Home » කරන්දෙණියට මත්ද්‍රව්‍ය බෙදන්න ඩුබායි ඉඳන් සුද්දා ගහන ගේම

කරන්දෙණියට මත්ද්‍රව්‍ය බෙදන්න ඩුබායි ඉඳන් සුද්දා ගහන ගේම

by thanushika
October 12, 2024 12:30 am 0 comment
චන්ද්‍රසිරි ගුණසේකර - ඇල්පිටිය

රටපුරා සිදුවන මිනීමැරුම්, කොල්ලෑකෑම්, පැහැර ගැනීම්, ස්ත්‍රී දූෂණ සහ බාල අපරාධ පිළිබඳව දිනෙන් දිනම අසන්නට ලැබේ. මේ අපරාධ බොහොමයකටම හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. මේ නිසාම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ ඒවා අලෙවි කරන්නන්ට නීතියෙන් ගැලවීමට ඉඩ නොදී නීතියේ රැහැනින් අල්ලා බැඳ දමන්නට පොලිසිය ඇතුළු ආරක්ෂක නිලධාරීහු දිවා රෑ නොබලා වෙහෙස වෙති.

රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමක් ඇති අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50කට ආසන්න ප්‍රමාණයක් සමඟ ඒවා අලෙවි කරන සැකකරුවකු කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති හිමාල රාජපක්ෂ ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ සිදු කරන ලද වැටලීමකදීය.

කරන්දෙණිය, උණගස්වෙල ප්‍රදේශයේ පදිංචි සැකකරු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට පොලිස් ස්ථානාධිපතිවරයාට ඉතා විශ්වාස කටයුතු ආරංචියක් ලැබෙන්නේ දැනට මාසයකට පමණ පෙර දිනකය. එහෙත් එම ආරංචිය ලද සැණින් ජාවාරම්කරු සොයා නොගිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉවසිල්ලෙන් බලා සිටියේ ඊට සුදුසු සහ පහසු වේලාව එළඹෙනතුරුය. මේ ජාවාරම්කරු මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට පොලිස් ස්ථානාධිපතිවරයාට නිවැරදි තොරතුරක් ලැබෙන්නේ ඉකුත් 24 වනදාය. සැකකරු මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ ඒවා ග්‍රෑම් 20 බැගින් පැකට් කර ඉතා සුරක්ෂිත ලෙස ඒවා රැගෙන යන්නේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට පහසුවෙන් ලබාගත හැකි ස්ථානවල මත්ද්‍රව්‍ය පැකට් ස්ථානගත කිරීම සඳහාය.

එසේ මත්ද්‍රව්‍ය රැගෙන සැකකරු මෝටර් බයිසිකලයකින් එන මඟ රැක සිටි පොලිස් කණ්ඩායම කරන්දෙණිය උණගස්වෙල පිට්ටනිය අසලදී සැකකරු නවතා පරීක්ෂා කිරීමේදී ඔහු හැඳ සිටි කොට කලිසමේ රහසිගත ලෙස සකසා තිබූ සාක්කුවක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 46.34 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.77ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එසේ අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 550000ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 90000ක් බවත් පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සිදු කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිකර ගැනීමට පොලිසියට හැකිවිය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියා දැනට ඩුබායිහි ජීවත්වන ‘කරන්දෙණියේ සුද්දා’ නමැති සංවිධානාත්මක අපරාධකරුවාය. ඔහු දකුණේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහුගෙන් වට්ස්ඇප් හරහා සැකකරුට ලැබෙන පණිවුඩය වන්නේ කිසියම් ස්ථානයක සඟවා ඇති මත්ද්‍රව්‍ය තවත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමයි. ඒවා ස්ථානගත කරන්නේ කවුරුන්දැයි මෙම සැකකරු දන්නේ නැත. ඔහු වට්ස්ඇප් හරහා ‘සුද්දාගෙන්’ ලැබෙන දර්ශන නරඹා මත්ද්‍රව්‍ය සඟවා තබා ඇති ස්ථානය සොයා ගත යුතුය. ඔහුට වරකට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් පමණි. එම මත්ද්‍රව්‍ය සිය නිවෙසට රැගෙන එන සැකකරු ඒවා ග්‍රෑම් 20ක් ලෙස පැකට්වල අසුරා විදුලි රැහැන් සවිකළ කණු හෝ දුරකතන රැහැන් ඇද ඇති කණු අසල සඟවා තබා එම ස්ථානවල දර්ශන ඩුබායි සිටින සුද්දාට වට්ස්ඇප් මාර්ගයෙන් යැවිය යුතුය.

එම මත්ද්‍රව්‍ය ගනුදෙනුකරුවන් ඩුබායි සුද්දාට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් යැවූ පසු ඊට ලැබිය යුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණය සඟවා ඇති ස්ථාන සැකකරු යැවූ දර්ශනය ඩුබායි සුද්දා විසින් ගනුදෙනුකරුට එවීමෙන් එම ගනුදෙනුව නිමා වේ. මෙම ජාවාරම සඳහා සැකකරුට එක් ග්‍රෑම් එකකට රුපියල් 500 බැගින් ලැබේ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පසු සැකකරු නියමිත බැංකු ඒ.ටී.එම්. යන්ත්‍රයක් අසලට ගොස් ඩුබායි සුද්දාට වට්ස්ඇප් හරහා කතා කළ සැණින් සැකකරුට ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගත හැකි ‘පින්‘ අංකයක් ලැබේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් සැකකරු ලබාගනී. මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක ජාවාරම අවසන් වන්නේ එලෙසිනි.

මේ ජාවාරම කලක් තිස්සේම කෙරීගෙන ගොස් ඇත. මෙවර ඒ ජාවාරමට තිත තබන්නේ කරන්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා ගත් පියවර නිසාය.

කරන්දෙණියේ සුද්දා නමින් හඳුන්වන ඩුබායිහි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයෙක් වන කරන්දෙණිය, උණගස්වෙල පදිංචි මේ සැකකරු මත්ද්‍රව්‍ය සහ මෝටර් සයිකලය සමඟ ඇල්පිටිය මහේස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පලිස්කාරගේ උපදෙස් මත කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හිමාල රාජපක්ෂ, උප පොලිස් පරීක්ෂක උදයංග, සැරයන් රණබාහු (38867), කොස්තාපල්වරුන් වන සඳරුවන් (79784), වැලිකල (21960), මාලන් (104098), ධම්මික (78820), පොලිස් කොස්තාපල් රියැදුරු ඩයස් (16927) යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division