Home » මත්කුඩු අවුලට ‘මංජු’ අද පස් යට

මත්කුඩු අවුලට ‘මංජු’ අද පස් යට

by thanushika
October 12, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම යහපත් රටක් මෙන්ම යහපත් පුරවැසියන් පිරිසක් ලෙස අනාගත සුබ සිහින දකින සැමගේ ප්‍රාර්ථනයයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව සිටින ලක්ෂ ගණනක් වන මත්ලෝලීන් මේ වන විට රටටම බරකි. වර්තමානයේ රට තුළ සිදුවන සොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම් මෙන්ම කුලී මිනිස් ඝාතන බොහෝමයක සැකකරුවන් මත්ලෝලීන්ය. මත්කුඩු ස්වල්පයක් ලබාදුණහොත් මත්ලෝලියකු හරහා ඕනෑම කටයුත්තක් කර ගත හැකි තරමට මත්ලෝලීන් මත්ද්‍රව්‍යවලට ගිජුකමක් දක්වති.

මත්ලෝලීන්ගේ එවැනි හැසිරීම් නිසා මත්ද්‍රව්‍ය භාවිත නොකරන්නන් ද මහත් සේ පීඩාවිඳින්නේ සිදුවන සොරකම්, මැරකම් සහ නොයෙක් ආකාරයේ අපරාධ නිසාය. ඒ අතරේ මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා එහි නිරත ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව කල්ලි අතර ද මේ වන විට ඇතිවී තිබෙන ගැටුම් ද බොහෝමයකි. එම නිසා මේ වන විට මියපරලොව ගිය මිනිස් ජීවිත ද විශාල සංඛ්‍යාවකි.

මත්ද්‍රව්‍ය නිසා විරුද්ධ කල්ලි දෙකක් අතර ගැටුමකින් පසුගියදා පුද්ගලයකුට සිය ජීවිතයට සමුදීමට සිදු විය. එම සිද්ධිය වුණේ මිරිහාන පොලිස් වසම තුළදීය.

ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රිය පසුවීමත් සමඟම එම ඝාතනය සිදුවී තිබුණේ මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ ආසන්න දුම්රිය මාර්ගයේදීය. මෙසේ ඝාතනය වූයේ ගබඩාගේ දොන් දුමින්ද ජගත් හෙවත් මංජු නමැති අයෙකි. වයස අවුරුදු 28 ක් පමණ වන මංජු ඝාතනය කර දින තුනක් ඇතුළතදී පොලිසිය විසින් එම ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනිමින් එහි සුලමුල අනාවරණය කර ගන්නා ලදි. මංජුගේ ඝාතකයා කොටුකර ගත්තේ මිරිහාන මූලස්ථාන පොලිසිය සහ බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සිදු කරන ලද විමර්ශන ඔස්සේය.

මංජුගේ ඝාතනය මිරිහාන පොලිසියට සැලවීමත් සමඟ මුලින් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඒ ප්‍රධාන සැකකරු සමඟ එම ඝාතනයට ගිය පුද්ගලයන්ය. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු දුමින්ද හෙවත් මංජුගේ ඝාතනයේ සුලමුල ඇතුළු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාරගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් ඒකක IV ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අතුල බාලසූරිය ඇතුළු කණ්ඩායමට හැකි විය.

එලෙස මංජු ඝාතනයේ සුලමුල හෙළි කරගෙන දින තුනක් ඉක්ම යන්නටත් මත්තෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් ආකාරය බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ඨාසයෙන් වාර්තා වන්නේ මෙලෙසිනි.

දොන් දුමින්ද ජගත් හෙවත් මංජු වයස අවුරුදු 28ක් පමණ වන විවාහක පුද්ගලයෙකි. බොහෝ දෙනා ඔහු හැඳින්වූයේ මංජු ලෙසිනි. රැකියාව ලෙස ඔහු කළේ නගර සභාවේ පිරිසුදු කරන්නෙක් ලෙස කටයුතු කිරීමයි. මංජු ජීවත් වූයේ උඩහමුල්ල දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගයට යාබද භූමියකය. ඔහුට සහෝදරයන් තිදෙනෙකි. මංජු ඇතුළු ඔහුගේ සහෝදරයන් තිදෙනා ද දැඩි සේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝය.

ඒ සැප්තැම්බර් 21 වැනිදාය. එදින මධ්‍යම රාත්‍රිය පසු වූවා පමණි. ඒ මොහොතේ නුගේගොඩ, උඩහමුල්ල දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගය තුළදීම මංජුට පහර දීමට පිරිසක් පැමිණියේ තියුණු ආයුධ ද රැගෙනය. ඒ මොහොතේ එලෙස මංජුට පහරදීමට පැමිණි පිරිස අතර සිටි පුද්ගලයකු මංජුගේ බඩ සහ පපු ප්‍රදේශයට කඩුවකින් පහරදී තිබිණි. බරපතළ තුවාල ලත් මංජු අවට පදිංචිකරුවන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයෙන් රෝහල්ගත කළ ද ඔහුට ජීවත් වීමේ වාසනාව නොලැබිණි.

