රුසියන් පොත් සඳහා මෙවර වාර්තාගත අලෙවියක්
ඒ 1963 වසරයි. සෝවියට් රජයේ ඇරයුමෙන් එවක අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මැතිනිය සංචාරයක නිරත වීමට ප්‍රථම වරට රුසියාව බලා ගියේ දින දහයකට ය. ඒ සංචාරය අතරතුර අගමැතිනියගේ භාෂා පරිවර්තන කාර්යය සිදු කළේ ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ එක්තරා තරුණයෙකි. ඔහු නමින් වින්සන්ට් රුද්‍රිගු ය. මේ සංචාරයේදී අගමැතිනිය වෙනුවෙන් රුසියානු සංස්කෘතික සන්දර්ශනයක් ලැහැස්ති කර තිබූ අතර එහිදී කළ කතාබහ හා දෙසුම් රුසියන් බසින් සිංහලට හා ඉංග්‍රීසියටත්, සිංහල හා ඉංග්‍රීසි බසින් රුසියන් බසටත් පරිවර්තනය කිරීමෙහි ලා බුහුටි සේවාවක් කළේ වින්සන්ට් රුද්‍රිගු තරුණයා ය. හේ කලක් තිස්සේ රුසියාවේ නැවතී සිටි බැවින් රුසියන් බස මනාව හැසිරවිමෙහිලා නිපුණයකු විය. ඒ නිපුණත්වය විසින් පසුකලෙක ලංකාවට ලැබුණු රුසියන් සාහිත්‍ය අස්වැන්න ගැන පෙරකී නාමය කියූ පමණින් ඔබ දන්නේ ය.
පසුගිය දිනෙක මට රුසියාවට යෑමට අවස්ථාව ලැබිණි. ලංකාව සේම තවත් දේශයක් ගැන මා දන්නේ නම් ඒ රුසියාව ය. එබැවින් ඒ ගමන පොත් අතර මතකය ඇවිස්සූ ලේඛක ස්මරණ අතර සැරිසරන්නට ලැබුණු අපූර්ව අවස්ථාවකි. රුසියානු මාවතක් මාවතක්, ලේඛක පිළිරුවක් පිළිරුවක් පාසා මා හට සිහිපත් වූ නාම අතර පර්යාය නාමය ලෙස දැදිගම වී. රුද්‍රිගු යන්න ඉදිරියෙන්ම තිබිණි. ඒ රුසියන් සාහිත්‍යය කියූ පමණින් ඔහුගේ නාමය අපට සිහිපත් වෙන නිසාය. ලංකාව හා රුසියාව අතර සංස්කෘතික පාලම නිර්මාණය කිරීමෙහි ලා දැදිගම වී. රුද්‍රිගු කළ මෙහෙය අමතක කළ නොහැක්කේ ඒ නිසාය.
නම වෙනස් වුණු හැටි
රුසියානු පොත් ඔස්සේ ලද සාහිත්‍යමය ගමන් මඟක අපි දිගුකාලීනව ගමන් කරමින් සිටින්නෙමු. ඒ ගමන් මඟ යන්නට මුලින් ම සෙනෙහසින් යුතුව අත දිගු කළේ දොන් වින්සන්ට් රුද්‍රිගු ලෙසින් අප මෙතෙක් හැඳින්වූ සාහිත්‍ය ලෝකය දැදිගම වී. රුද්‍රිගු ලෙස ආදරයෙන් වැලඳගත් ලේඛකයා ය. දොන් නාමය දැදිගම වූ අයුරු ගැන රසවත් කතාවක් ‘දෙරටක් යා කළ මානවවාදී සාහිත්‍යධරයා‘ නම් කෘතිය ලියූ සිරිමාන්න කරුණාතිලක ලියා තිබේ. දොන් වාසගම සාහිත්‍යකරණයට එතරම් මනබඳින්නේ නැතැයි යම් පුද්ගලයෙක් ඔහුට කීවේලු. එකපයින් එය පිළිගනිමින් හේ කියා ඇත්තේ මෙවැන්නකි. ‘හැබෑ නේන්නං. දොන් සිමන්ලා වගේ අය කවද්ද ඕයි සාහිත කාරියේ යෙදුණේ….‘ එවිට අර පුද්ගලයා පවසා ඇත්තේ දොන් වෙනුවට දැදිගම කියා යෙදුවොත් හොඳ නැද්ද කියා ය. ‘වරදක් නෑ, මං මීට පස්සෙ ඒ විදියට යොදන්නම්…‘ රුද්‍රිගු නිහතමානීව කියා තිබේ. සාහිත කෙත පොබ කළ නාමයක් බිහි වීමේ පදනම සැකසී ඇත්තේ එලෙසිනි.
