිරිදි වියේ පසුවන ඔහු පාසල් අධ්‍යපනය අවසන් වීමත් සමඟ තාත්තාගේ වෘත්තියට පෙම් බැන්දේය. ඒ වාහන අලුත්වැඩියා කිරීමයි. කෙටි කාලයක් තුළ මේ තරුණයා වැඩ කළ ගරාජය බොහෝ දෙනා අතර ප්‍රචලිත වූයේය. මේ නිසාවෙන් මේ තරුණයාද තාත්තාගේ ගරාජයේ සේවයට එක් වූයේය. තාත්තාගේ ව්‍යාපාරයට සවියක් වීම ඔහුගේ අහිංසක ප්‍රාර්ථනාව බවට පත් විය.

ගරාජයේ ටික කාලයක් තුළ බොහෝ දේ හරිහැටි පුහුණුව ලබන්නට මොහුට ඉඩ ලැබුණේය. මේ අතර තරුණ බව නිසාවෙන්ම හොඳ යාහළු‍වන් මෙන්ම ගතිගුණ හඳුනාගත නොහැකි යාළුවන්ද ඔහුට සමීප විය. මේ යහළුවන් ඔහුගේ ජීවිතයේ සාර්ථක මඟ විනාශ කරනු ඇතැයි ඔහුට කිසි විටකත් නොසිතන්නට ඇත.

ඉකුත් 02 වැනි දින මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සතියක් මොහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරිණි. මොහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ රඳවාගෙන මෙසේ ප්‍රශ්න කෙරෙන අතර මේ වන විටත් සෙසු සැකකරුවන් හඳුනාගෙන ඇත. මේ අයගෙන් ඇතැමෙකුට පෙර වැරදි ඇත්තේය. ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

‘අයිස්’ යනු අපේ රටේ මේ වන විටත් ප්‍රචලිතවම පවතින මත්ද්‍රව්‍යයකි. වඩාත් දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් පවතින මේ මත්ද්‍රව්‍ය භයානකම මත්ද්‍රව්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ මත්ද්‍රව්‍ය හේතුවෙන් මානසික රෝග හට ගැනීමේ අවදානම වැඩිය. වසර පහකට පමණ පෙර අපේ රටේ මේ මත්ද්‍රව්‍ය CRYSTAL METH ලෙස ප්‍රචලිතව ඇත්තේය. මෙය අපේ රටේ බොහෝ දෙනෙකු හඳුන්වන්නේ ‘අයිස්’ කියාය. කායික හා මානසික ව්‍යාකූලතාවයනුත් මාරාන්තික අවසානයක් කරා පුද්ගලයන් ඉක්මනින්ම ගෙන යන අයිස් මත්ද්‍රව්‍යය අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා භයානකය. මෙවැනි මත්ද්‍රව්‍ය මැඬලීම පොලිසියට පමණක් කළ හැක්කක් නොව එහි වගකීමක් සමාජයටද ඇත්තේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division