එලෙස මංජුට පහරදී ඝාතනය කළ පුද්ගලයා ඉන් නොනැවතී මංජුගේ මිතුරන් දෙදෙනෙක් ද ඝාතනය කිරීමට ඔවුන් දෙදෙනා සොයා ආසන්න නිවෙස්වලට ගිය ද දෙදෙනා ඒ මොහොතේ නිවෙස්වල නොසිටි නිසා ඔවුන්ගේ ජීවිත ගැලවිණි.

මංජුගේ ඝාතනය අදාළ පොලිසිය වන මිරිහාන මූලස්ථාන පොලිසියට සැලවීමත් සමඟ මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර මංජුල හෙට්ටිආරච්චිගේ උපදෙස් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන ඇරැඹීය. එහිදී එදින රාත්‍රියේම මංජු ඝාතනයට පැමිණි කීපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරින්ට හැකි විය.

එහෙත් මංජුට කඩුවකින් පහරදී ඔහු ඝාතනය කළ ප්‍රධාන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඔහු ඒ වන විට සැඟවී සිටි නිසාය. එලෙස අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර මෙකී ඝාතනයේ සෙසු සැකකරුවන් ගැන විමසිල්ලෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස නිලධරයෝ ද පසු වූහ. මංජු ඝාතනයකර දින තුනක් පමණ ගත විය. ඒ, එනම් ඉකුත් සැප්තැම්බර් 25 වැනිදාය. එදින පෙරවරුවේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ ඒකක IV ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අතුල බාලසූරියට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි.

“සර්… උඩහමුල්ලෙදී මංජු මැරුවේ ‘මට්ටක්කුලියේ සම්පත්‘ කියන එකා… ඌ තව මොකක්හරි ‘ගේමක්‘ දෙන්න වගේ හදන්නේ… සම්පතා දැන් ඉන්නවා මාදිවෙල ඇඹුල්දෙණිය පාරේ අලියා පොකුණ හංදිය ගාව… එතන තියෙන අම්බලමේ මිනිහා මේ දැන් ඉන්නවා මං දැක්කා සර්…“ යැයි එම තොරතුරුකරු සවිස්තර තොරතුරක් උප පොලිස් පරීක්ෂක බාලසූරියට ලබා දුන්නේ එලෙසය.

සිය පෞද්ගලික තොරතුරුකරු තමන් දැනුවත් කළ මට්ටක්කුලියේ සම්පත් නමැත්තා ඊට පෙර ද අත්අඩංගුවට ගත් අයෙක් බව උප පොලිස් පරීක්ෂක අතුල බාලසූරියට සිහිපත් විය. ඒ උපපොලිස් පරීක්ෂකවරයා විසින් ‘මට්ටක්කුලියේ සම්පත්‘ මීට පෙර පුද්ගලයන්ට පහරදීම් වැනි අපරාධ ක්‍රියා නිසා අත්අඩංගුවට ගත් අවස්ථා කීපයක්ම පොලිස් පොතේ සටහන්ව තිබීම නිසාය.

උප පොලිස් පරීක්ෂක අතුල බාලසූරිය තමන් ලද එම තොරතුර පිළිබඳව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාර දැනුවත් කිරීමත් සමඟ ඔහුගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (14350) සිසිර, (61108) දයාරත්න, කාන්තා සැරයන් (2673) කුමාරි සහ කොස්තාපල් රියැදුරු (20568) විජේවර්ධන සමඟ තොරතුරුකරු කී ස්ථානය සොයා ගියේ සැකකරු කෙසේ හෝ කොටුකර ගැනීමේ අටියෙනි.

පොලිස් නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයට ළඟා වන විට ජීප් රථය දුටු ‘මට්ක්කුලියේ සම්පත්‘ සැඟවීමට උත්සාහ කළද ඔහුට පොලිස් නිලධාරින්ගෙන් ගැලවීමක් ලැබුණේ නැත. අනතුරුව ඔහු පොලිස් නිලධාරීන් ඉදිරියට පැමිණ පොලිසියට භාර වීමත් සමඟ අත්අඩංගුවට ගැනිණි.

අනතුරුව උප පොලිස් පරීක්ෂක අතුල බාලසූරිය ඔහු අත්අඩංගුවට ගන්නා හේතුව කියමින් මංජු ඝාතනය කළ ආයුධය කොයිදැයි විමසුවේය.