හේ රුසියන් සාහිත්‍යයේ අහුමුුලු අප ඉදිරියේ ගෙනහැර පෑවේ රුසියන් බසින්ම රුසියන් සාහිත්‍ය කෘති සිංහලයට පෙරළමිනි. ‘අම්මා‘ කෘතියෙන් ඇරඹි ඒ ගමන ජාත්‍යාලයෙන්, ආදරයෙන් හා සාමූහිකත්වයෙන් පිරුණේ විණි. අප රුසියන් සාහිත්‍යය නමැති මහරු අස්වැන්නේ කොටස්කාරයන් කිරීමේ ප්රමුඛ හා පුරෝගාමී ප්රණාම දෑත් දිගු වන්නේ දැදිගම ලේඛකයාට ය. ඒ පුරෝගාමී මෙහෙවරෙන් ඉනික්බිති අතු ඉති ලා රුසියන් සාහිත්‍ය පරිවර්තන ක්ෂේත්රය වැඩුණේ වුව මුදුන් මුල දැදිගම යැයි කිවහොත් කිසිවෙක් විරුද්ධ නොවනු ඇත. එය එතරම්ම ශක්තිමත් පාදමක් සකස් කිරීමෙහි ලා උපස්ථම්භක වූයේ ය.
රුසියානු සාහිත්‍ය නිර්මාණ ලංකාවේ ප්‍රසිද්ධියටත්, ප්‍රකාශයටත් පත් කිරීම වෙනුවෙන් පිරිනැමෙන “ලියෝ තොල්ස්තෝයි සම්මානය” මුලින් ම හිමි වූයේ උඩකැන්දවල සරණංකර හිමියන්ට ය. පසුව එකී සම්මානය හිමි වූයේ එච්. ජී. එස්. රත්නවීර, දැදිගම වී. රුද්‍රිගු සහ පද්මහර්ෂ කුරණගේ යන ලේඛකයන්ට ය. එහෙත් ඛේදවාචකය වූයේ ඒ සම්මානය ලැබෙන විට එකී ලේඛකයන් මෙලොවින් සමුගෙන සිටීම ය. මැරුණු පසු ලැබෙන සම්මාන කෙසේ වෙතත් දැදිගම හා පද්මහර්ෂ කුරණගේ වැනි ලේඛකයන් එකී සම්මානවලට එහාගිය ජනතා සම්මානලාභීන් ලෙස අද ද පාඨක හදවතේ ගැඹුරු ම තැනක රැඳී සිටී.
ලාංකේය ළමා සාහිත්‍ය පෝෂණයෙහි ලා දැදිගමගේ දායකත්වය අතිමහත් ය. නිකොලායි නෝසෆ්ගේ ‘ වැඩ බැරි දාසගේ කතා’, වික්ටර් දට්ස්කේවිවිගේ ‘ලස්සන මාළුවෝ’, ගියොර්ගි යුර්මින්ගේ’ සීයාගේ ඇස් කණ්ණාඩි ඒ අතරින් කිහිපයකි. ළමා වියෙන් තරුණ වියට එළැඹෙන විට දැදිගම තරුණ විය ආලෝකවත් කරන පරිවර්තන පෙළක් පාඨක සමාජයට තිළිණ කරයි. ළමා කතන්දර, ප්‍රබන්ධ, විද්‍යා විෂය හා දේශපාලන න්‍යාය යනාදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කළ ඒ පොත් පෙළ දෙසිය පනහකට අධික ය.
ගෝර්කිගේ අම්මා
දැදිගම වී. රුද්‍රිගු පරිවර්තනය කළ කෘති අතරින් මැක්සිම් ගෝර්කිගේ අම්මා, නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබූ හැටි, මිහයීල් ලෙර්මන්තව්ගේ අපේ කාලයේ වීරයෙක්, මැක්සිම් ගෝර්කිගේ මිනිසුන් අතර, වී. කරලෙන්කොගේ අඳ වාදකයා, මිහායිල් ෂොලොහොව්ගේ පෙරළූ නැවුම් පස ආදිය අපේ නොමඳ ආදරය දිනාගත් කෘති වෙයි. ඔහුගේ පරිවර්තන අස්වැන්නට නූතන රුසියානු සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස සැලකෙන පුෂ්කින්ගේ සිට අවසන් පුරුක හා නව සෝවියට් සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස සැලකෙන මැක්සිම් ගෝර්කිගේ නිර්මාණ දක්වා ඇතුළත් ය. පූර්ව විප්ලව රුසියානු ලේඛක පරම්පරාවේ විශිෂ්ටයන්ගේ සිට පශ්චාත් විප්ලව ලේඛක පරම්පරාවේ විශිෂ්ටයන් දක්වා ද ඊට ඇතුළත් ය. පුෂ්කින්, නිකොලායි ගොගොල්, මිහායිල් ලෙර්මෙන්තව්, ඉවාන් තුර්ගේනෙව්, දොස්තයෙවුස්කි, තෝල්ස්තෝයි, ඇන්ටන් චෙකොෆ්, කරලෙන්කෝ හා මැක්සිම් ගෝර්කි ඒ පරම්පරාවට අයත් ය. පවුස්තව්ස්කි, ඔස්ත්‍රොව්ස්කි, ෂෝලහොව්, බොරිස් පලෙවෝයි, යූරි නජිබින්, අයිත්මාතව්, වසීලි ෂුක්ෂින් වැනි විශිෂ්ටයන්ගේ නිර්මාණ ද ඊට අයත් ය. එකී නිර්මාණ පාරේ අපට ඇවිද යන්නට මංසැලසූ බොහෝ නිර්මාණකරුවන් අප අබිමුවට කැඳවාගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ දැදිගම පරිවර්තකයාට ය.
ලංකාවේ අපිට අපේ සාහිත්‍යයටත් වඩා දන්නා සාහිත්‍යයක් තිබුණේ නම් ඒ රුසියන් සාහිත්‍යයයි. ළමා කාලයේ විචිත්රත්වයත්, තරුණ කාලය වගකීමත්, අසීමිත මානව දයාවත්, පරිසර ලෝලත්වයත් තිළිණ කළ යමක් අප වෙත වේ ද ඒ රුසියන් සාහිත්‍යයයි. කම්පනයේ පතුලටම අප ඇද දැමූ යමක් වේ ද ඒ ද රුසියන් සාහිත්‍යයයි. ‘අම්මා‘ කියවන අප නෙත අග කඳුළු බිඳු නොනැඟුණු දිනක් වේ නම් ඒ පුදුමයෙකි. අසීමිත මානව දයාවේ, ධෛර්යයේ, පුත්‍ර ස්නේහයේ හා ජාතිකාලයේ සංකලනයක් වේ ද ඒ ‘අම්මා‘ කෘතිය ය. අම්මා විශ්ව අරුතෙන් අකුරු කළ මැක්සිම් ගෝර්කි අපේ හදවතේ වීරයෙක් කළේ දැදිගම වී. රුද්‍රිගු ය.
‘ කම්හලේ නළා හඬ, දුමෙන් වැසී ගත් තෙල් ගඳ සහිත අවට වාතය රැව් දෙමින් විනිවිද යයි. හැමදාම උදෑසන කම්කරු ජනපදය තුළ ඒ නළා හඬ පැතිර යත්ම ඇඳිරි කුඩා ගෙවල්වල සිටින මිනිස්සු බියගත් කැරපොත්තන් මෙන් පාරට දිව එති. විඩාපත් මස්පිඬුවලට නිසි විවේකයක් ඉකුත් රැයේදී ලබාදීමට අපොහොසත් වූ ඔවුහු මූසලයෝ මෙන් හිමිදිරි පාන්දර ගුරු පාර ඔස්සේ උස් තාප්පවලින් වටවූ කම්හල කරා ගමන් කරති.