“සර්… ඒ කඩුව උඩහමුල්ලේ ස්ටේෂන් එක ගාව රේල් පාර අයිනේම තියෙන කානුවකට විසි කළා…“ යැයි මංජු පැවැසීය.

සැකකාර ‘මට්ටක්කුලියේ සම්පත්‘ කී ස්ථානය සොයා ගිය පොලිස් නිලධාරින් එම ස්ථානය සෝදිසියෙන් පසු සුදු පැහැති කඩුව සොයා ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් මට්ටක්කුලියේ සම්පත් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්විය.

“ඇයි තමුන් මංජු මැරුවේ…?“ යැයි පොලිස් නිලධාරීන් සම්පත්ගෙන් ප්‍රශ්න කළේ දැඩි ස්වරයෙනි.

“සර්… ඔය මංජුවා… පහුගිය දවසක මට හොඳටම ගැහුවා… ඒකට පලිය තමයි මං ගත්තේ… මංජු විතරක් නෙවෙයි තව දෙන්නෙක් ඉන්නවා… එදා රෑ උන් දෙන්නත් ඉවර කරන්නයි මම ට්‍රයි කළේ… උන් හෙව්වට හම්බ වුණේ නෑ… හැබැයි සර්… මං උන් දෙන්නත් ඉවර කරලා පොලිසියට භාර වෙන්න තමයි හිටියේ…“ යැයි සම්පත් පාපෝච්චාරණය කළේ තමන් කළ කී දෑ හෙළි කරමිනි.

පොලිස් නිලධාරීන් සම්පත්ගෙන් ප්‍රශ්න කර අනාවරණය කර ගත්තේ ඔහුට මංජු ඇතුළු කණ්ඩායම පහරදී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටුමක් හේතුවෙන් බවටය.

“සර්… එකෙක් මංජුට කුඩු දීලා තමයි මට ගැස්සුවේ… හැබැයි මංජුට කුඩු දීපු එකාටත් මං ඔය දේ කරන්නයි හිටියේ… ඌ අහුවුණේ නෑ…“ යැයි ද සම්පත් පැවැසීය.

මංජුගේ අවමංගල්‍ය කටයුතු සිදුවන දින අත්අඩංගුවට ගත් හේවගේ අසංක සම්පත් කුමාර හෙවත් මට්ටක්කුලියේ සම්පත් 36 හැවිරිදිය. ඔහු ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස රැකියාවක නිරතව සිටියේය. ඒ අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධව සිටි බව පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. විවාහකයකු වන ඔහුට දරුවන් පස්දෙනෙකි. දැඩි සේ මත්පැනට ඇබ්බැහිව සිටින සම්පත්ගේ උපන් ගම මෙන්ම පදිංචිය ද මට්ටක්කුලියයි. ඔහුගේ පියාගේ ගම් ප්‍රදේශය උඩහමුල්ලයි.

පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ සම්පත්ට මීට පෙර ද මට්ටක්කුලියේ පුද්ගලයකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවක් පවතින බවය. ඊට අමතරව ඔහු උඩහමුල්ල ප්‍රදේශයේද කීපදෙනෙකු සමඟ ගැටුම් ඇතිකරගෙන ඔවුන් කපා-කොටා බරපතළ තුවාල කිරීම් සිදු කර ඇති බවයි. මොහුගේ එම දාමරික ක්‍රියා නිසා බියට පත්ව සිටි ඇතැම් දෙනා ඔහුට එරෙහිව පොලිසියට ද පැමිණිලි කර නොතිබිණි.

මත්පැන් පානයෙන් පසු කවුරුන් හෝ සමඟ ගැටුම්වලට පැටළෙන සම්පත් එහිදී මන්නයකින් නැතිනම් කඩුවකින් ඔවුන්ට පහරදී තුවාල සිදු කිරීම චර්යාව බව ද පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය. එවැනි සිදුවීම් නිසා ඇතැමුන් පොලිසිවලට පැමිණිලි නොකළ ද ඇතැම් දෙනා ඔහුට එරෙහිව පොලිසිවලට පැමිණිලි රැසක්ම කර ඇත.

කෙසේ හෝ අවසානයේ මත්ද්‍රව්‍ය ගැටුමක් නිසා මිනිස් ජීවිතයක් අහිමි වූයේ අවාසනාවක මහිමය කියාපාමිනි.

විමර්ශන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජනක කුමාරගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් ඒකක IV ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අතුල බාලසූරිය, සැරයන්වරුන් වන (14350) සිසිර, (61108) දයාරත්න, කාන්තා සැරයන් 2673 කුමාරි සහ කොස්තාපල් රියැදුරු (20568) විජේවර්ධන යන නිලධාරිහු සිදු කළහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division