සවස බැසයන හිරු විඩාපත් වූ කලෙක මෙන් ගෙවල්වල ජනේල වීදුරු මත රත් පැහැති එළියක් ඇති කළේ ය. මිරිකා ගත් රොඩු විසි කරන්නාක් මෙන් සවස, කම්හල සිය ගල් ගුහාවලින් මිනිසුන් එළියට දමයි. යන්ත්‍රවල තෙල් ගඳ පතුරුවමින්, නැවත මඟ දිගේ යන ඔවුන්ගේ මුහුණු දුමෙන් කළු වී ඇත. බඩගින්න නිසා ඔවුන් දත් විලිස්සන්නාක් මෙනි. දැන් ඔවුන්ගේ කටහඬ ප්‍රාණවත් බවක් පමණක් නොව ප්‍රීතිමත් බවක් ද උසුලයි. දවසේ වැඩ නමැති බන්ධනය ඉවර ය. ගෙදර ගිය පසු රෑ කෑම සහ විවේකයකි.
විවිධ විෂයයික පරිවර්තන
දවස් එකිනෙක ගෙවී ගොස් සති මාස ද පසු විය. හැම සෙනසුරාදාවකම පාවෙල්ගේ ගෙදර රැස්වීමකි‘
‘අම්මා‘ කෘතිය නොකියවූ පාඨකයෙක් වෙත් ද ඒ අහම්බයකි. එය එතරම් ම හදවත කොනිති ගැසූ කෘතියකි. දවස තිස්සේම කෑම පිසින අම්මා දැන්වීම් අලවන්නට පාප්ප හා මුද්‍රණ තීන්තවලට අතිරේක සායම් සැදූ අයුරු ඔබට අමතක වන්නට ඉඩක් නැත. පුතා පිටුවහල් කරද්දී කෑගසා හැඬීමට සිත් වුව ද නිහඬව ම දරාගත් අම්මාගේ සෝබර වුවන ඇස් අග මැවී යෑම වළක්වා ගත නොහැක්කකි. එකී සිදුවීමට මුහුණ නොදුන්නේ වුව මහා පශ්චාත්තාපයකින් හා තාන්තුවාවකින් සිත පිරී යෑම ද වැළැක්විය නොහේ. මේ සියලු පරිකල්පන මවා ලූ කෘතිය අප අතට පත් කිරීම වෙනුවෙන් දැදිගම ලේඛකයා ද හදවතේ මහා බරකින් තැන්පත් වූ බව නොකියා බැරි ය.
නවකතා, කෙටිකතා, ළමාකතා වැනි සාහිත්‍යාංගවලට අමතර ව දැදිගම ලේඛකයා දේශපාලනික, විද්‍යාත්මක හා අධ්‍යාපනික කෘති රැසක් ද පරිවර්තනය කර තිබේ. ඒ අතර මාක්ස්, එංගල්ස්, ලෙනින් ආදීන්ගේ කෘති ප්රමුඛ ය. ලෙනින්ගේ තෝරාගත් කෘති කාණ්ඩ 1 සිට 12 දක්වා නොකියවූ සිංහල තරුණයෙක් සොයා ගත නොහැකි කාලයක් ද අපි ගෙවා ඇත්තෙමු. ඒවා බොහොමයක් විවිධ කරුණු නිසා මේ වනවිට බොහෝ අය ළඟ නැතත් කියැවූ මතකය නම් අමතක වන්නේ නැත. සෝවියට් විද්‍යාඥ මිහායිල් නෙස්තුර්ග්ගේ මිනිසාගේ සම්භවය, වී. ෂිම්රස්කි හා ඒ. ෂේව්රින්ගේ ගණිත හෝඩිය, අනතෝලි මාර්තුෂාගේ ඉංජිනේරුවකු වීමට ඔබ කැමතිද වැනි කෘතිත්; සිංහල රුසියානු ශබ්ද කෝෂය සහ රුසියානු සිංහල ශබ්ද කෝෂය දැදිගම නිර්මාණකරුවාගේ නිර්මාණ අස්වැන්නේ අග්‍රඵලයි.
වෛද්‍ය සේවය, භාෂා පරිවර්තන කාර්යය හා ගුවන් විදුලි සන්නිවේදනය ආදී වූ නන්විධ කාර්යය රැසක නිමග්නව සිටි දැදිගම වී. රුද්‍රිගු ලංකාවත් රුසියාවත් යා කළ සොඳුරු මිතුදමෙහි ශක්තිමත්ම දම්වැල විණි. ලංකාවේ නොනිල රුසියන් තානාපති හෙවත් පොදුජන තානාපතිවරයා ලෙස හේ ප්‍රසිද්ධියට පත් ව සිටියේ ය. ලංකාවෙන් රුසියාවට යන ඕනෑම අයකුට ඔහුගේ මොස්කොව්හි පිහිටි පියර්වේ ඩ්ම්ත්රොව්ස්කි ප්රොයේස්ද් හි අංක 16 තට්ටු නිවාසයේ අංක 18 දරන නිවෙස්නය තමන්ගේ ගෙදර මෙන් විය. ඒ ආගන්තුක සත්කාරයට ඔහුගේ යුක්රේන බිරිය ලුද්මිලා ද පුතුන් දෙදෙනා ද සැදී පැහැදී සිටියේය. සිය ජීවිත කාලයෙන් හරි අඩක් එනම් තිස්වසරක් රුසියාවේ විසූ දැදිගම ලේඛකයා නාමශේෂභාවෝපගත වූයේ 1988 නොවැම්බර් 29 දා මොස්කොව් හි දී ය. එයින් වසරක් ගෙවුණු ඉනික්බිති බිරිය ලුද්මිලා හා පුතුන් දෙදෙනාගේ කැමැත්ත පරිදි දැදිගමගේ පෞද්ගලික පුස්තකාලය ලුමුම්බා සරසවිය වෙත පරිත්‍යාග කරන ලදි.
දුර ඈත රුසියාවේ මොස්කොව් අගනුවර සිට දුර යන්න වචනයක් පමණක් බවට පත් කළ දැදිගම වී. රුද්‍රිගු දිවිසැරිය පාඨක ලොවට බොහෝ ආගන්තුක ය. දිවිසැරියේ කරුණු සොයාගැනීමට නැති තරම් ය. මිය ගිය ද ඈත අන්තරීක්ෂයේ තාරකාවක්ව පාඨක මනරංජනය කරන්නට ඒ දිවිසැරිය කළ ලිවිසැරිය නම් දශක නවයක් පුරා අදත් එදා සේ ම බබළන්නේ ය. අමරණීය නාමය ලේඛකයකු ලබන පරම ලැබීමයි. එය අන් සියලු ලැබීම් ඉක්මවා යන්නක් බව ඔබ දැනටමත් දනී.
මෙවර විසිපස් වැනි අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය නිමාවී අදට හරියටම සතියකි. මෙවර පොත් ප්‍රදර්ශන භූමියෙන් ඇසුණු පොදු කතාවක් තිබිණි. ඒ රුසියන් පොත් සඳහා අසීමිත ඉල්ලුමක් නැවත නිර්මාණය වී ඇති බවත් ඒ කෘති විශාල වශයෙන් අලෙවි වූ බවත් ය. රුසියන් සාහිත්‍යයේ විශේෂත්වය ගැන දන්නා ඔබ නැවත රුසියන් පාඨක රැල්ලක් බිහි වීම පිළිබඳ තුටු වනු නිසැකය. මන්ද රුසියන් සාහිත්‍යයෙන් අපට ඉගැන්වූයේ තම පයට පෑගෙන වැලි කැටයේ සිට තම ගතෙහි වැදී හමා යන සිහින් මඳනළට පවා පෙම් කරන්නට ය. එනම් ආදරය හා මානව දයාව වපුරන ලෙසය. එනයින් බලන කල රුසියන් සාහිත්‍ය පතපොත මෙවර පොත් ප්‍රදර්ශනයේදී බෙහෙවින් අලෙවි වීම යන කාරණය ගැන තුටු වන්නට අවැසි කරුණු කාරණා අප ඉදිරියේ පෙළගැසෙනු ඇත.
සුමුදු චතුරාණී ජයවර්ධන